තව දොරක්


දිල්හානි අමාරුවෙන් දෑස් හැරියාය.වහලයේ විදුලි පංකාව වේගයෙන් කැරකේ.තමන්ගේ ජීවිතයත් වගේ නොවේ දැයි ඇය කල්පනා කළාය.
වසර කීපයකට පෙර ඇය රටේ ජනප්රිය රූපවාහිනී නාලිකාවක අතිශය ජනප්රිය නිවේදිකාවකි.දිනපතා වැඩසටහන්, සම්මුඛ සාකච්ඡා,ප්රසංග නිම කර ගැනීමට දවසේ පැය 24ත් මදි . හැරුණු විට තම නාලිකාව, වැඩසටහන ජනප්රියකමේ ඉහලින් තබන්නටත් එක වැඩසටහනේ සහෝදර නිවේදිකාවට පවා  වැඩියෙන් තමන්ගේ ජනප්රියකම, ඉල්ලුම වඩවා ගන්නට කළ යුතු සුදු මෙන් කළු උපාය මාර්ග නොවැරදි අනුගමනය කළ යුතු විය.එදා තමන් ඉතා වේගවත් ගමනක් යන බව හැඟුනත් එය මේ විදුලි පංකාව මෙන් එක තැන කරකැවීමක් පමණක් බව දිල්හානි වැටහුනේ අසාධ් රෝගයක් වැළඳී එක් තැන් වුණ මේ මොහොතේය.එදා ඇය නොහඳුනන්නෙක් නොවීය.අද ඇය හඳුනන්නෙක් නැත.
ළඟ පාත ලෙඩෙකුගේ ජංගමයාගෙන් නැගුන නාදය ඇයව තවත් මානයකට ඇද දැම්මේය.
ඇය නිවේදිකාව ලෙස කටයුතු කළ රියැලිටි වැඩසටහනකින් ජය ලැබූ ගායකයෙක් ගේ ජනප්රිය ගීතයකි. වැඩසටහන ඇය නිසා ඇය වැඩසටහන නිසා මහත් ප්රසිද්ධියක් ලැබුවාය.එක් එක් වටයෙන් ජය ලැබූ,පැරදුන වයස දහය දොළහේ පොඩි දරුවන් මුලින් සතුට,දුක බෙදා ගත්තේ ඇය සමගය.අද කිසිවෙකුට ඇය මතක නැත.
"ගේ හැදුවා පලංචිය ගලවනවා..."ඇය තමාට කියා ගත්තාය.
එදා ඇය කළේ තමන් අතට පත් වන ප්රතිඵල සටහන කියවීම පමණක් වුවත් තීරණ වලට ඇගේ දායකත්වයක් ඇති බව විශ්වාස කළ රසිකයෝ වූහ.
අනේ....ඇයි එයා අයින් කළේ?අනිත් දෙන්නට වඩා හොඳට එයා සින්ග් කළානේ...
අපරාදෙ කෙල්ල විසි කරන්න සල්ලි නැති නිසා නේද කපල දැම්මේ.....
පිච් එකටත් පිටින් කිව්ව ළමයා තෝර ගන්න ඔයා හොඳට සංගීතෙ දන්නවා ඇති නේහ්....
වැනි ප්රතිචාර මෙන් ඊට වඩා දරුණු වචන පවා ඇයට සුපුරුදුය.
සංගීතය ගැන දැනුමක් නැති වුවත් සමහර තරඟකරුවන් විනිශ්චය මණ්ඩලයෙන් ලද තීරණය නිවැරදි නැති බව දිල්හානිට තේරුනේ වරක් දෙවරක් නොවේ.විනිශ්චය මණ්ඩලයේ තීරණය තවත් අතකින් තීරණය වූයේ දැයි ඇය දැන සිටියේ නැත.එවන් සියළු පෙරණ වලින් බේරී අවසානයේ කිරුළ හිමි කර ගත් සමහරුන්ට ඉන්පසු අත් වූ ඉරණම දකිද්දී ලැබුවේ සැබෑ ජයක් දැයි දිල්හානිටත් නොතේරේ.
ළඟ ළඟ ඇසුණ පියවර හඬක් නිසා ඇය දෙස බැලුවාය.ඇයට මතක් විය.අද වාට්ටුව බාර ලොකු දොස්තර එන්නට නියමිතය. මෙතෙක් දැක නැති වුවත් එහෙන් මෙහෙන් ඇහෙන කතා වල හැටියට ඔහු අති දක්ෂයෙකි.තද නීති කාරයෙකි.සියල්ල පිලිවෙලට පිරිසිදුවට නැත්නම් වසලා හමාරය.
මේ මහා පුරුෂයා කවුදැයි දිල්හානි දෑස් දල්වා බලා සිටියාය.තරුණ උස මහත තේජවන්තයෙක් මෙතෙක් කල් වාට්ටුවේ රජ කළ සියළු දෙනා වට කරගෙන එයි.ඔවුහු ඔහු ඉදිරියේ සුවච කීකරු ගැත්තන් හා සමානය. මුහුණේ මොකක්දෝ හුරුපුරුදු ගතියක් දිල්හානිට මතක් විය.අතීතයේ ඇය දැන සිටි අසීමිත පිරිස ගැන සැලකීමේ දී එය එතරම් පුදුමයක් නොවුණත් මේ මුහුණේ නොදන්නා විශේෂයක් ඇයට දැනේ.
මෙතෙක් වාට්ටුවේ කටයුතු කළ කණිෂ්ට වෛද්යවරයා දිල්හානිගේ රෝග තත්ත්වය මොනවාදෝ නොදන්නා වචන ගොන්නකින් විස්තර කරද්දී දිල්හානි ඇගේ මතකය පතුළට කාල් ගෑවාය.
"so what is your final decision?will she be ok?"
රුව සේම ගැඹුරු හඬක් ඇය අතීතයෙන් වර්තමානයට ඇද දැම්මේය.
සියලු දෙනා විපිලිසර බලා සිටිති.මේ දෙන පිළිතුර ඉතා තීරණාත්මක .
"මේ ලෙඩාගෙ තත්ත්වෙ නෙගටිව් පොසිටිව් ?"
ඔහු නැවත ප්රශ්නය පැහැදිලි කළේය.
පිරිස තවමත් නිහඬය.බිම බලා ගත් ගමන් . තවත් නිහඬ සිටීමෙන් තම කාර්ය මණ්ඩලය ඉදිරියේ බැණුම් අසනවාට වඩා වැරදි පිළිතුරක් හෝ දීම වටින බව තීරණය කළ කණිෂ්ට වෛද්යවරයා අපහසුවෙන් හඬ අවදි කළේය.
"සර් මෙයාගෙ මෙඩිකල් හිස්ට්රි එකයි...මේ වෙනකල් කෙරුව....."
ජ්යෙෂ්ඨයා දෙබැම ඔසවා බැලුවේය.
"Yes or no?"
කණිෂ්ඨයාට හීන් දාඩිය දැම්මේය. වචන දෙක තුල තමන්ගේ මුළු නම්බුව ඇත. දිල්හානිගේ පැත්තෙන් ඇගේ ජීවිතයේ තීන්දුවයි.
සෑහෙන කල් මරා ඔහු හඬ අවදි කළේය.
"නෝ......සර්"
"Are you sure?.........we must have other ways to win. let's try."
දිල්හානිගේ හිතේ හිරු පෑව්වේය. රියැලිටි වැඩසටහනේ එක් වටයකින් ඉවත් වූ තරඟකරුවන් දෙදෙනෙක් ගෙන් කෙනෙක් කඳුළු සලා හඬද්දී අනෙක් තරඟකරුවා ඔහු සනසමින් පැවසුවේ මෙය නොවේ ?
ඇය තවත් හොඳින් දෑස් හැර තමන් ඉදිරියේ සිටින වෛද්යවරයා දෙස බැලුවේය.වසර ණනක් ගත වුවත් අධිෂ්ඨානශීලී ළමා මුහුනේ හැඩ නිල තවමත් සොයා ගත හැක.
"Yes we must have other ways to win.let's try"
ඇය මහත් සතුටකින් තමාට මුමුණා ගත්තේ තමන්ගේ දිවි ගැලවේ යන සන්තෝසයටත් වඩා  සැබෑ ජයග්රාහකයෙක් දැක ගත් සතුටිනි.


Comments