මංගල්ලේ

 A magical wedding at the Mount Lavinia Hotel | Daily FT

කාර්යාලයේ එක ළඟ මේස දෙකක සිටින ජයසිංහ හා වීරකෝන් පුද්ගලික ප්රශ්න පවා කතා බහ කරන ගජ මිතුරන්ය.ටික දිනක සිට ජයසිංහ සිටින්නේ හිත කරදරයෙන් බව වීරකෝන් තේරුණත් ගැන අහන්නට තරම් සුදුසු වේලාවක් ලැබුනේ නැත.

කාර්යාලයේ සෙනග අඩු වූ සිකුරාදා හවස මේ ගැන ඇසිය යුතු යයි ඔහු සිතුවේය.

"මට මේ දවස් වල ලොකු සල්ලි හිරවිල්ලක් මචං"මිතුරාගේ ප්රශ්න කිරීම හමුවේ ජයසිංහ  කීවේය.

"හදිසියේ ?"

"උඹට හංගන්න දෙයක් නෑ.අපේ දුවගෙ වෙඩින් එකට ලෑස්ති වෙනවා මේ දවස් වල. එක කෙල්ල නිසා වයිෆ්ගෙත් කල්පනාව ලොකුවට ගන්න.දුවගෙ ස්ටාෆ් එකේ හැමෝමත් එන නිසා ස්ටාර් හොටෙල් එකක ගන්න ඉන්නෙ.ඒවයෙ වතුර වීදුරුවත් සෑහෙන ගානක් නෙ."

"හ්ම්.....තරු හෝටලේක ගන්නවා නම් හොඳ තැන් වලින් මේක් අප්, කැමරා, ඇඳුම් පැළඳුම්, ඩෙකරේෂන්,මියුසික් හෙමත් කර ගන්න වෙයි" වීරකෝන් තේරුම් ගත් පරිදි කීවේය.

"කොළඹ ප්රසිද්ධ සැලුන් එකකින් අන්දවන්නෙ.එහෙන් කියපු තැන් වලින් තමා සාරි,මල් පොකුරු,අනිත් සැරසිලි ඔක්කොමත්. දුව ලෝන් එකක් දාලා තියෙන්නෙ.එයාගෙ පොතෙත් ජොබ් එකෙන්  එයා එකතු කරපු සල්ලියි පොඩි කාලෙ ඉඳන් අපි දාපු සල්ලියි තියෙනවා. මගෙ ලෝන් එකත් අද හෙට එයි. ඒකත් මදි වෙයි වගේ. ඔහොම දේකට නැති සල්ලි මොකටද. අනේ මන්දා බං"

"ජයේ...උඹ මං ගැන වරදවා හිතන්න එපා මෙහෙම කිව්වට.ලෝකෙට ණය වෙලා ළඟ තියෙන හැම සත පහ සූරලා අරන් මගුල් අරන් මොකක්ද ඇති පලේ.ඉපදෙන ළමයි ඉස්කෝලෙ යනකනුත් ගෙව ගෙවා ඉන්න වෙන්නෙ. අතරෙ වෙන සල්ලි හදිසියක් වුණොත් එහෙම"

"ඒක නම් එහෙම තමා.ඒත් දැන් කාලෙ එහෙම නොකර මිනිස්සුන්ගෙන් පාච්චල් වෙන්නත් බෑනේ"ජයසිංහ කීවේය.

"අපේ අක්කගෙ දුවගෙ වෙඩින් එක තිබුණා දැන් මාස 6කට උඩදි. අක්කාටත් ඕනකම තිබුණා පවුලෙ මුල් වෙඩින් එක නිසා ලොකුවට කරන්න. හැබැයි දුවයි බෑණයි හොඳට ප්ලෑන් කරල සරල ලස්සන වෙඩින් එකක් අඩු වියදමෙන් කර ගත්තා. කාටවත් ණය නැතුව."

"හැබෑට.... කොහොමද?"ජයසිංහ උනන්දුවෙන් ඇසුවේය.

"අක්කගෙ ලමයි දෙන්නම දැන්ලොකු පෝස්ට් වල ඉන්නවා වුණාට පවුල ඔය තත්වෙට ආවෙ හරි දුක් විඳල.කෙල්ල එක හෙලා කිව්වා අපිට බැරි අමාරු කාලෙ වචනෙකින් හරි උදව් කරපු අයට මිසක් බුරුතු පිටින් සෙනගට කියන්න ඕන නෑ කියල.එහෙම බලද්දි සෑහෙන පිරිසක් අඩු වුණා.ඊළඟට දෙගොල්ලන්ට යන්න එන්න පහසු තැනකින් හෝටලයක් බුක් කළේ.preshoot එකක් නෑ. වෙනුවට දෙන්නගෙ පොඩි කාලෙ ඉඳන් ගත්ත ෆොටෝ එකතු කරල හරි ලස්සන වීඩියෝ එකක් හදල පෙන්නුවා. ආපු අය හැමෝම ආස වුණා.අපි ළඟත් නෑ සමහර ෆොටෝ. තට්ටු ගණන් උස රෙජිෆෝම් කේක් ගෙඩියක් ගත්තෙ නෑ.ළඟ ඉන්න මනුස්සයා එක්කත් ගිරිය යටින් කතා කරන්න වෙන විදියෙ DJ නෑ. තැන්ක් යූ කාඩ්, වෙඩින් කේක් නෑ....."

"ඔව් ඉතිං වෙඩින් කේක් නම් හුඟක් අය කන්නෙත් නෑ ගත්තාට."ජයසිංහත් ඔහුට එකඟ වුනේය.

" ආපු හැමෝට පළතුරු පැලය ගානෙ දුන්නා.....අන්න මගේ පැලේ දළුත් දාලා දැන්"

"ඒක නම් වටිනවා.පැදුරක් වගේ කාඩ් එකක් ගෙදර ගෙනල්ලත් විසි කරන එකනෙ"

"මනමාලිට අන්දවන්නයි ෆොටෝ ගන්නයි හොයාගෙන තියෙන්නෙ වැඩි ප්රසිද්ධියක් නැති වැඩ අඩු අය.දුව කිව්වෙ ප්රසිද්ධ අය එක දවසෙ වෙඩින් දහ පහලොවක වැඩ බාර ගන්නවලු. එතකොට අපිට ඕන විදියට වැඩේ වෙන්නෙ නෑලු.වෙඩින් එකෙන් මාස දෙක යද්දි ඇල්බම් එකත් ලැබිල තිබුණා."

"ෂහ් එහෙනම් හොඳයි.අපේ පොඩි එකා මල් කුමාරයට ගත්තා ශාමා මිස්ගෙ වෙඩින් එකේදි.තාම නෑලු ඇල්බම් එක ආසාවට බලන්නවත්.කොල්ලට දැළි රැවුලත් එනවා හෙට අනිද්දාට"

"අනිත් ප්රධාන දේ බොන්න දුන්නෙ නෑ...."

"හෑ....."

"ඒක නම් එයාලගෙ කැමැත්ත.ජෝඩුව කිව්වා අපේ හිතවත් මිනිස්සුන්ට එන්න කියල වහ පොවන්නෑ කියල. විදියත් හරි වගේ. මඟුල් ගේ ඉවර වෙද්දි බීල විකාර කරල අපේ සතුටත් නැති කරන කවුරුත් හිටියෙ නෑ.එක නෑදෑ යාළුවො ටික නිසා දෙවෙනි දවසකට අමුතු උත්සව නැතුව එදා හවස ඇඳුම විතරක් මාරු කරල ෆොටෝ ගත්තා. ඇඳුනුත් කුලියට ගත්ත ඒවා මං හිතන්නෙ. කෙල්ල කියලා පැය ගාණකට අඳින ඇඳුමට  දාස් ගණන් වියදම් කරන්නෙ බොරු වැඩක්ලු."

"සෑහෙන සල්ලියක් ඉතුරු වෙන්න ඇති ඔය විදියට නං"ජයසිංහ කල්පනා කළේය.

"උඹට මොකට බොරු කියනවද?මගුල යන්නෙ මෙහෙමයි කිව්වම මමත් හිතුවා වැඩේ අවුල් තමා කියල.හැබැයි හොඳම පාට් එක තමා ඉතුරු කර ගත්ත සල්ලි වලින් වාහනේකුත් අරන් ගෙයක් හදන්න ඉඩමකුත් ගත්තා ටවුම කිට්ටුව.බිත්ති නග්ගනවා මේ දවස් වල"

"ෂාහ්...ඒක නම් සෑහෙන්න වටිනවා"

"අපි වගේ නෙවේ.දැන් ළමයි හොඳට දුරදිග හිතනවා.අපේ අක්කත් මුලදි කුරු කුරු ගෑවට දැන් බොහොම සන්තෝසයි"

"වීරෙ එන්න හෙට අපේ දිහා.ඕවා මං කියනවට වඩා වීරෙ කියන එක හොඳා .... රටට ණය වෙලා එක එකාට පේන්න දේවල් කළාට උන්ට පේන්නෙත් ඇදකුදයක්මයි.ණය ගෙවන්න කවුරුත් එනවයැ?"

"අන්න හරි මචං...වීරකෝන් මිතුරාට එකඟ වූයේය....මමත් ඉගෙන ගත්ත හොඳ පාඩම තමා රට්ටු සන්තෝස කරන්න වියදම් කරන්න කලින් අපේ යහපත සලස්ස ගන්න ඕන."

--------------Shanika Tennakoon-------------

Comments