නානත්ත කායා

 එදා නෙතලි හොඳට ම කාර්යබහුල දිනයකි. තමන් යටතේ ඇති වැඩසටහන් ගණනාවක වාර්තා මේ දැන් ම යැවිය යුතු සේ ම හවස් වරුවේ අනිවාර්යයෙන් සහභාගි විය යුතු රැස්වීමේ කථා කරන කරුණු සූදානම් කර ගත යුතු ව ඇත.

"ට්‍රීං....." මේ මොහොතේ දුරකථනය පවා ඇය වදයකි.

"හෙලෝ"

"මැඩම්ට විසිටර් කෙනෙක්.මුණ ගැහෙන්නම ඕන ලු.පුද්ගලික ව කතා කරන්නත් ඕනලු"

පණිවිඩය අසා ගන්නට යයි කියන්නට පෙර ම කියවුනේය.

"කවුද කෙනා?"නෙතලි තරහයෙන් ඇසුවාය.

"මෙලනි කියල තමා නම දුන්නෙ.මැඩම් එයා ව දන්නෙ නෑලු."

වැඩ ගොඩක හිර වී සිටි නෙතලිට මේ හරස්පද ප්‍රහේලිකාව තවත් වදයක් වුවත් ඇය අමුත්තියට එන්නට අවසර දුන්නාය.

තමන් ඉදිරියේ වාඩි වූ කාන්තාව දෙස නෙතලි විමසිල්ලෙන් බැලුවාය.

"මිස් මාව දන්නවද?මම කොහොමද මිස් ට උදව් වෙන්න ඕන."මැදිවියට ආසන්න විදෙස් රටක පදිංචි කාන්තාවක මෙන් පෙනෙන අමුත්තිය දෙස බලා කවදා හෝ ඇය ව හමු වී ඇත්දැයි කල්පනා කරන අතරේ නෙතලි ඇසුවාය.

අමුත්තියට හදිසියක් නැත.

"මම මෙලනි.මිසිස් මෙලනි ඇට්කින්ස්.මේ ඇල්බම් එක බලල ඉන්නකො මිස්"

මෙලනි නමේ හුරුවක් නැතත් ඇට්කින්ස් නෙතලිට සමීපය.ඇය කුතුහලයෙන් ඇල්බම් එකේ පිටු පෙරළුවාය.එහි මුල් ම පිටුවේ ඉන්නේ මංගල යුවලකි. මනාලිය දැන් තමා ඉදිරිපිට සිටින කාන්තාව විය යුතුය.ඊළඟ පිටුවේ ඇය ම ගැබිණියක් ලෙසින් ද නැවත දරුවෙක් තුරුළු කර ගත් මවක් ලෙස ද ඡායාරූප පෙළකි.නෙතලි වේගයෙන් පිටු පෙරළුවාය. යුවලක් විවාහ වී දරු දෙන්නෙක් ලබා ඒ දරුවන් වැඩිවියට පත් වන තෙක් ගන්නා ලද පවුලේ ඡායාරූප එකතුවකි ඒ.ඇය ඒ මව හෝ දරු දෙදෙනා නොහඳුනයි. ඒත්...ඒත්...ඒ පිරිමියා?බිරිඳ දරුවන් තුරුල් කරගෙන සිනාසෙන පිරිමියා???

ඉගෙනීම හා රැකියාවේ අනාගතය පමණක් සලකා වෙහෙස වූ නෙතලි විවාහයක් ගැන සිතුවේ ආචාර්ය උපාධි නිබන්ධනය ද බාර දී ආයතනයේ විධායක මණ්ඩලයට උසස්වීම ලද පසුය.ඒ වන විට ආදරය ඇත්නම් ලුණුයි බතුයි කකා  මළ පොතේ අකුරක් නොදන්න මෙලෝ දෙයක් නැති පිරිමියෙක්ට වුණත් මං කැමතියි යන යුගය පසු කර සිටි නිසා ඇය සෙව්වේ තමාගේ තත්ත්වයට උගත්කමට ගැලපෙන වැදගත් සහකරුවෙකි.

නමුත් අවුරුදු 14-15 වෙද්දී  අද පෙම්වතිය වී පහුවදා ම බිරිඳකගේ භූමිකාවට පණ දෙන්නට යන,රැකියාවේ උසස්වීම් තකා ලොව පැරණිම වෘත්තියේ යෙදෙන තරුණියන් පවා සිටින සමාජයක වැදගත් බව ලොවට පෙන්වන සමහර මනාලයන් අවුරුදු 32ක් වූ නෙතලිවත් දුටුවේ ඒ වෙද්දී කඩුළු 77ක් වත් පැන ඇති ඒ නිසා ම තමන්ටත් සිත් සේ භාවිතා කළ හැකි මෙවලමක් ගානටය. නැතහොත් නෙතලිගේ සමාජ තත්ත්වය ධනය තමන්ගේ යැපීමට ලැබෙන නිධානයක් ලෙස ය.මෙවන් තත්ත්වයක් යටතේ

පිරිමින් තිත්ත ම තිත්ත වී සිටිය දී රාජකාරි ගමනක් වෙනුවෙන් විදෙස්ගත වුණ නෙතලි ආපසු එන ගමනේ ගුවන් යානයේ අල්ලපු අසුනේ හිඳ සිටියේ නොලන් ඇට්කින්ස්ය.ඉතා දීර්ඝ වෙහෙසකර ගුවන් ගමනේ ඇයට කිසිදු වෙහෙසක් නොදැනී ප්‍රබෝධයෙන් තබන්නට මාක්ගේ ආචාරශීලී උද්යෝගිමත් කතා බහ හේතු විය.ගුවන් ගමන අවසන් වෙද්දී ඔවුන් හොඳ මිතුරන් ව සිටියහ.

පියාගේ ව්‍යාපාර වෙනුවෙන් ම ඇප කැප වූ ඔහුට ද විවාහ වන්නට ඉඩක් ලැබී නොතිබිණ. වැඩි කල් නොයවා ම ඔවුහු පෙම්වතුන් වූහ. ඔහුගේ සමාජ තත්ත්වය, අධ්‍යාපනය නෙතලි සෙවූ මට්ටමේ වූ අතර ඇයට වැදගත් ම දේ වූයේ ඔහු කවදාවත් ඇයට වැරදි වචනයක්, හැඟවීමක්, ඉරියව්වක් පවා දක්වා නැති වීමත් ඇගේ වත්කම ගැන කිසිසේත් සොයා නොබැලීමත්ය.පරණ අත්දැකීම් සිහි වී ඇය නොලන් ගැන වටපිටෙන් සොයා බැලුවත් කියන්නට වරදක් හෝ බොරුවක් අහු වුනේ ද නැත.

"නොලන් මට මුණ ගැහුනෙ එයා ඉගෙන ගන්න රට ගිහින් ඉන්න කාලෙ.අපි බැඳලා එහේ ම පදිංචි වුණා. ඒත් තාත්තා නැති වුණා ම එයාට බිස්නස් බලා ගන්න එන්න සිද්ධ වුණා. එතකොට මට පොඩි දුව ලැබෙන්න ඔන්න මෙන්න හිටිය නිසා ඩොක්ටර්ස්ලා මට යන්න එපා කිව්වා.... ඒ ආවාට පස්සෙ එයා බිස්නස් වලට හිර වුණා. ඒත් අවුරුද්දකට සැරයක් නිවාඩුවට එහෙ එනවා.මෙහෙ කවුරුත් ම එයා බැඳල බව දන්නෙ නෑ.

මම මිස්ට වරදක් කියන්නෙ නෑ.නොලන්ගෙ කතාවට, හැන්ඩ්සම්කමට, තත්ත්වෙට, සල්ලි වලට ඕන කෙල්ලක් කැමති වෙනවා.

මේ මෙහෙම වුණ පළවෙනි වතාවත් නෙවේ .....ඒත්...ඒත් දරුවො දෙන්නා එයාට පණ වගේ.මිස්ට මාව විශ්වාස නැත්නම් මේ තියෙන්නෙ අපේ මැරේජ් සෙටිෆිකට් එක.දරුවො දෙන්නගෙ බර්ත් සෙටිෆිකට්ස්"

නෙතලි යාන්ත්‍රික ව මෙන් ඒ ලියකියවිලි කියවා බැලුවාය.අමුත්තිය තවත් මොනවාදෝ කියනවාත් තමන් ඊට උත්තර දෙනවාත් ඇයට හැඟුණත් ඒ මොනවාදැයි නෙතලි දැන සිටියේ නැත.

දෙපා මුල ක්ලේමෝ බෝම්බයක් පිපිරී ගියා නම් මේ තරම් විනාශයක් නැත.මේ තරම් සුචරිතවත් වැදගත් යහපත් පෙරාපු රත්තරන් වැනි නොලන් විවාහකයෙක්!දෙදරු පියෙක්!! තමන්ගේ ඇස් මුලට කඳුළු පිරීගෙන එන බව හැඟුනෙන් නෙතලි වේගයෙන් ඇසිපිය සැලුවාය.කොහොමද කොහොමද මේ තරම් බොරුවක් කරන්නෙ.ඇය දුරකථනය අතට ගත්තාය.ලුණු ඇඹුල් ඇති ව නොලන්ට දෙකක් කියා ඔහුගේ හොර බොරු සියල්ල අහු වූ බව කිව යුතුය.එක්කෝ ඔහු හමු වී අඬා දොඩා මේ සියල්ල පැහැදිලි කර ගත යුතුය.

"නෙතලි!!!!"හදවතින් තීරණ ගනිමින් සිටිය දී මොළය ඇය ව ඇමතුවේය.

"ලැජ්ජා නැද්ද.මේ තරම් හොඳට බොරු කාරයෙක් බව ඔප්පු වෙලා තියෙද්දි අඬන්නෙ ඒ වගේ වංචාකාරයෙක් වෙනුවෙන්.අත් ඇරල දාපං දැන් ම දැන් ම.උඹේ තත්ත්වෙ ගැන හිතපං" නෙතලි දත් මිටි කාගෙන දුරකථනයේ ඔහු හා තිබූ සියළු සම්බන්ධතා අවහිර කර දැම්මාය.

 ************************************************************************************************************

සාර්ථක මෙහෙයුමක් අවසන් කළ ටාන්යා තමන් වෙනුවෙන් නවතා තිබූ මෝටර් රථයට නැගුනාය.රියදුරු බිල් හැරුණු විට එහි සිටියේ නොලන්ගේ සහචර මාක් පමණි.ටික වේලාවක් යනතුරු ඔවුන් අතර කතාවක් නොවීය.

 "කොහොමද වැඩේ හරි ද?"අවසානයේ මාක් නිහඬතාවය බින්දේය.

 "මං බය වුණා ගෑණි හොඳට සහතික ටික බලද්දි.ඒ වුණාට අවුලක් නෑ ෆොටෝ ටික නියමෙට වැඩ කළා.අනික මං ඇත්ත වගේ ම රඟපෑවා" ටාන්යා තමන්ගේ හැකියාව ගැන ද උදම් ඇනුවාය.

 "ඒකට තමා උඹට මෙච්චර ගානක් ගෙවන්නෙ.බොස් වැඩකට ගන්නෙ සුපිරි ම මිනිස්සු. වෙඩින් ෆොටෝ එක අවුරුදු 15කට කලින් ගත්ත එකක් වගේ පරණ පාටට ම තියෙනවා.සහතික වලත් වෝටර් මාක් පවා දාලා"

"පුදුමයි ගෑණි මට මුකුත් කිව්වෙ නෑ.මං හිතුවෙ මට බැනලා ගහලා....."

"හහ් බොස් වැඩකට තෝර ගන්නෙත් ඒකට හරියට ම හරි යන ප්ලේස් එක.තමන්ගෙ ඔෆිස් එකේ දි තමන්ගෙ තත්වෙ නැති කර ගන්නෙ නෑ හයි පෝස්ට් එකක ඉන්න සිහි කල්පනාව තියෙන ගෑණියෙක්.හ්ම්.....බහිනවා මෙතනින් ...බොස්ගෙන් වැඩේ හරි කියල ඕකේ එක ආව ගමන් එකවුන්ට් එකට ඉතුරු ගාන දාලා ඇති."

ටාන්යා ව බස්සවා රථය ඉදිරියට ඇදුනේය. රථය තුළ දෙදෙනා අතර ගැඹුරු නිහඬතාවයක් රැඳුනේය.

 "අපේ බොස් ඇත්තට ම බැඳලා නැද්ද?" නොලන් ගාව සේවයට බැඳී වැඩි කලක් නැති බිල් බොහෝ වේලාවකට පසු නොලන්ගේ දිගු කාලීන සහචරයෙක් වූ මාක්ගෙන් ඇසුවේය.

 "හ්ම්........මං දන්න තරමට නම් නෑ"මාක් තද කල්පනාවක ගැලී ම උත්තර දුන්නේය.

 "කවදාවත් බඳින එකකුත් නැද්ද?"

 "ඒ වගේ තමා පේන්නෙ" මාක් තවමත් ඒ කල්පනාවේමය.

 "එහෙනම් මොකක්ද මේ රට පුරා වැදගත් පෝසත් හොඳ රස්සා කරන ගෑණුන්ට බලාපොරොත්තු දිදී ඒවා කඩා බිඳ දාලා බොස් කරන සෙල්ලම?"නොසිතා ම බිල් ගේ කටහඬ ඉහල ගියේය. මාක්ගේ කල්පනාව බිඳී ගියේය.

 "මම දන්නෙ නෑ බං."ඔහු වේගයෙන් කීවේය.

 "එක එක මිනිස්සුන්ට එක එක විදියෙ පිස්සු තියෙනවා.බොස්ට දරුපවුලක අගයක් නැති වුණාට අපේ දරු පවුල් කන්නෙ අඳින්නෙ මේ රස්සාවෙන් නෙව.ඒ නිසා කියන දෙයක් ඒ විදියට කරල අපේ ගාස්තුව අර ගමු.ප්‍රශ්න වැඩක් නෑ" එයට එකඟ වූ බිල් ඊළඟ ගියරයට දා ගත්තේය. තවත් මෙහෙයුමක් අවසන් කළ රථය ඊගහක වේගයෙන් සුපුරුදු නවාතැනට ඇදුනේය.

 

-සම්පූර්ණයෙන් ම මනංකල්පිතයි.-

-------Shanika Tennakoon--------

 

Comments