දෙපයින් සිට ගන්න


When All Else Fails, Stand and Stand Again - Claudia Burger
    වසර කීපයක් ගුවන් තොටුපල ටැක්සි සේවයේ යෙදුන සිරිල් මේ වෙද්දී එක බැල්මකින් තමන්ගේ රථයට නගින කෙනාගේ තරාතිරම,සමාජ තත්ත්වය ගැන බොහෝ දුරට නිවැරදි තක්සේරුවකට පැමිණිය හැක.එසේ තරාතිරම සෙවීම වැදගත් වන්නේ ටිප් එකේ වාසිය සැලකීමේදීය.
අදත් හොඳ වාසියක් සැලසෙන හැඩකි.රථයට ගොඩ වී සිටින්නේ ඉහළ තරාතිරමක මහතෙකි.සිරිල් සීරුවෙන් රථය පාරට දැම්මේය.මහතා කතාවකින් තොර ටැබ් එකේ වැඩකි. අතර දුරකථනයට උත්තර දෙයි.
"ඔව් නිර්මල හිතුවටත් වඩා අඩු ගාණකට මැෂින් ටික ගන්න පුළුවන් වුණා.අපිට ලිස්ට් එකේ ඊළඟට ඉන්න 10 දෙනෙකුට විතර දෙන්න පුළුවන් වෙයි"
සිරිල්ගේ නිගමනය නිවැරදිය.ඔහු රට ගොස් ඇත්තේ ව්යාපාරයට මැෂින් ගෙන ඒමට නම් හොඳ බර ඇති ව්යාපාරිකයෙක් විය යුතුය.
කොල්ලගෙ පන්ති ගාස්තු දෙන්නත් ඕන. ගිය මාසෙ ලයිට් බිල ගෙව්වෙත් නෑ.....සිරිල් ගෙවන්නට ඇති වියදම් කල්පනා කළේය.
තරු පහේ ආපන ශාලා කීපයක් ඉදිරි පාරේ ඇති බව සිරිල් සිහි විය.
"සර් තේ බීල යනව ?"
".....මං දන්න තැනක් තියනවා.....තව ඉස්සරහ.මං කියන්නම්..."
".....ඔන්න ඔතන"
සිරිල් රිය නවතා වටපිට බැලුවේය.තරු පහේ හෝටල් සියල්ල පසු විය.පෙනෙන තෙක් මානයේ ඇත්තේ පුංචි අතු පැලක් වන් කඩයක් පමණි.
"අනේ.....සමරසිරි මහත්තයා නේ....." කාන්තාවක් හිනා කටක් පුරවාගෙන එළියට දුව ආවාය.
"කොහොම සාමා.....මහත්තයාට හොඳ දැන්......... සිරිල් නේද නම.....බැහැලා එන්න....."
"නෑ සර් මං ඉන්නම්‍"උදේ පාන්දර සුපිරි අවන්හලකින් උගුර ළඟට එන්නට ෆුල් ඩයට් එකක් දාන්නට පෙරුම් පිරූ සිරිල් නොසතුට වසාගෙන කීවේය.
"අනේ එන්න....වාහනේ පරිස්සම් මෙතන..." කාන්තාව පෙරැත්ත කරද්දී සිරිල් අකමැත්තෙන් වාහනයෙන් බැස්සේය.
පිටින් කුඩාවට පෙනුනත් ඇතුලතින් ඉතා පිරිසිදුය.කවුන්ටරයේ සිටින්නේ කාන්තාවගේ සැමියා විය යුතුය.සැමියාගේ කකුල් වල ආබාධයක් ඇති බවට බිත්තියට හේත්තු කර ඇති කිහිලි කරුව සාක්ෂි සපයයි. දෙදෙනා සමරසිරි මහතාගේ හිතවතුන් වාගේය.
කෙතරම් හොඳ පිරිසිදු ආහාර වේලක් ලැබුණත් සිරිල් නැවත වාහනයට නැග්ගේ පහ නොවූ  නොරිස්සුමිනි.
නොසිතූ ලෙස උදේ පාන්දර වාහන තදබදයකි.සිරිල්ට තවත් තරහ .
"කොහෙ යනවද මන්දා කකුලත් නැතුව" වාහන පෝළිම් අතරින් ඇදෙන රුවක් දැක  සිරිල් ආවේගයෙන් කීවේය.සමරසිරි මහතා හිස ඔසවා බැලුවේය.
"ඉස්සර පේමන්ට් එකේ බිස්නස් කරපු මනුස්සයෙක් සර්.ඇක්සිඩන්ට් එකක් වෙලා කකුල කැපුවා.තවත් මට්ටු වෙලා නෑ"
සමරසිරි මහතා ෂටරය පහත් කළේය.
 කිහිලි කරුවට වාරු වෙමින් වාහන වලට හඳුන්කූරු විකිණීමේ අසීරු තැතක යෙදී සිටි පුද්ගලයා වහා ළඟට ආවේය.
"කීය හඳුන් කූරු?"
"පැකට් එකක් 50යි සර්...."
"පැකට් දෙකක් දෙන්න....බිස්නස් එක දියුණු කර ගන්න අදහසක් තියෙනවා නම් මේ එඩ්රස් එකට එන්න."
මුදල් සමග නේම්කාඩ් පතක් වෙළෙන්දා අත පත් විය.
ක්රියාව දුටු තවත් ආබාධිත හිඟන්නන් දෙදෙනෙක් තරඟකාරීව වාහනය අසලට කිට්ටු කළත් සමරසිරි මහතා ෂටරය වසා නැවත ටැබ් එකට එබීමත් වාහනය ඉදිරියට ධාවනය වීමත් එක විට සිදු විය.
"සර් හරි අනුකම්පා යි නේද ආබාධිත අයට"
සිරිල් නිහඬතාවය බිඳිමින් ඇසුවේය.
" ඕන කෙනෙක් ඕන වෙලාවක ඔහොම වෙන්න පුළුවන්. අතක් පයක් නැති වුණා ජීවිතේ ඉවරයි හිතන්න නරකයි. උත්සාහයයි දහිරියයි තියෙනවා නම් කොහොම හරි දෙපයින් සිට ගන්න පුළුවන්"
සිරිල් කල්පනාවට වැටුනේය.හදිසියේ වත් අනතුරකින් තමන්ගේ අත පයක් නැති වුනොත්...ඔහුගේ ඇඟ හීතල විය.ඔහු තවත් ගැන නොසිතා රිය ධාවනය කළේය.
 මහ ගේට්ටුවකින් ඇතුල් වත්තක් මැදින් ගොස් මන්දිරයක් ඉදිරිපිට වාහනය නැවතුනේය.ඔහු පිළි ගන්නට මහා රංචුවකි. අතර කැමරාකරුවන් පත්තර වාර්තාකරුවන් කීප දෙනෙක් වීම සිරිල් විස්මයට පත් කළේය.තමන් සිතා සිටියාට වඩා වෙනස්  පාරිභෝගිකයෙක් මුණ ගැසීමෙන් කුතුහලයට පත් වූ ඔහු  අහල පහල තේ කඩයකට ගොඩ වුනේය.
"කවුද අර ගෙදර ඉන්නෙ?"
ඔහු වේටර් සමග සුහද බවක් ගොඩ නගාගෙන ඇසුවේය.
"හයියෝ අඳුරන්න බැරි වුණාද? හරි ප්රසිද්ධ කෙනෙක් නේ. මහත්තයා ඉස්සරත් හොඳ මලල  ක්රීඩකයෙක්ලු.නම කිව්වොත් නොදන්න කෙනෙක් නෑ. කාලෙකට කලින් වාහනේ පෙරළිලා කකුලක් කපන්න වුණාලු. සෑහෙන අමාරුවෙන් තමයි ගොඩ ඇවිත් තියෙන්නෙ.කලින් වගේ ක්රීඩා කරන්න බැරි වුණාට දැන් අර ආබාධිත අයට පිටරට තියෙන තරඟ වලට ලංකාවෙන් යන කෙනෙක් ඔය. මේ ළඟදි රටවල් ගණනාවකින් දිනලා පදක්කමකුත් ගත්තා. සමාජ සේවේත් හරියට. ආබාධිත අයට රස්සා කරන්න එහෙම හුඟක් උදව් කරනවා. අතක් පයක් නැති කරල මොළයක් තියෙන මිනිහෙක් වට්ටන්න බෑ කියල තමා මහත්තයා කියන්නෙ"


Comments