වෙදකම

බෝ මළුවේ සිසිලස විඳිමින් සිටියත් සේපාල නෙල්ලිමුල්ල වෙද මුහන්දිරම සිටියේ ගිනි ගොඩක දැවෙමිනි.

"අයියණ්ඩි ලොකු කල්පනාවක වගේ"ළඟ නෑ කමක් තිබූ ලොකු හාමුදුරුවන් එතැනට වැඩම කරන තුරු ඔහුට නොදැනුනේය.

"මගේ කල්පනාව ඔබ වහන්සේ දන්නවා නෙව අපෙ හාමුදුරුවනේ........ මගෙන් පස්සෙ මේ වෙද පරම්පරාව අවසානයි.නෑදෑ පවුලකවත් හරි හමන් කොල්ලෙක් නෑ වෙදකම දෙන්න"

"ජයතු තව ඉස්සර වගේ ?" හාමුදුරුවෝ විමසන්නේ ඔහුගේ එක පුතා ගැන .

 "ඒකාට පිහිටන්නෙ වෙදකම නෙවේ අසත්පුරුසකම. අකුරු කරන්න මෙහෙට එවල අල්ලපු ජල්ලි වල හැටියට ඔබ වහන්සේ අපි ගමෙන් එලෙව්වෙ නැතුව මදෑ"  

අයියණ්ඩි මේ වේලාපත්කඩේ ගැන මොනවද කියන්නෙ?"හාමුදුරුවෝ තල් පත් ඉරුවක් ඔහු අත තැබූහ.

හඳහන් බැලීමේ පරතෙරට ගිය හාමුදුරුවෝ තමන්ගේ අදහස අහන්නේ කුමකට දැයි සිතමින් ඔහු එය කුහුලින් අතට ගත්තේය.

එහි ග්රහ පිහිටීම් කියවාගෙන යද්දී සේපාල ගේ මුහුණ පුදුමයෙනුත් සතුටිනුත් පිරී ගියේය.

"උපන් ජීවකයෙක් නෙ හාමුදුරුවනේ .... කොහෙද ඉන්නෙ මේ දරුවා?"

"ගලේගෙදර පන්සලේ දායක පවුලක. කොල්ලා තිස්සෙ ඉන්නෙත් පන්සලේ. මහණකමට දෙන්නයි මහ උදවියගෙ අදහස. කොයිකටත් වේලපත්කඩේ බැලුව මට අයියණ්ඩි සිහි වුණා."

"අවසර හාමුදුරුවනේ මං කැමතියි මගෙ පරම්පරා සාත්තරේ අඩු නැතුව මේකාට දෙන්න. ඔබ වහන්සේ පයිණ්ඩයක් ලියා දෙනව නං මං අද පිටත් වෙන්නම් කැටුව එන්න"සේපාල නොයිවසිල්ලෙන් කීවේය.

"කොල්ලා අකුරු සාත්තරේ ටත් බොහොම හපන්.අපූරුවට කවි ගාථා පාඩම් හිටිනවා....හැබැයි අයියණ්ඩි පරම්පරාවෙන් පිට සාත්තරේ දෙන එකට සෝලි තියෙයි නෙව?"

"ඒකට කාරි නෑ.මට උපන් අසමජ්ජාතියාට මගෙ සාත්තරේ පිහිටන්නෙ නෑ.සිංහ තෙල දාන්න ඕන රත්තරන් පාත්තරේක.නැත්නම් මගෙ අත්තලා මුත්තලා මට පළි ගහයි ලෝකෙ ඉඳන්"

එසේ වෙද ගෙදරට ටිකිරි ඉතා බුහුටි උගත්තේය.සේපාල කිසි ගුරු මුෂ්ටියක් නොතියා සියල්ල ඉගැන්වූයේය. ගුරා තරමට ගෝලයා ඉසිවරයෙක් වන ලකුණු පෙන්නුම් කරද්දී මෙය නොඉවසන විෂබීජයක් ඉතා වේගයෙන් වර්ධනය වූයේය. වෙද මුහන්දිරම් පරම්පරාවේ ඊළඟ පුරුක වන්නට පෙරුම්පුරා සිටි ජයතුය.පියාට එරෙහි යා නොහැකි නිසා නිහඬ වුවත් ජයතු ටිකිරිගේ පියවරක් පාසා ඔත්තු බැලුවේය. දියණියන් හා බිරිඳ මේ තීරණයට එකඟ නොවුණත් ඔවුහු ජයතු මෙන් එලිපිට වෙනස්කමක් කරන්නට බිය වූහ. ඔවුන් බොහෝ විට තරහ පිට කළේ ටිකිරිගේ බත් පිඟානට කෙනෙහිලිකම් කරමිනි.

තමන්ගේ තැන නිවැරදිව දැන සිටි ටිකිරි වෙද ගෙදර මග හැරියේය.හැකි තාක් පොත් ගුල රිංගා වෙද පුස්තක හැදෑරුවේය.බොහෝවිට රැය එහි පහන් කළේය. ඉපැරණි පුස් කොළ පොත් ගොන්නක් අතර තිබී ටිකිරිට තඹ පත් ඉරුවක තිබූ බෙහෙත් වට්ටෝරුවක් ලැබුනේය. පුස් කොළයක නොලිවීමෙන්ම මෙහි විශේෂයක් ඇතැයි සිතූ ඔහු මුලින් තම ගුරුවරයා එය පෙන්නුවේය. තඹ පත දුටු මුහන්දිරමගේ මුහුණ එළිය වැටුනේය.

 "මේක උඹේ අතටම ආවෙ මගේ මුතුන් මිත්තොත් උඹට ආශිර්වාද කරන හින්දා. මෙහෙම තෙලක් තියෙන බව මිසක් මේ පත් ඉරුව හොයා ගන්න මගේ තාත්තා වත් බැරි වුණා...රන්කිරි කුමාර තෛලය.උපන් ගමක් පොඩි එකෙක් ගෙ කටේ එක බින්දුවයි තියන්න ඕන.ඒකාට ඉහෙන් බහින රෝගයක් හැදෙන්නෑ හුස්ම තියෙනකල්."

"මෙතන තියෙන්නෙ ඔක්කොම විෂ වර්ග. විසෙන් විස නහනවාද මේවා කලවම් කළාම මාමේ?"

"මම සාස්තරේ දුන්නෙ හරිම මිනිහට...මේක රහසක් කොල්ලෝ.වැරදි අතකට ගියොත් වැරදි විදියට පාවිච්චි කරන්න පුළුවන් නිසා මුළු වට්ටෝරුව මෙතන නෑ.ඉතිරි ටික කට වචනෙන් එන රහසක්. තෙල හිඳලා නැවුම් මුට්ටියක දාලා වෙසක් පුර අටවක දවසක ඉඳන් හත් මාසයක් අඩි හතක් පොළව යට වලලන්න ඕන නියම ප්රතිඵලේ ගන්න.උඹ ඕන කරන අඩුම කුඩුම හොයා ගනින් කෝ. වෙසක් මහටත් තව වැඩි කාලයක් නැහැනේ."

සේපාල ටිකිරි හා නැවත තෛලය හිඳින්නට සූදානම් වුවත් හදිසියේම ඔහු එක්තැන් වූයේය. එය එක් පැත්තකින් ජයතුට හිතූ මනාපයේ බලය පෙන්නන්නට ලැබුණ අවස්ථාවක් විය. සේපාල ටිකිරි හැර වෙන වෙදකමක් ප්රතික්ෂේප කිරීමත් මෙතෙක් කළ වෙදකම් සම්පූර්ණයෙන් ටිකිරි මත පැවරීමත් ජයතු තවත් කෝප ගැන්වුවේය.

ඔවුන් අතින් වෙදකම් ලද රෝගියෙකු බලන්නට දුර ඈතක ගිය ටිකිරිට ලෙඩාගේ තත්වය යහපත් නොවූ නිසා පිටත් වන්නට හැකි වූයේ පහුවදා පාන්දරය. යාන්තම් ඉර එළිය වැටීගෙන එද්දී ගම් සීමාවට ආවත් ඉන් එහාට නොයන්නට තරම් ඉවක් ඔහුට දැනුනේය.

නිසා කවදත් ඔහුට සරණ වූ පන්සල පැත්තට ඔහු පා නැගුවේය.හිරිමා පාන්දර වුවත් නිදි නැති රැයක් ගත කර තිබූ ලොකු හාමුදුරුවෝ විස්මපත් වූහ.

"කොලුවෝ............. උඹ යහතින්?"

"ඇයි අපෙ හාමුදුරුවනේ"

උන් වහන්සේ වහා ඔහු ආවාසය තුළට ගෙන අත පය ඉහ නිකට පරීක්ෂා කළහ.

"උඹ මේ කොහෙ ඉඳන් එන්නේ?"

"ඊයෙ හවහ ලෙඩෙක් බලන්න කන්දෙන් එගොඩහට ගිය ගමනෙ මං දැනුයි ගම පය ගැහුවෙ.ගෙදරට යන්න හිත නැමුනේ නැති නිසායි පන්සල පැත්තෙන් ආවෙ"ටිකිරි පුදුමයෙන් කීවේය.

උඹ නම් හැබෑ වාසනාවන්තයෙක් තමා. කුප්පි ලාම්පුව පෙරලිලා වෙද පොත් ගුල ගිනි අරන් හූනෙක් කූඹියෙක් තරම් වත් ඉතිරි kE. ඒක අහපු හැටියෙ ගැස්ම දරා ගන්න බැරුව ඊයෙ රෑ වෙද අයියණ්ඩි ආන්තරා වුණා. මං බයේ උන්නෙ......

උන් වහන්සේ ඉතිරිය නොකියා නිහඬ වූහ. ටිකිරිට සියල්ල වැටහුනේය.මෙතෙක් සිදු වූ හැම අරියාදුවක් නිහඬ ඉහිලූ ටිකිරි දත් මිටි කෑවේය. තම ගුරුවරයා වෙනුවෙන් උපන් දුකෙන් ඔහුගේ උගුර කකියන්නට වූයේය.

"පව්කාර මෝඩයා..... උඹයි එහෙනම් විනේ කැටියෙ.පුස් කොලේ නැතුවට ඔය ඔක්කොම මට පාඩම්" තමන්ට තොල මතුරා ගත් ඔහු නැගී කඳුළු පිස දා ගත්තේය.

"උඹ කොල්ලෝ එලිය වැටෙන්න කලින් මෙහෙන් පිටමං වෙයං.යන තැනක උඹට රත්නත්රයේ පිහිටයි."

ලොකු හාමුදුරුවන්ගේ පිරිත් නූලකින් ආශිර්වාද ලද ටිකිරි පයින් ගමෙන් පලා ගියේය. සුවඳ සඳුන් පහනකින් එළිය වුණ පොත් ගුලට කුප්පි ලාම්පුවක් ගිය හැටි දන්නෙක් නැතිවාක් මෙන් වෙද පොත් සියල්ල කට පාඩමින් දත් ටිකිරි ජීවතුන් අතර බව කිසිවෙකුට එළි වූයේ නැත.

-----------------------------------------------------------------------------------------------------------------------------

ජයතු ලා ටිකිරි ලා තම තමන් කල පව් පින් අනුව ජීවිතය නිමා කරද්දී සුද්දා ද ලංකාව එපාම එපා වී මෙන් සිය රට ගියේය.සුද්දාට අප එපා වූවා ට අපට නම් ඔබෙන් තොර ලොවක් නෑ කියන්නට මෙන් ලාංකිකයෝ නම් හැකි සෑම අවස්ථාවක ම පිට රටින් ම යැපෙන්නට ත් ඔවුන්ට ම ආවඩන්නට ත් පුරුදු වී සිටියහ.

එදා සිදු වූ අනතුරින් පසු නෙල්ලි මුල්ල පරම්පරාවෙන් තව දුරට ත් වෙදදුරන් බිහි නොවුන ද වර්තමාන පරම්පරාවේ පුරුකක් වන ශමල් නෙල්ලිමුල්ල වෛද්‍ය වරයෙක් වීමට එංගලන්තය බලා ගියේය.එහිදී ම හමු වූ ලාංකික තරුණියක වූ සමදරා හා විවාහ ද වූයේය.

"නෙල්ලිමුල්ල...හරි ලස්සන වාසගමක් නේ"

සමදරා ගේ ඥාති සොහොයුරු මහින් පදිංචි ව සිටියේ ඉතාලියේය.නිවාඩු නැති නිසා ඔවුන් ගේ විවාහයට සහබාගි වීමට නොහැකි වූ ඔහු ඉඩ ලද විටෙක එංගලන්තය බලා ආවේය.මේ ඔහු ශමල් මුණ ගැහෙන මුල් ම අවස්ථාවය.

"මල්ලි දන්නවද මෙයාගෙ තාත්තලා පරම්පරා වෙද පවුලක්නෙ.පවුලෙන් පිට කෙනෙක්ට වෙදකම උගන්වලා විපාකෙට වෙදපොත් තිබුණ ගබඩාව ගිනි අරන් විනාස වුණාට පස්සෙ වෙදකම නැති වෙලා තියෙන්නෙ. හොඳ වෙලාවට තඹ තහඩු වල ලියල තිබිල නිසා පරම්පරාවෙ වටිනා බෙහෙත් වට්ටෝරු ඉතිරි වෙලා. එයාල ඒවා පිට දෙන්නෙ නෑ පවුලෙ අයට බෙහෙත් කරනවා ඒවයින්" සමදරා උජාරුවෙන් කීවාh.

 ඔවුන් අතරට ශමල් ආවේ හිත කරදරයෙනි. "පුංචි නැන්දා ගෙත් ලෙඩේ හොයා ගන්න බැරුව හොස්පිටල් එකෙන් ගෙදර එවලා ලු."

 " මොකද අවුල අයියා?"

"අපේ තාත්තලගෙ පවුලෙ හැමෝටම අවුරුදු 45-50 වෙද්දි අඳුන ගන්න බැරි ලෙඩක් හැදිල අවුරුදු ගණන් දුක් විඳලා මැරෙන්නෙ. පුංචි නැන්දා 55 වෙනකලුත් මුකුත් අසනීපයක් නැතුව හිටි නිසා අපි හිතුවෙ ඒක දැන් ඉවරයි කියල."ශමල්ගේ කටහඬ වෙව්ලන්නේ තමන්ගේ ත් ඉරණම මෙයදැයි සිතමිනි.

"පිටරටකට ගෙනියලා මුකුත් කරන්න බැරි වෙයි ?"

 "ලොකු තාත්තා ලෙඩ වුණ වෙලාවෙ මෙහෙ ගෙනත් මමත් මැදිහත් වෙලා බේත් කළේ. වැඩක් වුණේ නෑ.බලන්න සීයලා කරපු එක වරදක් අපි ඔක්කොටම සාපයක් වෙලා තියෙන හැටි" "ඔහොම හොයා ගන්න බැරි ලෙඩ වලට බේත් කරලා නිට්ටාවට සනීප කරන වෙද පවුලක් අපේ අම්මලා දැනගෙන හිටියා.මං අහල බලන්නම්.අපෙත් සනීප කරන්න බැරුව ගෙදර ගෙනාව බාප්පා කෙනෙක් මාස දෙකකින් ගොඩ දාලා දුන්නා"මහින් දුරකථනය අතට ගනිමින් කීවේය.

 "අනේ ලොකු උදව්වක් මල්ලි.කොහෙද ඉන්නෙ වෙද මහත්තයා?"

 "මං හිතන්නෙ ගලේගෙදර පැත්තෙ"

Comments