අපි වැරදි නෑ


අපේ කාර්යාලයේ සේවය කළේ ඉතා අඩු සේවක පිරිසක් නිසා හැමදෙනාගේ පවුල් වල විස්තර,රුචි අරුචිකම් ගැන හැම දෙනෙක් අඩු වැඩි වශයෙන් දැන සිටියෙමු.එහෙත් රැකියාවට බැඳී අවුරුදු 2කට ආසන්න කාලයක් ගත වූ රශ්මි ගේ පවුල ගැන අනෙක් අය දැන සිටියේ ඉතා අඩුවෙනි.ඇය ඉතා නිහඬ චරිතයක් වීමත් ඊට බලපාන්නට ඇත.
උදේ 9.00 කොළඹ කාර්යාලයේ පැවැත්වෙන රැස්වීමකට රශ්මි ඇතුළු බොහෝ දෙනෙක්ට සහභාගි වීමට නියමිත විය.9 කොළඹ ඉන්නට 5 වත් පිටත් විය යුතුය. කාර්යාලයේ වාහනයට එක් එක්කෙනා රැස් කිරීමට සෑහෙන දුරක් යන්නට සිදු වීමේ කරදරය අඩු කරන්නට තෝරා ගත් නිවෙස් කීපයක ඔවුහු කලින් දා රැයේ නවාතැන් ගත්හ. යසංගි නැවතුනේ රශ්මි ගේ නිවසේය.
"රශ්මිලා හරි දුකක් නෙ විඳින්නේ."එදා දවල් ලැබුණ විවේකයේ දී හිර කරගෙන සිටි විස්තරය යසංගි එළියට දැම්මාය.
"ඇයි ?"මෙතෙක් නොදැන සිටි ඕපාදූපයක් ඇසීමේ ආසාවෙන් අනෙක් අය කන් දෙක සුසර කර ගත්හ.
"රශ්මි ගෙ තාත්තා පැරලයිස් වෙලා අවුරුදු 2ක්ලු.කතා කරන්න වත් බෑ. සිංහල බේත් කරන්නෙ ඔක්කොම සාත්තු කරන්නෙ. අම්මා.රශ්මි ගෙ පඩියෙන් පවුලෙ  වියදම් දරන්නෙ...." යසංගි ගේ විස්තරය නැවතුනේ රශ්මි එතනට නිසාය.
"අපේ අම්මා දුක් විඳින හැටි නේද කියන්නෙ"
සාකච්ඡාවේ මාතෘකාව ඉවෙන් මෙන් දැන ගත් ඇය ඇසුවාය.
හොරයක් අසු වුණාක් වැනි නිසා කිසිවෙක් කතා නොකළහ.
රශ්මි දිගු සුසුමක් හෙලුවාය.
"ඇත්තටම තාත්තා එක් තැන් වුණාට පස්සෙ තමයි අපි සැනසිල්ලෙන් ඉන්නෙ"
පිරිස පුදුමයෙන් ඇය දෙස බැලූහ.
ඇය නොනවත්වා කතා කළාය.
"තාත්තා කළේ බිස්නස්.කොහේ යන එනව , කවුරු මුණ ගැහෙනවද,කීයක් හම්බ කරනවද අපි දන්නෙ නෑ.ගෙදරට එක සැරේ බඩු ටිකක් ගෙනත් දෙනවා. ඒකෙන් කොහොම හරි පිරිමහ ගන්න ඕන. වැඩියෙන් ඉල්ලුවොත් එක එකා එක්ක ජවුසං නටන්න කියලා බනිනවා.අපිට වියදම් වැඩි වෙද්දි අම්මා පොඩි බිස්නස් කීපයක් පටන් ගත්තට තාත්තා හැම සැරේ ගෙදර ගෙනත් තිබුණ දේවල් ගිනි තියලා දැම්මා. එයා ගෙදර එන වෙලාවක් අවේලාවක් නෑ. හැබැයි එද්දි කන්න කෑම රෙඩි වෙන්න ඕන. නිසා අම්මා ගෙදරින් පිට ගියේ නැති තරම්. හැමදාම මොකක් හරි දෙයක් නිසා රණ්ඩු වෙනවා. අම්මා ගහන ඒවා බේරන්න ගිහින් මමයි මල්ලිලායි ඕන තරම් ගුටි කාලා ඇති. මේවා කරන්නෙ බීලා එහෙම නෙවේ. හොඳ සිහියෙන්.
අපේ ගෙදර ඉඳන් පන්සල තියෙන්නෙ පෙනෙන මානෙ. වුණාට මට මතක ඇති කාලේ ඉඳන් අපේ අම්මා පෝයකට පන්සල් ගිහින් ඇත්තෙ අතේ ඇඟිලි ගානට.තාත්තා ගෙදර එද්දි අම්මා පන්සල් ගිහින් නම් පන්සලේ හාමුදුරුවෝ පාවා දීලා බනින්නෙ. අන්තිමට අම්මා පන්සල් නොයා අත් ඇරියා. මේ මිනිහා නිකං පවු පුරව ගන්නවා කියල. ඇත්තට අම්මා පාවා දීල නැති එක පිරිමි දෙන්නා මගෙ මල්ලිලා දෙන්න වෙන්න ඇති.අපි ලෙවල් ලෙවල් කාලෙ ගෙදර යුද පිටියක්.ඒත් අපිට යාළුවෙක් ගෙ ගෙදර ගිහින් පාඩම් කරන්න විදියක් නෑ. අපි නැති දවසෙ රෑට ගෙදර රණ්ඩු වැඩි වෙනවා ආයෙ අපි එනකල්.අපි පන්ති වලදි ඉස්කෝලෙදි පාඩම් කරලා පුළුවන් තරම් හවස් වෙලා ගෙදර ආවෙ.මේ ඔක්කොම යක්ෂ චරිතෙ ගෙදරට වුණාට පිටට  එයා බොහොම හොඳට ගෙදරට යුතුකම් ඉෂ්ට කරන පියෙක්. සැමියෙක් ..... රශ්මි නැවතී ඔවුන්ගේ මුහුණු බැලුවාය ......මං දන්නවා ඔයාලට හුඟක් විසඳුම් ඇති ඇයි මෙහෙම නොකළෙ එහෙම නොකළෙ කියන්න. කිසි දෙයක් කරන්න ඉඩක් තිබුනෙ නෑ කියන එකයි කෙටි උත්තරේ ....
දැන් අම්මා තාත්තාගෙ උපස්ථාන ඔක්කොම කරනවා මේ මගේ පවු ගෙවෙන්නෙ කියලා හිත හදාගෙන.අම්මාට වෙන පිහිටක් නැති නිසා මමත් නිශ්ශබ්ද වෙලා ඉන්නෙ.ඒත් දැන් කැම්පස් ඉන්න ලොකු මල්ලි වත් HND ගිය පොඩි මල්ලි වත් තාත්තා ගැන බලන්නෙ නෑ. අපි එයාට සමාවක් දෙන්නෙත් නෑ.අම්මා මේවා කවුරු එක්ක වත් කියන්නෙ නෑ. ඒත්.......කවදා හරි අපි තාත්තා නොසලකා හරින අසමජ්ජාති දරුවො විදියට සමාජෙන් අපවාද නොඑන්න නම් මේවා කවුරු හරි දැනගෙන ඉන්න ඕන." රශ්මි මුළු සතියකට කතා කරන වචන ගොන්නක් කියා දැම්මේ කටවල් ලොක් වූ රසික පිරිසකටය.




Comments