turning point

525x400px 31.16 KB Turning Point #463305

"මොනවද ඉරේෂා අද ආව කෝල්ස්?" උසාවියේ සිට ඉතා මහන්සියෙන් පැමිණ තම පුටුව මතට වැටුණ සහීමා ඇසුවාය. අති දක්ෂ නීතීඥවරියගේ කුළුපග සහායිකාව වූ ඉරේෂා වහා සටහන් පොත අතට ගත්තාය.

 "මැඩම්...යාරි කම්පැණි එකෙන් හෙට වෙලාවක් බුක් කලා එයාලගෙ නඩුව ගැන කතා කරන්න එන්න.අනිද්දා තියෙන ඉඩම් නඩුව කට්ටිය අද හවස එනවා කිව්වා ....... නුවර සැනසුම වැඩිහිටි නිවාසෙන් කතා කරල මේරි අම්මා අසනීපයි කිව්වා"අවසන් ආරංචිය කිසි වැදගත්කමකින් තොර කිව්වත් මෙතෙක් දෑස් පියාගෙන පුටුවට හේත්තු වී සිටි සහීමා විදුලියක් වැදුන ලෙසින් පුටුවේ කෙලින් වූවාය.

"වට්....කොයි වෙලාවෙද කතා කළේ? ....මොකක්ද අසනීපෙ?" ඇය වහා ඇසුවාය.

"එහෙම නම් කිව්වෙ නෑ ......ඇයි මැඩම්?"

"ඉරේෂා මට හෙට තියෙන වැඩ ඔක්කොම පෝස්ට්පෝන් කරන්න.නැත්නම් කැන්සල් කරන්න ....... මාලක කියන්න හෙට උදේ නුවර යන්න ලෑස්ති වෙන්න"සහීමා කියාගෙන ගියාය. ඉරේෂා පුදුම වූවාය.

 "කවුද මැඩම් මේරි අම්මා කියන්නෙ?" සහීමා ඉරේෂා දෙස බලා සුසුමක් හෙළුවාය.

 "ඉරේෂාගෙ ජීවිතේ ටර්නින් පොයින්ට් තිබිල තියෙනවද?........ඔයාට තාම එහෙම අත්දැකීම් ගන්න කාලයක් නැතුව ඇති........මගෙ ජීවිතේ ටර්නින් පොයින්ට් එකේ හිටියෙ මේරි අම්මා!! සහීමා දිග කතාවකට මුල පිරුවාය.

"මං ජොබ් එකක් කරන්න කොළඹ ආව මුල් කාලෙ නැවතිලා හිටියෙ ගෙදරක උඩ තට්ටුවෙ.පහල තට්ටුවෙ හිටියෙ ගෙදර අය. මාසෙ කුලිය ගෙවනවා ඇරෙන්න එයාල අපි එක්ක කතා බහක් තිබුනෙ නෑ.අනිත් කාමර වල හිටිය ගෑණු ලමයිත් හරි බිසි නිසා දැක්ක හායි බායි කියන යාළුකමක් විතරයි තිබුනෙ. මේරි අම්මා පහල ගෙදර සුද්ධ කරන්න උයන්න හිටියෙ.දැක්ක කට පුරා හිනා වෙලා නෝනේ කියල ඔළුව පාත් කරනවා. මං කොළඹ එද්දි පුංචි පහේ ආදර කතාවකුත් තිබුණා.මේ මහා සමාජයේ තනි වුණා ඒක මට දැනුනෙ මහමෙරක් වගේ.ඒත් ටික කාලෙකින් මට තේරුනා එයාගෙ වෙනසක්. කෝල් කළා රිප්ලයි නැති,ෆෝන් බිසී වෙන දවස් එන්න එන්න වැඩි වුණා.කතා කරද්දිත් නිතර රණ්ඩු වෙන්න ගත්තා. අන්තිමට දවසක් එයාට මාව ගැලපෙන්නෙ නැහැ මේක නවත්වමු කිව්වා. වෙනකල් හැම දෙයක් දරාගෙන හිටිය මගේ කඳුළු වේල්ල පිපිරුවා.මං මුළු රෑ ඇඬුවා.එළි වෙද්දි මං තීරණයක් අරන්.ඔබ මට හිමි නැති ලොවකින් මට වැඩක් නෑ.මං තීරණේ කළා මැරෙන්න.....ඔව්......උඩ පහළ තට්ටු දෙකේ කට්ටිය තම  තමන්ගෙ වැඩ වලට යනකල් ඉඳල මම පඩිපෙලේ පහළට බැස්සා.මට ඕන වුණේ අහු වුණ බස් එකක ගිහින් කොහේ හරි බැහැලා පැනඩෝල් පෙති පෙට්ටියක් විතර කටේ හලා ගන්න.......ඒත් මට පහළට බහිද්දි මේරි අම්මා මූණට මුණ ගැහුණා. වෙනදට නෝනේ කියන් හිනා වුණාට එදා බය වෙලා වගේ මගෙ දිහා බලන් ඉඳල නෝනා අසනීපෙන් ?බේත් ගන්න තනියම යන්න පුළුවන් ඇහුවා.....කොළඹ අහස යට එහෙම වත් කරුණාවක් ලැබුණ පළවෙනි වතාව. රැයක් තිස්සෙ අඬල ඉවරයි හිතන් හිටිය කඳුළු ආයෙත් අළුත් වුණා.මගේ මහා වියෝ ගීය මං මේරි අම්මට කිව්වා.ඔක්කොම සන්සුන් අහන් ඉඳලා මොකද දන්නවද මට කිව්වෙ. ..... නෝන මේ වෙලාවෙ පණ නහ ගත්තොත් මිනිහාටමයි වාසි.නෝනා ආයෙ හොඳට ඉගෙන ගන්න.කවදාහරි මිනිහට අපරාදෙ නෝන අතෑරියෙ හිතෙන්න ඕන....... මේරි අම්මා කවදාවත් ඉස්කෝලෙකට ගිහින් නැතුව ඇති.ඒත් දුන්න උපදේශේ තමා මගෙ ජීවිතේ ආපහු හැරෙව්වෙ.

ඉස්සර ඉඳන් මගෙ ආසාවක් තිබ්බා නීතිය ඉගෙන ගන්න. ඉතිං මං පැත්තෙන් ඉගෙන ගත්තා. රස්සාවයි පන්තියි එක්ක බිසි වෙද්දි මට විරහවක් ගැන හිතන්නවත් වෙලාවක් තිබුනෙ නෑ......හම්මේ අද මම හරි සන්තෝස වෙනවා එදා දිවි නසා ගත්තෙ නැති එකට. මම මැරුණා නම් මට ඇත්තට ආදරේ කරන මගෙ අම්මා තාත්තා කොච්චර දුක් වෙයි ?කොයි තරම් ලැජ්ජාවක් එයාලට.අනික මොන තරම් ලස්සනට විඳින්න තිබුණ ජීවිතයක් මට නැති කර ගන්න හිතුනෙ......උසාවියෙ ඇහෙන නඩු දැක්ක මට ලැජ්ජයි වගේ සුළු දේකට මම දිවි නහ ගන්න යද්දි මිනිස්සු මොන තරම් ප්රශ්න කන්දක් දරාගෙන ජීවත් වෙනවද?...."

"මැඩම් එතකොට මේරි අම්මා?" ඉතා රසවත් කතාවකට සවන් දී සිටි ඉරේෂා බාධා කළාය.

 "අහ්...මම පිට පැන්නා නේද?හ්ම්....ලෝයර් කෙනෙක් විදියට දිව්රුම් දීලා මම ගියා එයා හොයාගෙන.මං හිටිය බෝඩිම් ගෙදර අය ගෙවල් විකුණලා ගිහින්.මේරි අම්මා ළඟපාත ගෙවල් කීපෙක වැඩ කරල දෙනවා. ඉස්සරටත් වඩා හරි දුක් විඳිනවා.පොඩි කාලෙ ගෙදරක වැඩට ගෙනාව නිසා එයාට කාත් කවුරුත් නෑලු.ඒත් පොඩි කාලෙ ජීවත් වුණ නුවර පැත්තට ගිහින් එන්න වත් ආසයි කිව්වා. මං එයා පරිසරයට කිට්ටු හොඳ වැඩිහිටි නිවාසෙක නැවැත්තුවා..."

 "අනේ හරි පිනක් මැඩම්"ඉරේෂා සතුටින් කීවාය.

"නෑ ඉරේෂා පින පරාදයි මේරි අම්මා මට කෙරුව උදව්වට.දන්නව ගිය මාසෙ මගෙ මහා ප්රේමවන්තයාගෙ දික්කසාද නඩුව උසාවියේ....."


Comments