වරම

 Predicting the Future by Reading the Past — Ian Symmonds & Associates










                            සරසවියේ සිට මාස කීපයකින් ගමට සංජානා ගම වෙනදාට වඩා ජනාකීර්ණ ඇති බව පෙනුනේය.

"මොකද අම්මෙ මේ හැටි වාහන උඩහ පැත්තටම යන්නෙ එන්නෙ?".

ඇය අම්මාගෙන් විමසුවාය.

"මම ඔයාට කෝල් කරද්දි කිව්වෙ.කුසුමාගෙ දුවට දේව වරමක් ලැබිල"

"කවුද කසුනිට?මොකක් වෙලා??"

"ඔව් ඔව් ලමයට දෙවි කෙනෙක් ආරූඩ වෙනවාලු.ටක්කෙට සාත්තර කියනවාලු බලාගෙන ඉඳල වගේ"

සංජානා තමන්ට නැගී මහා හිනාව අසීරුවෙන් නවතා ගත්තාය.

"දෙවියො මොකටද අම්මෙ මනුස්සයෙක් ගෙ ඇඟට එන්නෙ. දිව් ලෝකෙ ඉඩ මදි වෙලා ?"

"අනේ මේ..... විද්යාව ඉගෙන ගත්ත පලියට උඹලා හැම දෙයක් දන්නවා කියල හිතන්නෙ.උඹලගෙ මහ ලොකු විජ්ජාවට අහු නොවෙන කොයි තරම් දේවල් ලෝකෙ තියෙනවද?"

"දෙවියො නැහැ කියල නෙවේ මම කියන්නෙ. දෙවියො පෙරේතයෝ කුම්භාණ්ඩයෝ ඕන තරම් අපි අවට ඇති. ඒත් මනුස්සයෙක් ගෙ ඇඟ ඇතුළට රිංගන්නෙ නෑ.ඕක නම් ලොකු ලොකු බොරුවක්"

"තමන් විශ්වාස කරන්නැත්නම් කට පියන් ඉඳිං. කියන දේවල් හරියට ඇත්ත නෙවේ නම් රට හැමතැනින් ලොකු ලොක්කෝත් එයි .බලා ඉඳපංකෝ දවසකට මේ පාරෙන් බවන වගෙ යන වාහන තොගේ"

 අම්මාගේ සමග තර්ක කිරීම නිශ්ඵල නිසා  සංජානා නිහඬ වුවත්  දිනපතා අවට ගැහැණුන්ගෙන්  සැපයෙන කසුනිගේ හපන්කම් වල අප්ඩේට්ස් වලින් ඇය මහත් විනෝදයක් ලැබුවාය.

"කොළඹින් ලොකු නෝනෙක් ආවා මහත්තයාගෙ වෙන සම්බන්ධයක් ගැන අහන්න.හරියට කිව්වා කන්තෝරුවෙ ගෑණියෙක්ය...වශියක් දීලය.... ගෑණි ගෙ උස මහත පදිංචිය පවා"

"අල්ලපු ගමේ මුදලාලි ගෙ කඩේ හොරු බින්ද එක පොලිසියට වත් හෝඩුවාවක් නැතුව උන්නෙ.පොලිස් බල්ලො දැම්මට වඩා නියමෙට කිව්වා නැති වුණ ජාති,දැං ඒවා තියෙන දිහා,ගෙනිච්ච උං.මීට පස්සෙ නිකං ඔහොම දේවල් වලට පොලිසි ගානෙ බඩ ගාන්නෙ නැතුව දේවාලෙට ගියා නම් හරි"

"අපේ ලොකු අම්මගෙ අසනීපෙට කොච්චර බේත් කළාද.කිසිම වැඩක් වුණේ නැහැ.අවුරුදු 3ක් ඇඳේ. මෑණියො එක බුලත් කොළයයි මැතිරුවේ. දැන් යස අගේට ඇවිදිනවා"

ඉස්කෝලේ ගමනත් මගින් නවතා රැකියාවක් කරන්නට කොළඹ ගොස් එයත් අසාර්ථක නිවසට වී සිටි කසුනිට වරමක් කෙසේ වෙතත් දේව පිහිටක් නම් ලැබී ඇති පාටය .පැත්තක් ගරාවැටී තිබුණ ගෙදර තට්ටු දෙකට හදන්නට අරඹා ඇත.අළුතින් වෑන් එකක් ගන්නට යන බවක් කියවිණ.

"කාට නැතත් කසුනිට දෙවියො බලල තියෙන පාටයි.අනේ හොඳයි"

මෑණියන්ගේ හපන්කම් බලන්නට අවස්ථාවක් ඉක්මනින් සංජානාට උදා වූයේය.ඇගේ අක්කා මංජුලා සති අන්තයක නිවසට ආවේ බාගෙට අඬාගෙන .

"අනේ මේ ළමයට දැන් ඉගෙන ගන්න කිසි උනන්දුවක් නෑ අම්මෙ.ඉස්සර කොච්චර හොඳට වැඩ කලා ?දැන් පොතක් ගත්තොත් නිදි මයි.දොස්තරලා කියන්නෙ කිසි ලෙඩක් නෑලු.අපි යං මෑණියෝ ගාවට වත්"

ලබන අවුරුද්දේ යෙදෙන ශිෂ්යත්ව විභාගය වෙනුවෙන් දවසට පැය 14-16ක් දැන් සිට පාඩම් ඔබ්බවන මොළය එවන් වත් විවේකයක් නොගත්තොත් පුදුමයකි.අක්කාට එය තේරුම් කර දෙන්නට උත්සාහ කරමින් වෙහෙස වෙනවාට වඩා තවත් විනෝද ජවනිකාවක් නැරඹීමට සංජානා එකත්පස් වූවාය.

කසුනිලාගේ ගෙදර ගිය අක්කා ආවේ මහා ජයග්රාහී විලාසයෙනි.

" බලා හිටියා වගේ කිව්වා.දරුවට හූනියමක් කරල ලු අහල පහල හොඳ හිතවත් කෙනෙක්. අපේ වත්තෙම ලු වළලලා තියෙන්නෙ.මං හරියට දැන ගත්තා අල්ලපු ගෙදර ගෑණි කවදාවත් නැතුව උන්ගෙ වත්ත පහළ සුද්ධ කරද්දි.මං කරන්නම් කො ඕකිට වැඩක්...." ඇය බුබුළු දමන කේන්තියෙන් කීවාය.

"කොහොමද හූනියම අයින් කරන්නෙ?"

අම්මා තවදුරටත් ඇසුවාය.

මෑණියො ඒවා කරන්නෙ නැහැලු.අපට හොඳ කට්ටඩියෙක් හොයන් කර ගන්න කිව්වා.අර ඉරිසියාකාර ගෑණිට හොඳ දෙකක් කියනවා මං ඊට කලින්.ඒකිට ළමයි නැතුවට මගේ ළමයා පළි ?"අක්කා පරළ වූ ලෙසින් කියයි.

නිවාඩුව අවසන් නැවත යන්නට සූදානම් වන සංජානා පළාතට හඬ පතුරුවාගෙන යන පොලිස් ජීප්රියක් හා පසුපස වේගයෙන් ඇදෙන වෑන් රියක් දුටුවාය.

"පොලිසියත් දැන් සාක්කි හොයන්න කසුනිලෑ ගෙදර යනවද?"තමන්ට කියා ගනිමින් ඇය ගමනට ලෑස්ති වූවාය.

සංජානා ගෙදරින් එළියට බහින්නට සැරසෙද්දී අම්මාගේ ඕපදූප මල්ලක් ජෙට් එකක වේගයෙන් එනු පෙනුනි.

"හරි වැඩේ නෙ ලතෝ....." වේගයට අම්මා අමතමින් ඇය හති අරියි.

"දැන් ගියා නේද පොලිස් ජීප් එකක්..."

"ඔව් ඔව්...දේවාලෙ පැත්තට නේද ගියේ. තව වෑන් එකකුත්.ඇමති කෙනෙක් වත් සීලෝ?"අම්මාද ඊට දෙවෙනි නැත.

"කුසුමාගෙ කෙල්ල කොළඹ ගිහින් හිටියෙ රස්සාවකට නෙවේලු.මොළේ අමාරුවකට බේත් ගන්න පිස්සන් කොටුවෙ දාලා ලු හිටියෙ.ලෙඩේ ටිකක් අඩු වුණාම ලු ගමට එව්වෙ.ආයෙ පිස්සුව වැඩි වෙලාලු ආරූඩෙ වගේ ඇවිත් තියෙන්නෙ.අද ඇවිත් තියෙන්නෙ ඉස්පිරිතාලෙන් ආයෙ කුදලන් යන්නලු"

සංජානා වැඩිහිටියන් දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බැලුවාය.ඇයට තම හිනාව හංගන්නට අවශ් නොවීය.

"ඒකෙන්ද කසුනිට වරම් ලැබුනෙ. ටක්කෙට කිව්ව සාත්තර නිසා කී දෙනෙක් පිස්සු හැදිල දන්නෙ නෑ.අක්කත් මේ වෙද්දි රණ්ඩු අල්ලලා ඇති අල්ලපු ගෙදර එක්ක ..... මොන දෙවියොද දැන් එයාට පිහිට වෙන්නෙ"

Comments