ඇයි එයා එහෙම

 "ඊයෙ මෙහෙ මුකුත් අවුලක් වුණා ?"

කාර්යාලයට සැනින් පමුදි යෙහෙලියන්ගෙන් විමසුවාය.

" නෑ.ඇයි?" යුගානි පෙරලා ඇසුවාය.

"උදේ රෝෂනී මැඩම් හම්බ වුණා.මං හොඳට හිනා වෙලා ගුඩ් මෝනිං කිව්වා. කන්න වගේ මගෙ මූණ දිහා බලන් ඉඳල යන්තම් මෝනිං ගාගෙන ගියා"

"එයා අද ඇඳේ වැරදි පැත්තෙන් බැහැල වෙන්න ඇති. කෝ බලන්න ඊයෙ නිවාඩුත් දාලා ගිහින් කරගත්ත හෙයා කට් එක"

පමුදි සිනා සී කොණ්ඩ කටුව ගැලෙව්වාය.

"ආනේ ඒක නම් හරි ලස්සනයි.කොණ්ඩෙ දැන් හරි පිරුණ පාටයි"

"ඉස්සර තිබුණ නටු ගතිය නෑ නේද කොණ්ඩෙ"

"මූණටත් එළියයි.කීයක් ගත්තද?"

යෙහෙලියන් ඇගේ කොණ්ඩය වර්ණනා කරන අතර ඔවුන්ට අවුරුදු කීපයකට කලින් සේවයට නිලූකා එහා මේසයේ සිටි ලසන්ති දෙස බැලුවාය.

"මට නම් රෝෂිනී මැඩම් ගෙ මූණ කළු වුණ හේතුව හිතා ගන්න පුළුවන්."

ලසන්ති කුතුහලයෙන් බැලුවාය.

"මතක මෙහාට මුලින් මම කොලර් එක දාලා සාරි බ්ලව්ස් එකක් ඇඳන් ආවා.මහ නෝන්ඩි විදියට මගෙ දිහා බලල මහත්තයගෙ ෂර්ට් එකක් කැපුවා ඇහුවෙ.මේ ළමයත් හෙයා කට් එක නිසා ලස්සන වෙලා නෙ"

"අපෝ කොච්චර ලොකු තනතුරක් වුණත් එයාගෙ මහ චීප් වැඩ නම් තියෙනවා.මමත් සති අන්තෙ කොළඹ ගිහින් කෝස් එක කරද්දි අනිවාර්යෙන් සිකුරාදා හවස මහා ලොකු වැඩක් පවරනවානෙ" ලසන්ති මතක් කළාය.

රෝෂිනී ගෙන් අකටයුතුකම් සිදු වූයේ එක් කෙනෙකුට දෙදෙනෙකුට නොවේ.

 කුමන අංශයකින් හෝ ඉදිරි පියවරක් තබන කාටත් හීන් නූලෙන් වළක් කපන්නට බැරි නම් වචනයකින් හෝ අපහාසයක් කරන්නට ඇය පෙළඹුනේ වරක් දෙවරක් නොවේ.

---------------------------------------------------------------------------------------------------------

එළඹුන සති අන්තයක යුගානි දිගු කලක් තිස්සේ සංවර්ධිත රටක ජීවත් වන නිවාඩුවකට ලංකාවට පැමිණ සිටි නැන්දෙක් බැලීමට ගියාය.

ඇගේ ගිය කතා අසමින් පරණ ෆොටෝ බලමින් හිඳිද්දී පුරුදු මුහුණක් එහි විය.

"නැන්දෙ ඔයා කොහොමද මේ ලේඩි දන්නෙ?"

" රෝසි කෙල්ල....අපි දෙන්නා එහෙ එක කොලේජ් එකේ ඉගෙන ගත්තෙ"

"ඔයා රට ගියෙ ඉගෙන ගන්න නෙවේ නෙ?"

යුගානි පුදුමයෙන් ඇසුවාය.

නැන්දා වටපිට බලා හඬ පහත් කළාය. "අදටත් මේ වගේ රටකට ජොබ් එකකට යන්න හරි අමාරුයි.අපි ගියේ ස්ටුඩන්ට් වීසා අරන් හොරාට.....වීසා එක නිසා පාට් ටයිම් ඉගෙනත් ගත්තා.තව පොඩි පොඩි ජොබ් කළා"

"මොනවද ඉගෙන ගත්තෙ.උපාධියක් ?"

"අපෝ නෑ..... වැඩි ඉල්ලුමක් නැති හුඟක් අඩු ගානක් වියදම් වෙන කෝස් එකක්.ඒකත් පොඩි තැනක.අපි ආවෙ සල්ලි හොයන්න මිසක් තියෙන එකත් එහාට පුදන්නයැ"

"ඉතිං ඇයි එයා ලංකාවට ආවෙ?"

"එයා වැඩ කරපු රෙස්ටුරන්ට් එකේ කරදර වෙලා ලංකාවට යැව්වා.මෙහෙනුත් බ්ලැක් ලිස්ට් කළා කොහෙද.අපරාදේ"

යුගානි යටි තොල හපා ගත්තාය.

එහෙනම් මේකයි හේතුව.රෝෂිනී ඩයස්, යුනිවසිටි ඔෆ්......යනුවෙන් ඇය ණයට ගෙන සිටින්නේ නොගත් උපාධියකි.හයි ක්ලාස් ජීවිතයක් පෙන්වන්නට හැදුවාට.......

නමුත් මේ බව එළි කරන්නට යුගානි ඉක්මන් නොවූවාය.මෙතෙක් පරිවාස කාලයේ සේවය කළ ඇයට ස්ථිර වන්නට සම්මුඛ පරීක්ෂණය ඇත්තේ ඊළඟ සතියේය.පරීක්ෂණ මණ්ඩලයේ ඔවුන්ගේ අංශයේ ප්රධානියා වන රෝෂිනී ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙක් හා ඔවුන්ගේ ගණුදෙනුකාර ආයතනයක නියෝජිතයෙක් සිටිනු ඇත. සම්මුඛ පරීක්ෂණයේ අවසන් තීරණය ඇත්තේ අංශ ප්රධානියා අත නිසා යුගානි තව දුරටත් ඉවසුවාය.

සම්මුඛ පරීක්ෂණ දිනය එළඹියේය.පිටින් පැමිණ තිබුණේ ක්ෂේත්රය තුළ පළමු පෙලේ ඇති ආයතනයක අධ්යක්ෂවරියක් නිසා සියළු දෙනා ඉතා සීරුවෙන් සිටියහ.

තමන් සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන් ආකාරය ගැන යුගානි සම්පූර්ණයෙන් සෑහීමට පත් සිටියත් ඇයට දෙලොවක් අතර රැඳෙන්නට හේතුවක් පැණ නැගී තිබිණ.

අවසානයේ ඇය කෙළින් රෝෂිනී මැඩම් හමු වූවාය.

"මැඩම්,අපේ ඉන්ටවීව් එකේ රිසල්ට්ස් දැන් එන්නෙ නැද්ද?"

රෝෂිනී උපහාසාත්මක ඇගේ හිසේ සිට දෙපතුළට බැලුවාය.

"රිසල්ට්ස් එදා ෆයිනලයිස් කළා.හෙට අනිද්දා එයි"

"මම....මම පාස් මැඩම්"

යුගානි නැවත ඇසුවාය.

"ඒක ඉතිං ෆේස් කරපු විදියෙන් දන්නවා ඇති නෙ"

ඇය එය කියූ අපහාසාත්මක ස්වරූපය ඉවසන්නට බැරි වුවත් " කිව්වෙ මැඩම්"ඇය අසා සිටියාය.

"ප්රශ්න අහද්දි එහෙම පැන පැන හිනා වෙවී උත්තර දෙනවද?එයාල ඉංග්රීසියෙන් ඇහුවට ඔයා බොරු ෂෝ දාන්න ගියේ මොකටද?අපේ කම්පැනි එකේ සර් විතරක් හිටියා නම් කමක් නෑ.අර පිට කම්පැනි එකේ මැඩම් මොනව හිතන්න ඇති ? සර් මගෙන් ඇහුවා කවුද ළමයා කියල.මටයි ලැජ්ජාව"

නොසිතූ විරූ පිළිතුරෙන් යුගානි මොහොතකට නිරුත්තර වූවාය.

" කියන්නෙ මාව පර්මනන්ට් වෙන්නෙ නැද්ද මැඩම්?"යුගානි නැවත ඇසුවාය.

"මං කොහොමද යුගානි වගේ ෆීඩ් බැක් එකක් එක්ක ඔයා ඕකේ කරන්නෙ?"

සමච්චලය නොසැඟවූ හඬකින් රෝෂිනී කීවාය.

යුගානි හුස්මක් ගත්තාය.

"තැන්ක් යූ සෝ මච් මැඩම්.ඉන්ටවීව් එක දවසෙ හවස කම්පැනි එකෙන් ආව මැඩම් මට කතා කළා. කැමති නම් මට එහාට ජොයින් වෙන්න එන්න කිව්වා.එයාගෙ පර්සනල් ඇසිස්ටන්ට් විදියට.මම ඒකට ඕකේ නොකිව්වෙ මේ ඉන්ටවීව් පාස් නම් ඒක එතිකල් නෑ වගේ නිසා.....මෙන්න මගේ රෙසිග්නේෂන්"

ඇය මෙතෙක් අතේ තබාගෙන සිටි ලිපියක් මේසය මත තැබුවාය.

රෝෂිනී හුස්ම ගන්නට අමතක ඇය දෙස බලා සිටියාය.

---------------Shanika Tennakoon------------------

 

 

Comments