අපලය

 




අසේකා ජයකොඩි රට මැදින් හිතුවක්කාර ගමනක් යමින් හිතූ හිතූ ගමන් දෙපස ඉවුරු යට කරන මහා ජල කඳක් දරා ගත් ගංගාවක පාර වෙනස් කර වියළි කලාපයට හරවා යවන ව්‍යාපෘතියක් බාර ඉංජිනේරුවරියයි.දළ ව රළු ව සාදා තිබූ නවාතැන පිරිමියෙකුට මිස කාන්තාවකට සුදුසු නැති නිසා ඇයට කොළඹ සිට එහි යාමට ඒමට සිදු වූයේය.

මේ ව්‍යාපෘතියෙන් තම වගා බිම් වලට යහපතක් වන බව දැන සිටි බොහෝ දෙනෙක් ඒ වෙනුවෙන් යට වන තම ඉඩ කඩම් ගැන ඉවසා බලා සිටියත් පළාතේ දළ කාරයෙක් වූ ධර්මදාස තමන් බලෙන් භුක්ති විඳි රජයේ ඉඩමෙන් සෑහෙන කොටසක් මේ ව්‍යාපෘතිය යටතේ අහිමි ව යන හැටි බලා සිටියේ දරා ගත නොහැකි කෝපයකිනි.

නීතියෙන් හෝ දේශපාලන බලයකින් මෙයට අකුල් හෙළිය නොහැකි තැන වැඩබිමට තමන්ගේ ගෝල බාලයන් එවා ඇණුම්පද කියවීම අරියාදු කිරීම ඔහු පුරුද්දක් කර ගත්තේය.

එදත් අසේකා වැඩබිම බාර ව කටයුතු කළ නිලධාරීන් සමග සාකච්ඡාවක යෙදී සිටියාය. ධර්මදාසගේ ගෝලයන් කියන කතා වලට ඔවුන්ගේ කන් දැන් ඉතා හුරු පුරුදුය.

ටිකකින් ඒ පැත්තෙන් මර ලතෝනියක් ඇසුනේය.වැඩ කරමින් සිටි අය ද වැඩ නවතා ඒ දෙස බැලූහ.තමන්ගේ සුපුරුදු ගමන් මග වෙනස් කරමින් සිදු කරන හිරිහැරය ගැන නොමද කේන්තියකින් වෙනදාටත් වඩා රුදුරු ස්වභාවයක් පළ කළ ගංගාවට කවුරුන් හෝ වැටී ඇති සෙයකි.

වැඩිදුරටත් බැලීමේ දී වැටී ඇත්තේ තාත්තාගේ අඩි පාරේ දැන් සිට ම යන්නට පටන් ගෙන සිටි ධර්මදාසගේ බාල පුතා බව පෙනුනි.මෙතෙක් ඔහු හා සිටි චණ්ඩි සියළු දෙනා ම ගඟට බියෙන් පසු බැස බලා සිටිති.

අසේකා වරක් ඒ පැත්ත බැලුවාය.අතේ තිබූ ලිපි ගොනුව අසල කෙනෙක් අතට දුන්නාය. ක්ෂේත්‍රයට ඒමේ දී කොහොමත් ඩෙනිමක් ටී ෂර්ට් එකක් ඇඳ සපත්තු පැළඳ සිටින ඇය සපත්තු දෙක කකුලෙන් පන්නා ඊ ගහක වේගයෙන් අනතුර සිදු වූ තැනට දිව්වාය.ඒ වේගයෙන් ම චණ්ඩ ව ගලා යන ගඟට පැන්නේ බලා සිටි අයට කිසිවක් සිතා ගැනීමට පෙර ය.බලා සිටින්නන්ගේ හුස්ම හිර කළ කල්පයක් මෙන් ගත වූ විනාඩි ගණනකට පසු අසේකා ළමයාත් සමග මතු වූයේ සියල්ලන්ගේ ඔල්වරසන් හඬ සමගය.

ධර්මදාසගේ විරසකය එතැනින් ම අවසන් විය.කොහොමත් වාහනයේ අමතර ඇඳුමක් ඇති අසේකාට නැවත නා ගන්නට ඇඳුම් මාරු කරන්නට කන්නට බොන්නට සියළු සැලකිලි උපරිමයෙන් ම දුන්නේ ධර්මදාසගේ නිවසේ දීය.

මැඩම් හරි වීර ක්‍රියාවක් තමා කළේ.මුළු ගම ම කතා වෙන්නෙ ඒ ගැන". වූ දෙයින් උදම් වී සිටි ව්‍යාපෘතියේ වැඩ පරීක්ෂක අසංක කීවේය.

මම පීනන්න දන්නවා අසංක.මට ඉස්කෝලෙයි කැම්පස් එකෙයි ස්විමිං වලට කලර්ස් තියෙනවා."අසේකා ගණනකට නොගෙන හිනා වූවාය.

මේ ගමේත් ඕන තරම් පීනුම් ශූරයෝ ඉන්නවා මැඩම්.එකෙක් වත් පැන්නෙ නෑ නෙ වතුරෙ සැරට බයේ.....අනිත් එක පීනන්න දැනං හිටියට ම වතුරෙ ගහගෙන යන කෙනෙක් බේර ගන්න බැහැ ලු නේද.හොඳට පීනන්න දන්න මගෙ යාළුවෙකුත් ගිය අවුරුද්දෙ නැති වුණා දියේ ගිලෙන කෙනෙක් බේරන්න ගිහින්."අසංක දිගට ම කියාගෙන ගියේය.

අසංක දන්නවද මම පීනන්න ඉගෙන ගත්ත කතාව?”

ඒ කොහොමද මැඩම්?”

මං ඉපදුන දවසෙ වෙලාව බැලුව ම කිව්වලු වතුරෙන් හරි අපලයි කියල.අපේ අම්මලා ආතම්මලා හරියට බය වුණාලු.අපේ තාත්තා කේන්දර වැඩිය විශ්වාස කරන කෙනෙක් නෙවේ.තාත්තා එකහෙලා කිව්වලු මට පොඩි කාලෙ ම පීනන්න උගන්නන්න.අනතුරක් තියෙනවා නම් ඒකෙන් ආරක්ෂා වෙන්න ඉගෙන ගන්නවා මිසක් ඒකට බයේ හැංගෙන එක නෙවේ කරන්න ඕන. මගෙ ස්විමිං කෝච් ආමි එකේ කෙනෙක්.හරි ම සැරයි වගේ ම තමා එයා අපිට ජීවිතාරක්ෂක ක්‍රම ත් ඉගැන්නුවා. හුඟක් අය තමන් හොඳට පීනුවාට වතුරට වැටුණ කෙනෙක් බේර ගන්න ගියා ම අමාරුවේ වැටෙන්නෙ බේර ගන්න නිවැරදි විදිය නොදන්න කමින්"

වතුරෙන් අපලයි කිව්වට දැනුත් මැඩම් කරන්නෙ වතුරට අභියෝග කරන එක.බලන කොට මැඩම්ට වතුරෙන් අපලයි නෙවේ වතුරට මැඩම්ගෙන් අපලයි"

 

Comments