මවු ගුණ

De moeder van Hein is altijd bezorgd over Hein. Hij mag bijna ...
"ආනේ එන්න එන්න කපු මහත්තයා" සාලෙ පැත්තෙන් අක්කාගේ කට හඬ ඇසුණත් ලසන්ත සිටි ඉරියවුව වත් වෙනස් නොකළේය.ඔහු ගෙන එන ආරංචිය අළුත් එකක් නොවේ. අවුරුදු 5ක් ආදරය කර විවාහ වූ සරලාටත් අවුරුදු 2ක් යද්දී වෙන් වෙන්නට කාරණා යෙදුන විට යෝජනාවකින් ගෙන එන මනමාලියක් තමන් හා සාර්ථක විවාහ ජීවිතයක් කෙසේ ගත කරන්නද?සරලාගෙන් වෙන් වූ දා පටන් මත් වතුර සමග විවාහ වූ ඔහුට කැමති වන්නේ කවුරුද? අක්කාගේ කරච්චලයෙන් බේරෙන්නට පහුගිය වසර 3 පුරා මනමාලියන් බලන්නට ගියත් ඒවා නොකෙරෙන දීග බව ලසන්ත දැන සිටියේය.ඒ නිසා ඔහු ඒ කිසි කෙනෙක් දෙස බැලුවේ වත් නැත. ඊයේ පෙරේදා බලන්නට ගිය මනමාලිය ගැන නම් පොඩි කැමැත්තක් තමන්ටත් හොරෙන් ඇති වූ නිසා ඔහු කෙලින් ම ඇයට කතා කළේය. "ඔයාට හොඳ අනාගතයක් තියෙනවා.මාව බැඳල ඔයාට වැඩක් වෙන්නේ නෑ"
අක්කා කාමරයට ආවේ හිනා මල් දහසක් පුබුදුවාගෙන ය. දම්මිකා තමන්ට කැමති වූ බව අදහා ගත නොහැකි ව ඔහු ඇය හමු වුනේය.
"ගෙදරින් බල කළා ද මට කැමති වෙන්න?"
"නෑ මමයි කැමති වෙලා ගෙදරට කිව්වෙ" එවර කට උත්තර නැති වුණේ ලසන්තටය. ඔහුගේ විරාමය නිසා ඇය තවත් කතා කළාය. "අයියට ආරංචි වෙලා මහ බේබද්දෙක් කියලා. එයා ල කැමති වුනේ නෑ." "ඉතිං"
"ලෝකෙ කොහෙවත් අංග සම්පූර්ණ මිනිස්සු නෑ නෙ"
"දන්නව ද මම දික්කසාද වුණ හේතුව?....මට දරුවො හදන්න බෑ.කවුද කැමති එහෙම කසාදෙකට" "දෙමව්පියෝ වෙන්න තමන්ගෙම ලේ වෙන්න ඕන යැ" එක් එක් උත්තරයක් පාසා පුදුමයෙන් පුදුමයට පත් වෙමින් සිටි ලසන්ත ඒ උත්තරයෙන් නම් මේ තමන් වෙනුවෙන් උපන් ඉරණම් කාරිය බව වටහා ගත්තේය.
විවාහයෙන් මාස කීපයක් ගත වෙද්දී දරුවෙක් සොයා ඔවුහු ළමා නිවාසයක් වෙත ගියහ.දවස් ගණන් වයස දරුවන්ගේ සිට අවුරුදු 3-4 දක්වා වන වයස් මට්ටම් වල මල් වැනි දරුවන් මොන හිතකින් අත් හැර දැමුවේ දැයි සිතමින් ලසන්ත දම්මිකා පසුපස ගියේය.එක් තැනක නතර වී ඇය බලාගෙන සිටියි.
"උපන් හැටි ම තමා නෝනා....කවුරුවත් ගෙනියන්නෙ නෑ"
නිවාසයේ පාලිකාවකගේ හඬින් ලසන්ත දම්මිකා බලා සිටින දරුවා දෙස බැලුවේය. සම වයසේ අනෙක් ලමයි කෙළිදෙලෙන් සෙල්ලම් කරද්දී පුටුවක් උඩට වී ඔහේ බලා ගත් අත බලා සිටින්නේ දණහිස ට මඳක් පහළින් දෙපා ම නැති දරුවෙකි.වෙන දරුවෙක් දෙස බලන්නට හිස හරවද්දී ඔහුගේ ඇස් දම්මිකාගේ ඇස් සමග ගැටුනේය.ඒ ඇස් වලින් කියවෙන පණිවිඩය දුටු ඔහු පුදුම වුණේය.තත්පර ගානකින් ඔහු තීරණයක් ගත්තේය.
"ඔව් මෙයා තමයි අපිට ඕන.....ලෝකෙ කොහෙවත් අංග සම්පූර්ණ මිනිස්සු නෑනෙ"
----------------------------------------------------------------------------------------------------------
දම්මිකා ගත් තීරණ කොතරම් නිවැරදි ද?ඇය නොවන්නට තමන් අද කොහේ සිටීවිද? උත්පල කොහේ සිටීවිද? උත්පල ගේ හැකියා නොහැකියා නිවැරදි ව හඳුනා ගත් ඇය ඔහුව නිවැරදි මාර්ගයට යොමු කළාය.අද ඔහු එහි යා හැකි උපරිම දුරට ළංව සිටියි. උත්පල අද දෙස් විදෙස් සුපතල ගෘහ නිර්මාණ ශිල්පියෙකි. තමන්ට පිය නගා යන්නට නොහැකි තැන් පවා ඔහු සැලසුම් කරයි. ඒ හැම ගොඩනැගිල්ලකට ම ආබාධිත අය වෙනුවෙන් ද විශේෂ අංග එකතු කරන්නේ මගේ අම්මා මාව නැගිට්ටුවා ට හැමෝම එහෙම නෑ කියමිනි.
දොරකඩින් වාහනයක නාදයක් ඇහුනේය. "පුතා අන්න වාහනේ ඇවිත්...."
උත්පල විදේශයකට සැලසුම් කළ ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උත්සවයට පැමිණෙන්නට එම ආයතනය සියළු වියදම් දරමින් ආරාධනා කර ඇත.ඒ ඔහු ව ඔවුන්ගේ නිල ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස පත් කර ගන්නා සේවා ගිවිසුමකට අත්සන් කරන්නටත් සමගය.
"එන්න...... පරක්කු වෙයි...."ලසන්ත නැවත හඬ නැගුවේය.
"පරක්කු නම් ගියා වේ අප්පච්චි.කෝ මේ මල් වට්ටියට අත ගහන්න." උත්පල ට කිසි ම හදිසියක් නැත. බිත්තියෙන් බාගයක් වැසෙන දම්මිකා ගේ පිළිරුව ඉදිරියේ මල් පහන් පූජා කර සුවඳ දුම් දල්වා දස මාසේ උරේකත්වා කියා වැඳ "අම්මා මං ගිහින් එන්නම්" කියමින් රෝද පුටුව ඉදිරියට කරකවා ගත්තේය.
පුතා පිටත් කර ගෙතුළට ආ ලසන්ත දිග හුස්මක් ගත්තේය."ඔයා ට පිං දම්මි....අපි දෙන්නා ව ම ජීවත් කළාට" ඔහු ද ඒ වෙත ගොස් හඳුන් කූරක් දැල්වූවේය.

Comments