plan


Engagement Ring vs. Wedding Ring: What's the Difference?
නෑයෝත් නොනෑයෝත් එක්  තමන්ගේ අනාගතය තීරණය කරන්නට වෙර දරද්දී
 තරහෙන් පිපිරෙමින් නිහඬ  සිටි තේජන තමන්ගේ අතීතය සිහි කළේය.
 රජ පරම්පරාවට  නෑකම් ඇති පවුලක එක  දරුවා ලෙස උපන් තේජන හැම දෙනෙකුට
  පෙනුනේ රිදී හැන්දක් අත දරා රන් කාසි ගොඩක උපන් කුමාරයෙක් ලෙස . නමුත් 
පවුලේ වංසක්කාරකම නිසා ඔහු වින්දේ සුළුපටු දුකක් නොවේ.වලව්වට දර දිය ඇද්ද 
මුතුන් මිත්තන් සිටින පවුල් වල උන් හා තේජන සම  නොසිටිය යුතු බව තේජනගේ 
අත්තම්මාගේ තීරණය වූයෙන් ඔහු එක වසරට ඇතුල් කලේ  නුවර උසස් පැලැන්ති වල
 දරුවන් ඇතුල් කළ පාසලකටය. නිසා අත්තම්මාගේ පරම්පරා නෑයෙක්ගේ නිවසක 
සතියේ දවස් 5 නවතින්නට සිදු විය. ගෙදර  යාම තේජන  හිසරදයට කොට්ටය මාරු 
කිරීමක් පමණක් විය.තේජන ඇසුරු කරන්නේ කවුද, යන එන තැන්, මුණ ගැහෙන අය
 ගැන සම්පූර්ණ රපෝර්තුවක් සතිපතා  ගෙදරින්මේ ගෙදරට සැපයුනේය. සියළු දෙනා
 තමන්ගේ පරම්පරාවට ගැලපේ දැයි නිරන්තරයෙන් සොයා බැලුනේය.මේ තත්ත්වය
 යටතේ තමන්ට ලංකාවේ විශ්ව විද්යාලයක  නම් ඇතුල් වීමට ඉඩක් නැති බව දැනගත් 
තේජන උසස් පෙළ කරන අවදියේ  පිටරට විශ්ව විද්යාල වලට ඉල්ලුම් කළේය. විභාගය 
අවසන් වූ සැනෙකින් තේජන ඇමරිකාවේ විශ්ව විද්යාලයකට තේරී තිබීම අත්තම්මාට
 හෘදයාබාධයක් ඇති කිරීමට සමත් වුවත් මේ මොහොතේ පුතා වෙනුවෙන් පෙනී සිටි
 දෙමාපියෝ ඔහු  රට යන්නට ඉඩ කඩ ලබා දුන්හ. 
මෙතෙක් කල් සිර ගත  තිබූ තේජනගේ කොලුකම් ගිනි කන්දකින් පිට වන ලාවා 
පරිද්දෙන් බුබුළු දමා පිපිරුණේය.පහළ පැලැන්තියක දරුවෙක් හා තේජන මිතුරු වීම පවා
 නොඉවසූ,ඔහු නිවසින් එළියට අඩියක් තියන ගානේ සෝදිසි කළ නෑයෝ දැන් එළි වන 
තුරු නයිට් ක්ලබ් ගානේ ඔහු  තිබූ රාජකාරි දන්නේ නම් නොයෙක් ජාතිකයන් ඔහුගේ
 නිවසේ  රෑ පුරා නැවතී සාද පවත්වන අයුරු , තමන්ගේ අධික වියදම සොයා ගැනීමට
 හෝටල් වල සුද්දන්ගේ බැල මෙහෙ කරන අයුරු දුටුවේ නම්..... 
තේජන  සාරා මුණ ගැසුනේ මේ ක්ලබ් ගමනකදීය.පියාගේ යුරෝපා සම්භවය  මවගේ
 ආසියානු සම්භවය  නිසා ඇයට වූයේ අමුතුම ආකර්ෂණීය සුරූපී බවකි.සාරාගේ මව
 පියා දෙදෙනා   මිශ් ජාතිකයෝය.මෙවන් ලේලියකට ගෙදරින් නම් කවදාවත් කැමති
 නොවන බව ඉඳුරා  දත් තේජන  සඳහා විවිධ පිඹුරුපත් සැලසුම් කළේය.මේ නිසා 
සියලු සෙල්ලක්කාරකම් මැද අවුරුදු 4 උපාධිය 6කින් අවසන් කරද්දී ආත්තම්මා කළුරිය
 කිරීම තේජන  දුකකට වඩා ගෙන දුන්නේ සැනසිල්ලකි. 
ඇයගේ මරණයට එන්නට නොහැකි  අවසන් විභාගයට හිර වී සිටි ඔහු තුන් මාසේ දානය
 වෙද්දී සියරට ආවේ තවත් මාස ගණනකින් ආපසු යන්නට සියළු සැලසුම් සකසා . නමුත්
 අත්තම්මා මියගොස් ඇත්තේ  තමන් හිරෙන් නිදහස් කර නොවේ.ඇය මිය යන්නට පෙර
  ඔහු  මනාලියක්  සොයා ඇත. මේ ගැන දැන ගත් තේජන වියරු වැටුණේය. ගේ 
දෙකක් කරමින් මනමාලිය බලන්නට නොයන බවට ගර්ජනා කළේය.
 "ඔයා එයාට කැමති වෙන්න ඕන නෑ.අපේ ළඟ  හිතවත්තු.එනවා කියල නොගියොත්
 හොඳ නෑ" "මෝඩ ගොඩේ කෙල්ලක් නෙවේ.උපාධියත් කරල ඉන්නෙ" 
"නිකමට ගිහින් එන්න.පස්සෙ අකමැතියි කියමු"
හතර වටේ අය හිත වෙනස් කරන්නට උත්සාහ කළත් තේජනගේ සිත යන්තම් හෝ බුරුල්
 වුණේ තාත්තා පපුව අල්ලාගෙන සාලය මැද  ඇද වැටුණ පසුය. 
ඉනට වැලමිටකින් පාරක් වැදුනෙන් තේජන උඩ බිම බැලුවේය. ඔසරියක් ඇඳ ගත් කවුදෝ
 සුදු රෙද්දකින් වැසූ ඉලත්තට්ටුවක් දික්කරගෙන ඉඳියි.නැගිට එය ගෙන  කවුද වත් 
නොබලා ඔහු නැවත ඉඳ ගත්තේය.ඇය  ඔහු ගැන තැකීමක් නැතිවාක් මෙන් පසෙකින් 
ඉඳ ගත්තාය. පවුල් දෙක හති වැටෙන කල් පම්පෝරි ගැසූ පසු තේජන හඬ අවදි කළේය.
 "අපි දෙන්නටත් කතා කරන්න ඕන" පුතා ගේ ලීලය දත් නෑයෝ වටපිට බලා අසුනින් 
නැගිට්ටාහ. "නෑ අපි එළියට යන්නම්" අහ්....මනමාලිටත් කටක් ඇති පාටය. 
ඔවුන් දෙදෙනා නිවසේ කාටවත් නෑසෙන තරම් දුරක වූ ගල් බැම්මක වාඩි වූහ. 
"මම කෙලින්  කියන්නම්.....තේජන ආරම්භය ගත්තේය....මට ගර්ල් ෆ්රෙන්ඩ් කෙනෙක්
 ඉන්නවා ඇමරිකාවෙ. කවුරු මොනවා කළත් මම බඳින්නෙ එයා  විතරමයි"
කනට ගසන්නාක් මෙන් කියා දැමූ ඔහු ඔසරි පොට හපාගෙන ඇස් වල කඳුළු පුරවාගෙන
 ගෙට දුවන කෙල්ලක් දකින අදහසින් ඇය දෙස බැලුවේය. එහෙත් ඇගේ මුහුණේ ඇත්තේ
 සිනාවකි.
 "මටත් කියන්න තියෙන්නෙ ඕකමයි.මම එයා  දන්නෙ කැම්පස් එකේ ඉඳන්.ඇත්තට 
 මම අද ඔයා  මුණ ගැහෙන්න වත් කැමති වුණේ අම්මා ඊයෙ කුඹුරට ගහන්න ගෙනාව
 වස බෝතලයක් බොන්න හදපු නිසා" තේජන  හිනා ගියේය. 
"එහෙනම් අපි මෙයාලට කුද ගහ ගන්න කියලා අපේ වැඩේ කර ගමු." 
"එහෙම එක පාරට බැරි වෙයි.ප්ලෑන් කරලා කරන දෙයක් තමා. 
"ම් ම් ම් අපි දෙන්නා කැමතියි කියමු.එයාලා වෙඩින් එකට ලෑස්ති වුණාදෙන්.අපි ගහමු 
හොඳ මාස්ටර් ගේම් එකක්!" 
වැහි වළාකුළු බර වී වලව්වෙන් උදෑසන  තේජන නැවත ගියේ හිරු නැගුණ අහසක් 
ලෙසය. "අපි කිව්වෙ.බෑ බෑ කිව්වට කෙල්ල දැක්ක  කැමති වෙනවා කියල.සීදේවි කෙල්ල.
 කේන්දරත් හොඳට  හොඳයි" නෑයෝ උදම් අනමින් මඟුල සැලසුම් කරද්දී තේජනටත් 
චාමරීටත් වෙන වැඩ ගොඩකි.දිවා රෑ රහස් කතා බොහෝය. 
"ඔය ප්ලෑන් එක හරි යන්නෙ නෑ.අම්මලා  අහු වෙයි"
 "නෑ අපි තව මෙහෙම කරමු"
 "එක ප්ලෑන් එකක් ගැන  විශ්වාස තියන්න හොඳ නෑ. ඒක වැරදුනොත් තවත් එකක් 
තියෙන්න ඕන"
වෙලාවකට තේජන හිනා යයි.
"බෑන්ක් රොබරි එකකට නම් කියාපු මොළේ"
"ඊටත් වඩා භයානකයි .වැරදුණොත් සමූහ මිනී වලක් හාරන්න වෙන්නෙ"ඇය සිනා සෙයි.
තේජනට ඇති ලොකු ප්රශ්නය ඇමරිකාව හා සම්බන්ධ වන්නට ඇති අපහසුවය.නොකල්හි පටන් ගත් ධාරානිපාත වර්ෂාව තිබුණ සිග්නල් ටිකත් සොරා ගෙන . තමන්ගෙන් ආරංචියක් නැති සාරා ඇත්තේ ඇඬූ කඳුලිනි.ඇති එක සැනසීම නැවත එන්නට දින කීපයකට පෙර අධික මිලක් ගෙවා මිලට ගත් දියමන්ති මුදුව ඉදිරිපත් කර තමන් හා විවාහ වන ලෙස දණින් වැටී සිදු කළ අයැදුම ඇය පිළිගැනීම පමණි.කෙසේ වුවත් මේ සියළු සැලසුම් ඇය දැන ගත යුතුය.ඇය එහි කොටස්කාරියකි.
අවසානයේ උදව්වත් ඔහු චාමරීගෙන් ඉල්ලුවේය.
"මෙහාටත් මේ දවස් වල සිග්නල් අඩුයි.තේ වත්ත උඩහට නම් ඇති.ඔයා එන්නකෝ"
චාමරී තේ වත්තේ සිග්නල් අහුවෙන තැනක් සොයා ඇයගේ ලැප්ටොප් එකත් ඩොන්ගල් එකත් සූදානම් කර තබා තිබුණි.ඇය තේ වත්තට ආවේ අවුරුදු 8 පමණ දරුවෙක් සමගය.
"ඔයා තනියෙන් මෙතන තිබ්බත් ප්රශ්න.මම විතරක් ආවත් ප්රශ්න.වැඩ වසම් නීති නෙ.මේ ඉන්නෙ මගෙ ආරක්ෂකයා.අපේ අක්කගෙ චණ්ඩියා.ඔයා වැඩේ කර ගන්න.අපි ඉන්නම් පහළ "
ඇය ඔහුට සියලු පහසුකම් සලසා වත්ත පහළට ගියාය. සැනෙකින් නැවත දිව ආවාය.
"අපේ ප්ලෑන් බී එකට උදව් ගන්න පුළුවන් යාළුවෙක් අද එනවා.හැබැයි එයා අපේ ගෙදරට එන පාර දන්නෙ නෑ.කතා කළොත් පාර කියන්න."ඇය තමන්ගේ ජංගම දුරකථනය ඔහු ළඟින් තැබුවාය.
පහළට දුවන ඇය දෙස බලා සිනා සී ඔහු නොඉවසිල්ලෙන් අන්තර්ජාලය හා සම්බන්ධ වූයේය.
පුදුමයකි!වයිබර්, වට්ස්ඇප්, ඊමෝ, මැසෙන්ජර්, ලයින්, ට්විටර්, ස්කයිප් කොතැනකවත් සාරාගෙන් පණිවිඩයක් නැත. තමන් යැවූ පණිවිඩ බලා වත් නැත.අඩු ගණනේ මේල් එකක් වත්.....තේජන ගේ හිස ගිණි ගත්තේය. ඇයට කරදරයක් වත් ?
ඔහු තමාගේ හොඳ මිතුරා වූ ධනුෂ්ක ඇමතුවේය.
වේලාව ගැන කල්පනාවක් නොවුනෙන් හොඳ නින්දක සිටි ධනුෂ්ක අඩ නින්දෙන් කෑ ගැහුවේය.
"අඩෝ තේජනයා...උඹ ගියා ගියා මයි.අපි උන්න මළා නෑ නේහ්"
"මෙහෙට සිග්නල් අවුල් බං.සාරාගෙන් ආරංචියක් නැද්ද."
"....ඒකිට දැන් උඹ මතක නැතුව ඇති බං.ඒකි අර මෙක්සිකන් කාරයා එක්ක ආය සෙට් වෙලා"
"මොන මෙක්සිකන් කාරයා ?"
"අර බං ඩැනියා වැඩ කරන රෙස්ටුරන්ට් එකේ  බාර් එකේ වැඩ කළේ.ඒකි ත් ඉස්සර ඉස්සරහ ක්ලබ් එකේ නෙ හිටියේ."
"අනේ මේ නිදිමරගාතේ බොරු නොකියා ඉඳින්."
ධනුෂ්ක ඇස් පිස දා ඉඳ ගත්තේය.
"නෑ බං මං සිරා කියන්නෙ.ළඟඳි මායි ඩැනියායි තව සෙට් එකක් ක්ලබ් එකට ගියා ඩැනියා තමා මටත් පෙන්නුවේ ඒකි එතන සින්ග් කරනවා.උන් දෙන්නා ඉස්සරත් එක එපාට්මන්ට් එකේ හිටියෙ.උඹ දළ කාරයා බව පෙනිලා උඹත් එක්ක සෙට් වුණේ."
"ඒත්...ඒත්....."
"අපි මේ ඉන්න ඩිංගට පොඩි ජොලියක් දානවා මිසක් ඔය වගේ හරි හමං ජාතියක් වත් නැති උං කර ගහ ගන්නෙ නැති බව උං දන්නවා....."
එතනින් එහා ධනුෂ්ක කිව් කිසි දෙයක් තේජන ඇසුණේ නැත.හිසට පොල්ලකින් පහර දී, කන් දෙක අසල ගල් බෝරයක් දමා, ඇස් ඉදිරිපිට දහසක් මල් වෙඩි පත්තු වෙද්දී බෙල්ලට දැමූ තොණ්ඩුවකින් අදිනවාක් මෙනි.අත පය පණ නැති ගොසිනි.ධනුෂ්ක ගේ වචන මොළය ඇතුලේ රැව් පිලිරැව් දෙයි.
අතරේ චාමරී ගේ දුරකථනය නාද විය.
සාරා මට නැති වුණා නම් මොකටද ප්ලෑන්. ඔහු දුරකථනය අතට නොගෙන සිතුවේය
නෑ....මට මෙහෙම වුණා චාමරී පළි නෑ.මං දෙන්නා එකතු කරනවා.
ඔහු සිහිනයෙන් මෙන් ඇමතුම සම්බන්ධ කර කනට තබා ගත්තේය.
"චාමරී.....!!තමුසෙ නටන නාඩගම මම දන්නෙ නැහැ කියල හිතන්නෙ.මාව අවුරුදු ගානක් රවට්ටලා උඹ වළව්කාරයෙක් බැඳ ගන්න නේද?" තේජන වචනයක්වත් කියන්නට ඉඩ නොදී එහා පැත්තෙන් ඇසුණු තර්ජනාත්මක පිරිමි කටහඬට ඔහු ගැස්සී ගියේය.ඔහු දිගට නිහඬ අසා සිටියේ මේ කරන්නේ නිවැරදි දෙයක් දැයි වත් සිතා ගන්නට බැරිවය. ගැහැණියකට තබා පිරිමියෙකුට වත් අසා සිටිය නොහැකි තරම් වචන වලින් කෙරුණ  වාග් සංග්රහය අවසානයේ තේජන සම්පූර්ණයෙන් පියවි සිහියට එළඹ සිටියේය.
ඔහු අන්තර්ජාලය ක්රියා විරහිත කර ලැප්ටොප් එක නිවා දමා දුරකථනය රැගෙන පහළට බැස්සේය.
සෙල්ලමෙන් රතු වී සිනා සිසී චාමරී දුව ආවාය.
"අරයා කෝල් කලා "
"මං හින්දා ඔය දෙන්නා අතර ප්රශ්න ?"
තේජන ඇසුවේය.ඇගේ සිනහව බලා සිටියදී අතුරුදන් ගියේය.
"එයා මාව විශ්වාස නෑ"
"මම මුණ ගැහිලා කතා කරන්නම්"
"අපෝ එපා.නිරපරාදේ ඔයා බැණුම් අහන්න ඕන නෑ.අවුරුදු ගානක් ආශ්රය කලාට මට එයාගෙ නියම විදිය පේන්නෙ දැන්"ඇය ඈත බලාගෙන කීවාය.
එහෙනම් එයා බඳින්නෙ?අසන බැල්මෙන් තේජන බලා සිටියේය.
"ඔයයි සාරා යි එකතු කරනවා මං.එච්චරයි.
-------------------------------------------------------------------------------------------------------
පැහැබර උදෑසනක් උදා වී තිබිණ.හතර පේරුවක,හත් මුතු පරම්පරාවක ආශිර්වාද මැද සුබ මොහොතින් තේජන අගහස් සූර්යබණ්ඩාර හා චාමරී උත්පලකුමාරි බස්නායක පෝරු මස්තකාප්රාප්ත වූහ.


Comments