කට

 When to keep your mouth shut — Transformative Conversations Consulting

"මේ අර ගෙට් එකට මමත් එන්න ඕන ?"

සතියක් තිස්සේ දරුණු හෙම්බිරිස්සාවකින් පෙලෙන ඉයෝමි විස්සෝපයෙන් සැමියා අසංක වෙත ආවාය.

"නැතුව ඉතිං.ඒක අපේ ස්ටාෆ් එකේ ෆැමිලි ගෙට් එකනෙ.මොකද මේ කවදාවත් නැතුව?"

වෙනදා ඉතා කැමැත්තෙන් එකතු වන සාදයට යන්නට බිරිඳ අදිමදි කිරීම ගැන විමතියෙන් ඔහු ඇසුවේය.

"මේ හෙම්බිරිස්සාවෙ ඊළඟ ස්ටෙප් එක උගුර බැරැණ්ඩි වෙලා කටහඬ නැත්තටම නැති වෙන එක. දැනටත් මගෙ උගුර රිදෙනවා"

"උගුර අප්සෙට් ගියාට මොකද.ඔයා එතන සිංදු කියන්නැහැනෙ."අසංක විහිළුවකට ගනිමින් කීවේය.

"සිංදු කෙහෙල්මලක් නෙවේ.මට කවුරු එක්කවත් කතා කරන්න වත් වෙන්නෙ නැහැ. ගොළුවා වගේ ඔළුව වන වන ඉන්න වෙන්නෙ.ඔයා යන්න පුතා එක්ක.මං පොරොන්දු වුණ කෑම ටික හදල දෙන්නම්."

"එහෙම හොඳ නෑනෙ.කතා නොකළට කමක් නෑ අපි ඔක්කොම යමු.ළඟදි මට ප්රමෝෂන් එකකුත් ලැබුණ නිසා ඔයා නාවොත් අහංකාරකම කියාවි.දන්නවානෙ සමහරුන්ගෙ කටවල්"

සැමියාගේ පෙරැත්තය නිසාම සාදයට ගියත් පැමිණ සිටි අය හා සිනාසෙන්නටත් ඔළුව වනා උත්තර දෙන්නටත් ඇරෙන්නට දිග කතාබහකට යන්නට නොහැකි වන තරමට ඉයෝමිගේ කටහඬ බිඳී තිබුණි.

"ඔෆිස් එකේ අය මට බැන්නද ඊයෙ කතා කළේවත් නැති නිසා"සාදයට පසුදා අසංක නිවසට එනතුරු නොයිවසිල්ලේ බලා සිටි ඉයෝමි ඇසුවාය.

".....ඔයාට හරි ක්රෙඩිට් එක එතන"

"මට..... මොනවටද?"ඇය පුදුමයෙන් ඇසුවාය.

"ඊයෙ පාටියට ආපු ඔක්කෝම කතා වෙලා තියෙන්නෙ ලක්ෂාන්ලාට තාම ළමයි නැති එකයි ඔෂානිගෙ කොල්ලා බූට් එක තිබ්බ එකයි.ලක්ෂාන්ගෙ වයිෆ් ගෙදර ගියේ අඬ අඬා ලු.ඔෂානි අද වැඩට ආවෙ දුම්මල වරම අරන්.හැමෝගෙම ඇඟට කඩා පනිනවා. ඔයා විතරලු වචනයක් වත් නොකිව්වෙ දෙන්නගෙ හිත රිදෙන්න." අසංක සිනා සිසී කීවේය.

"...ලබන සතියෙ බාප්පලාගෙ දානෙ ගෙදර යද්දිත් උගුර ඔහොමම තිබ්බොත් හොඳා"

නාන කාමරයට යන අසංකගේ හඬ ගේ පුරා රැව් නැගුනේය.

 

Comments