ලෝකයයි නුඹ මගේ

               උසස් පෙළ ප්රතිඵල නිකුත් වී ඇත. පුවත දැන ගත් වහා මනූෂාට ඇති 
වූයේ සංකීර්ණ හැඟීමකි.පුතා හොඳ  ප්රතිඵලයක් ලබා ඇති බව නිසැකය.එහෙත් 
තමන් දුන් පොරොන්දුව අද ඉටු කරන්නට සිදු වේ.ඔව්.....හසිඳුට අද තමන්ගේ තාත්තා 
ගැන ඇත්ත කියන්නට ඇය පොරොන්දු වී ඇත.
               මනූෂා බසයට නැගී ජනේලයට හිස තබා ගත්තාය.ඇයට  තිත්ත ඇත්ත මතක් 
විය. මනූෂාගේත් තිලාන්ගේත් ප්රේමය ඇරඹුනේ පාසල් කාලයේදීය.තිලාන් වත් ඔහුගේ 
පවුලේ අයවත් කිසි සේත්  තමන්ගේ පවුලට නොගැලපෙන බව දැන සිටියත් තමන් ගත් 
තීරණය වෙනස් කළේ මනූෂා නොවේ.ඇය ගමෙන් පිට කිරීමෙන් මේ සම්බන්ධය අවසන්
 කරන්නට සිතූ දෙමාපියෝ ඇයට දන්නා හඳුනන කෙනෙක් මාර්ගයෙන් කොළඹ රැකියාවක්
 සොයා දී හොඳ  තැනක නවාතැන්  සොයා දුන්හ.
 ඇය කොළඹට සේන්දු වූ අවදියේම තිලාන්  රඟපෑමේ උණ හැදුනේය .නළුවෙක් වන්නට 
කොළඹ එද්දී ඔහුගේ අත රැඳුනේ බස් ගාස්තුව පමණි.
               තිලාන්ට නවතින්නට තැන් හොයා දී කන්නට බොන්නට අඳින්නට වියදම් කළේ 
මනූෂා ගේ වැටුපෙනි.නාට් චිත්රපට නිෂ්පාදකයන්, අධ්යක්ෂකවරුන් හමු වන්නට උදේ
 හවස යමින් රස්තියාදු වී හිස් අතින් ගෙදර එද්දී ඔහුගේ හිත හැදුවේ මනූෂාය.යන්තමින් 
මෙගා නාට්යයක ඉතා සුළු චරිතයක් රඟපෑ දවසේ ඔහු හොඳ  නළුවාට හිමි සම්මානය ලද
 විටක මෙන් ඇය සතුටු වූවාය.අඳුනන මාධ්යවේදියෙකුට මුදල් ගෙවා එතරම් 
ජනප්රියත්වයක් නැති පත්රයක පල කරවා ගත් ඔහුගේ මුල්  සම්මුඛ පරීක්ෂණය ඇය 
ලැමිනේට් කර ළඟ තබා ගත්තාය.
               නිෂ්ඵල උත්සාහ ගණනාවකින් පසු  තිලාන්  තරමක ජනප්රිය නාට්යයක පෙනී
 සිටින්නට ලැබුණේය.එහි දී හඳුනා ගත් ප්රසිද්ධ චරිත කීපයක උපකාරයෙන් ඔහු තම 
දියුණුවේ මග පාදා ගත්තේය.මේ වෙද්දී විවාහය ලියාපදිංචිය ගැන කතා කරන්නට මනූෂා 
කීප වරක් උත්සාහ කළත්
"මම නමක් හදා ගෙන ගෙයක් වාහනයක් ගන්න කල් ඉමු මනූ. එතකොට ඔයාලගෙ අම්මලා
 වුණත් කැමති වෙයි"කියමින් තිලාන් තව කල් ගත්තේය.
               ක්රමයෙන් ජනප්රියත්වයේ ඉහළම අඩියට වේගයෙන් පියාඹද්දී තමන්ට ඉහළට 
නගින්නට ඇප කැප වූ ඉනිමගට අහක බලාගෙන  පයින් ගසන්නට තිලාන් පසුබට වූයේ
 නැත. වෙද්දී මනූෂා තම කුස තවත් ජීවියෙකුට බදු දී හමාරය. සුබ ආරංචිය තිලාන්ට 
දැනුම් දුන් සැනින් ඔහුගේ පිළිතුර වුනේ "මේ වෙලාවෙ දරුවෙක් කියන්නෙ මගෙ අනාගතයට
 ලොකු බාධාවක්. ඕක නැති කරමු අපි.සල්ලි දෙන්නම් මම"
               මනූෂාගේ දෑස් මෙතෙක් කල් වැසී තිබුන කඩතුරාව සම්පූර්ණයෙන් ඉවත් වන්නට
  පිළිතුර සමත් විය.තිලාන් හා විවාහ වුනොත් තමන් පවුලෙනුත් ඉවත් කරන බව දැන සිටි
 මනූෂාට මේ තත්වයෙන් ගමට යන්නට හිතන්නට වත් නොහැක.ඇය තම හොඳ  
යෙහෙළියගේ පිහිට පැතුවාය. දන්නා හිතවතුන් සියලු දෙනාගෙන් බොහෝ ඈතට ගොස්
 තනි  ජීවිතය ඇරඹුවාය.
               ළදරුවෙක් සමග තනි වූ තරුණ කාන්තාවකට මුහුණ දෙන්නට සිදු නොවන
 කරදරයක් නැත.  සියල්ල හා සටන් කරමින් ඇය හසිඳුට හොඳ අධ්යාපනයක් ලබා දීම 
වෙහෙසුණාය. ඇය සැම   පැවසුවේ හසිඳු ඉපදෙන්නට පෙර පියා මිය ගිය බවය.
               මේ අතර වාරයේ තිලාන් ජනප්රිය  නළුවා, හොඳ  නළුවා ලෙසින් සම්මාන 
ලබනු  ඔහුට උදව් උපකාර කළ අය ලෙස තමන් පමණක් මග හැර ළදරු පාසලේ 
ගුරුවරුන්ගේ සිට සියළු දෙනා   ස්තූති කරන අයුරු  ඇය උපේක්ෂාවෙන් බලා සිටියාය.
 ජනප්රියත්වයත් සමග නොයෙක් නිලියන් සමග කට කතා මවන්නට තිලාන් මූලික වූයේය.
 මාස ගණනක් ඇදුනු කට කතාවක ප්රතිඵල ලෙස ඔහු එක් ජනප්රිය නිලියක් හා දැවැන්ත 
උත්සවයක් පවත්වමින් විවාහ වුනේය.ඉන්පසු මාස ගණනක්  මාධ් වැඩසටහන් වල
 ඔවුන් දෙදෙනා ප්රධාන චරිත වූහ. දෙදෙනාගේ සුන්දර පවුල් ජීවිතය ගැන පත්තර පිටු
 ගණන් ලියවුනේය.
කාගේ වචන වලින් ගැලවුණත් හසිඳුගේ ප්රශ්න වලින් ගැලවීම මනූෂා  පහසු නොවීය.
"මොනව වෙලා  තාත්තා නැති වුනේ?"
"ඇයි අපිට නෑදෑයො නැත්තේ?"
"අම්මාගෙ වෙඩින් ෆොටෝ එක කෝ?"
"තාත්තා වෙනුවෙන් අපි දානයක් දෙන්නෙ නැද්ද?"
ගල් හිතකින් මේවාට උත්තර බැන්දත්  සෑම අවස්ථාවකම ඇය අසරණ වූවාය.
               කර දඬු උස් මහත් වෙද්දී නාහෙට නාහන ඇට්ටරයෙක් වූ හසිඳු ගැන පාසලෙන් 
පැමිණිලි එල්ල වන්නට පටන් ගත්තේය. නිතර විදුහල්පති හමු වන්නට මනූෂා  සිදු වූයේය.
වෙන කවරදාටත් වඩා කෝ මේ ළමයගෙ තාත්තා යන්නට උත්තර බඳින්නට ඇයට සිදු 
වූයේය.
"පුතේ.....මං ඔයාට තාත්තා ගැන ඔක්කොම ඇත්ත කියනවා.ඔයා  ලෙවල් හොඳට පාස් 
වුනොත්"
හසිඳු පුදුමයෙන් මෙන් ඇය දෙස බැලුවේය.
"අම්මා මට පොරොන්දු වෙනවද ඒක?"
ඔහු බලාපොරොත්තු සහගත  ඇසුවේය.
"ඔව් පුතේ"
තමන්ට නොපෙන්වුවාට තාත්තාගේ ප්රශ්නය ගැන ඔහු කෙතරම් පීඩනයක සිට ඇත්දැයි 
මනූෂා තේරුම් ගත්තේ එයින් පසු ඔහුගේ සිදු වූ වෙනස්කම් දැකීමෙනි.
               මේ වෙද්දී විවාහය අවසන් කර ජනප්රියත්වයෙනුත් තරමක පසුබෑමක් ලබා
 තිබුණ තිලාන් නැවතත් කරලියට පැමිණියේය. තමන්ට වඩා වසර කීපයක් වැඩිමල්
 ධනවත් වැන්දඹුවක් සමග විවාහ වී ඇගේ දරු දෙදෙනාට පියෙක් වීමෙනි. නැවත පත්තර 
පිටු ගණන් ඔහුගේ අපරිමිත පිය සෙනෙහස ගැන වර්ණනාවෙන් පිරුනේය.
"සල් මල් හන්දිය බහිනවද?"
කොන්දොස්තරගේ කෑ මොර දීමෙන් වටපිට බැලූ මනූෂා බසයෙන් බැස ගත්තාය.බර කර 
ගත් හිසින් යුතු  නිවසට පිය නැගුවාය.
"අම්මේ.......ඔන්න ඔයාට  තුනක්"

ඇය ගෙතුළට එත් හසිඳු දුව විත් ඇය බදා ගත්තාය.

"මං දන්නවනෙ මගෙ පුතා ගැන."

ඇය ඔහු මොහොතක් වැළඳගෙන සිට තමන්ගෙන් ඈතට කර උරහිසට දෑත් තැබුවාය.

"මට මතකයි ඔයාගෙ පොරොන්දුව"

හසිඳු කෙලින් ඇගේ දෑස දෙස බැලුවේය.

"මට ඒක දැන ගන්න ඕන නෑ අම්මෙ. අවුරුදු 19ක් අම්මා බලන්නවත් ආවෙ නැති මිනිහෙක් ගැන මට කොහෙත් දැන ගන්න ඕන නෑ.මට අම්මා ඉන්නවා කියන්නෙ ලෝකය මගේ වගේ"

මනූෂා ගේ ඇස් වලට කඳුලු ගලා ආවේය.

ඇය මහත් සෙනෙහසින් ඔහු තුරුළු කර ගත්තාය.

--------------Shanika Tennakoon--------------

 


Comments