නැන්දම්මා

What Should “Brow-beaten Jane” Do With Her Unbearable French ...

හත් දෙනෙකුගෙන් යුත් මිතුරියන් ගැන්සියෙන් මුලින් විවාහ වූයේ චමත්කා .

"නැන්දම්මා සැර පාටයි නේද?චම්මි ලේසි වෙන එකක් නෑ"

"ටීචර් කෙනෙක්ලු.ගෙදරටත් එහෙම දන්නෙ නැහැ"

 "මාමණ්ඩිත් නැති වෙලා ලු අයියා පොඩි කාලෙ .එක පුතා.බැන්ද ගමන් රට යන නිසා හොඳයි" යෙහෙලියෝ විවාහ උත්සවය අතර දී  කීහ.

කතා බහ ඇත්තක් වී ඇතැයි ලැබෙනා ආරංචි වලින් තහවුරු වන්නට ගත වූයේ කෙටි කාලයකි. "චම්මි ගෙ නැන්දම්මා නපුරු කුඩම්මෙක් වගේලු"

 "කොහොමත් අම්මා වගේ නෙවේ නැන්දම්මා. ඉවසන් ඉන්න තමයි ඕන"

 "බැඳලා මාසෙන් එයා වත් පිට රටට ගෙන්න ගන්නවා කිව්වා නේද අයියා?"

"ඔව්. වුණාට වීසා අවුලක් නිසා තව මාස හයක් වත් යයි ලු.එතකල් නැන්දම්මා එක්ක දාලා හබියා රට ගිහින් ලු"

 " මනුස්සයත් පුදුම සතෙක්නෙ.පව් මේ අහිංසකී" යෙහෙළියෝ කතා වූහ.

හදිසියෙන් දිනක ඉසංගා ත් හන්සිනී ත් චමත්කා බැලීමට ගියහ. යෙහෙළියන් දෙදෙනාගේ පැමිණීම චමත්කා මරු කතරට දිය පොදක් මෙන් වුවත් ඇය ඔවුන් හා කතා කළේ පරිස්සමිනි. "හහ්....මෙතන කතා කර කර ඉඳලා හරි යනවද?මම මේ සේනාවට උයන්න ඕන" එක වර ගිණි බෝලයක් කඩා පාත් වුණේය.

 "...අපිට කන්න ඕන නෑ චම්මි....මේ ඉසංගාට ප්රී ෂූට් ලොකේෂන් බලන්න යන ගමන්" නොසිතූ ප්රහාරයෙන් ගැස්සී ගියත් හන්සිනී පිළිතුරු දුන්නාය.

" වුණාට අපි කන්න එපැයි.මට වෙලාවට කාලා බේත් බොන්න ඕන"

 "ඔයාල කතා කර කර ඉන්න.මං ටක් ගාලා උයන්නම්."කතාව දික් ගැස්සෙන්නට පෙර චමත්කා නැගිට්ටාය.

 "ඉන්න අපිත් උදව් වෙන්නම්"තව දුරටත් එතන රැඳීමට කිසි කැමැත්තක් නොතිබූ ඉසංගා වහා නැගිට ඇය පසුපස ගියත් හන්සිනී එලෙස රැඳුනාය.

 "ප්රී ෂූට්....නාඩගං.අපේ කාලෙ නම් යාළු වෙලයි බඳින්නෙ කියල දැන ගන්නවත් තියන්නෙ නෑ. ඒකට දැන්.මහ ලොකු හපන්කම වගේ චිත්රපටිත් රඟපාල නෑ සනුහරේ ඉස්සරහ දිගාරිනවා. විලිසංගෙයක් නැති කම" නැන්දම්මා තනි කියවයි.

 "මිස් කොයි ඉස්කෝලෙද ඉගැන්නුවෙ?" කතාව නෑසුනාක් මෙන් හන්සිනී ඇසුවාය.

 "මම පැන්ෂන් ගත්තෙ මහා විද්යාලෙ අංශ ප්රධාන විදියට" ඇය ගර්වයෙන් පිළිතුරු දුන්නාය. "එතකොට ඊට කලින්?"

"මුලින් හිටියෙ දුෂ්කර.ඊට පස්සෙ ආවා ගම්දොර සෙන්ට්රල්..."

 " ඉස්කෝලෙ 50 සංවත්සරේ සමරද්දි මිස් එහෙද වැඩ"

 "ඔව්,ඔව් මම තමයි උත්සවේ ඔක්කොම සංවිධානය කළේ" ඇය මහත් සතුටින් හා ආඩම්බරයෙන් කීවාය.

 "එහෙනම් පීටී කරපු ගාමිණී සර් එහෙම දන්නවා ඇති"හන්සිනී නොසැලකිල්ලෙන් මෙන් ඇසුවාය. නැන්දම්මාගේ මුහුණ වෙනස් විය. "මොන ගාමිණී ?මට මතක නෑනේ.මං.... මං එහෙන් ආවට පස්සෙ ආව කෙනෙක් වෙන්න ඇති." හන්සිනී පුටුවේ ඉදිරියට නැවුණාය.

"මතක නැද්ද? සංවත්සරේ වෙනුවෙන් තිබ්බ පිරිත දවසෙ හෝම් සයන්ස් රූම් එක ඇතුලෙ දෙන්නා එක්ක චිත්රපටි රඟපාල මුරකාරයෙක් අතට අහු වුණ හැටි?"

 "මො... මොනවද?"ඇයට වචන පැටලේ.

 "ඉස්කෝලෙට ලැජ්ජා වෙන නිසා ගුරු මණ්ඩලේ වැඩේ ෂේප් කරල දෙන්නා ඉස්කෝල දෙකකට මාරු කෙරෙව්වට ගාමිණී සර් ගෙ වයිෆ් තාම හොයනවා තමන්ගෙ මිනිහා රවට්ට ගත්ත යක්ෂණී..... හන්සිනී හඬ අඩු කළාය......පුතයි ලේලියි ඕව දන්නෙ නැතුව ඇති නේ...."

 "අම්මේ.....මැල්ලුම් හදලා කිරට වැටකොළු හදන්න " පරිසරයේ බියකරු බව දුරු කරමින් චමත්කා පැමිණ ඉතා යටහත් පහත් ඇසුවාය. "මේ දරුවොත් ඉන්න එකේ මාළු ටිකක් මිරිසට හදමු දුවේ. ඉන්න මං ඒදලා දෙන්නම්" චමත්කා කන් දෙක අදහා ගත නොහැකි තම නැන්දම්මාත් යෙහෙළියත් දෙස මාරුවෙන් මාරුවට බැලුවාය.


Comments