කාට පේන්න ද

 


දිනාලිගෙන් ටියුෂන් ගත් සිසුන් හැම දෙනා ශිෂ්යත්ව විභාගයෙන් ඉහලින් සමත් වීම ටියුෂන් සම්බන්ධයෙන් ඇගේ ඉල්ලුම ඉහල දමන්නක් වීය.එයින් පසු තම තමන්ගේ දරුවන්ට ඇගෙන් ටියුෂන් ලබා ගන්නට පොර කෑ අය අතර තමන් ඉගැන්වූ පාසලේ උප විදුහල්පතිනිය ජානකී මැඩම් තමන්ගේ පුතා නිවසට පැමිණ උගන්වන මෙන් කළ ඇරයුම කොතරම් කාර්යබහුල වුවත් දිනාලි ප්රතික්ෂේප කළ නොහැක්කක් විය.

ඇය ජානකී මැඩම් එන්නට පොරොන්දු වූයේ සෙනසුරාදා උදේ 9ටය.ජානකී මැඩම්ගේ සැමියා ඉහල තනතුරක් දරන්නෙකි. ගවාන් ඔවුන්ගේ එක පුතාය. මුල් දවසේ වේලාසන පිටත් වූ දිනාලි උදේ 8 වෙද්දී ඔවුන්ගේ නිවසට පැමිණියාය.

" දිනාලි කලින් .අපි දැනුයි breakfast අරන් ඉවර වුනේ.ඔයත් කමු"

ජානකී මැඩම් ඇය පිලිගනිමින් කීවාය.

"අනේ ඕන නෑ මැඩම්.මම කාලා ආවෙ"

"ඒකට කමක් නෑ.පැයක් විතර බස් එකෙත් එන්න ඇතිනෙ. කිරිබත් කෑල්ලක් කමු"

දිනාලි වැඩි පෙරැත්තයක් නැතිව කෑම මේසයට ඉඳ ගත්තාය.මුං ඇට කිරිබත් ඇගේ කැමති කෑමකි.

පළමු කැබැල්ල කටට ගන්නවාත් සමග ඇයට රසේ වෙනසක් දැනුනේය.

ලුණු දාලා නෑ පොඩ්ඩක් වත්.උඩු සිතෙන් කීවේය.

ගෙදරකට මුලින් ආව දවසෙ කෑම වල අඩු පාඩු හොයන්න ගත්තද ලැජ්ජ නැතිව.යටි සිතෙන් තරවටු කෙරුනේය.සිත් දෙකට වාද කර ගන්නට ඉඩ දී ඇය කටට ගත් කිරිබත් කැබැල්ල අමාරුවෙන් උගුරෙන් පහලට තල්ලු කර ගත්තාය.

"දිනාලි පුරුදු නැද්ද මන්දා...අපි සීනි ලුණු තෙල් පාවිච්චිය හරි අඩුයි"ඇගේ මුහුනේ ඉරියව් නිරීක්ෂණය කළ ජානකී මැඩම් කීවාය.

"අපෝ SOS,suger oil salt තුනම රස කාරක නෙවේ ලෙඩ කාරක.වයසට ගියා පාලනේ කරල වැඩක් නෑ.මේ කාලෙ ඉඳන් අත් අරින්න ඕන."

මැඩම්ගේ සැමියා පළමු වරට කටහඬ අවදි කළේය.

"පුතාට අවුරුදු 5ක් වෙන කල් දුන්නෙ නෑ. මොන්ටිසෝරි යද්දි යාළුවෝ නිසා කන්න වුණා.දැන් එයාට තේරෙන නිසා යාළුවො දුන්නත් කන්නෙ නෑ" ජානකී මැඩම් ආඩම්බරයෙන් අට හැවිරිදි පුතා දෙස බැලුවාය. අල්ලපු පන්තියේ  යෙහෙළිය ගමේ ගිහින් එද්දී ගෙනා පැණි වළලු ජානකී මැඩම් රස කරමින් කෑ බව මතක් වුවත් දිනාලි අමාරුවෙන් තවත් දෙකටක් කා අත හෝදා ගත්තාය.

"දිනාලි තේ කෝපි ?"

"නෑ මැඩම් මට වතුර හොඳයි....අපි පන්තිය පටන් ගමු නේද"

සීනි නැතිව තේ කෝපි බොන දඬුවම ලබන්නට පෙර ඇය ඉස්සර වුණාය.

වයසේ ඕනෑ දරුවෙක් මෙන් ගවාන් දඟකාර .කටකාරය.විනාඩි කීපයකට වඩා එක කල්පනාවක නොරැඳේ.මේවා නොපුරුදු නැති දිනාලි ඔහු ඉවසීමෙන් පාඩම් කියා දුන්නාය.

කාලය ගත වෙද්දී දුම් දමන තේ කෝප්පයක් හා බිස්කට් දීසියක් රැගෙන නිවසේ සේවිකාව ආවාය. වෙද්දී තේ කෝප්පයක් බොන්නට තදින් ඕනෑ වී තිබුණත් එහි සීනි නැත්දැයි සිතද්දී දිනාලිගේ සිත පර ගියේය. කොයිකටත් ඇය ඉන් උගුරකින් තොල් තෙමා ගත්තාය.ඇගේ සැකය නිවැරදිය.කමක් නෑ බිස්කට් කකා බොන්නම් සිතා බිස්කට් දීසිය දෙස බලද්දී එහි වූයේ සීනි රහිත වර්ගයකි.

එවර නම් දිනාලි උඩු හිතට කීකරු වූවාය.

ගවාන් නොදැනෙන්නට නැගිට ගිය නාන කාමරයේ බේසමට උණු තේ කෝප්පය හිස් කළාය.

ටැප් එක ටික වේලාවක් ඇර දමා තබා හිස් කෝප්පයත් රැගෙන ආපසු ආවාය.තමන් නොසිටි මිනිත්තුවට ගවාන් හොර වැඩක් කර ඇති බව ඇය ඉවෙන් හඳුනා ගත්තාය.ඔහුගේ කටේ යමක් ඇත.ඇය එනු දැක ඔහු යමක් ගුලි කර සාක්කුවට ඔබා ගත්තත් එය බිමට වැටුණ බව දුටු දිනාලි මේසය යට බැලුවාය.

ටොෆි කොළයකි.ඇයට අනුකම්පා සිතුනේය. ඔහු කිසිත් නොදත් ලෙස පොත දිහා බලා ගෙන අකුරු ලියයි.දිනාලි නිහඬ සිටියාය.

"මිස් අම්මා එක්ක මං කෙරුව දේ කිව්වෙ නැත්නම් මමත් මිස් කෙරුව දේ කියන්නෙ නෑ"

දිනාලි විශ්මයෙන් බැලුවාය.

"මොකක්ද මං කෙරුවෙ?"

"තේ එක විසි කරල ආවෙ වොෂ් රූම් එකට ගිහින්"

දිනාලි තොල හපා ගත්තාය.

"මට කලින් ටියුෂන් දුන්න මිසුයි මියුසික් වලට එන සර් ත් ඔහොම තමා"

දිනාලිට හිනාවක් යන්නට ආවත් ඇය ආයාසයෙන් පාඩම කරගෙන ගියාය.

පන්තිය අවසානය.

"අපි මාකට් යන්න හදන්නෙ.ඔයත් යන්නෙ උඩහ පාරෙ නේද.යමු.හන්දියෙන් බහින්න පුළුවන්" තරමක කන්දක් තරණය කළ යුතු නිසා ජානකී මැඩම්ගෙ ආරාධනාව දිනාලි පිළි ගත්තාය.

"මං බාස්කට් එක අරන් එන්නම්.ඔයා වාහනේට නගින්නකෝ"

ජානකී මැඩම් ගෙතුල සිට කියද්දී දිනාලි සෙමෙන් වාහනය අසලට ගියාය.ජානකී මැඩම් ගේ සැමියා දිනාලිට පිටු පා දුරකථන ඇමතුමකය.

"ගිය සැරේ ගෙනාව පීසා එක සවුත්තුයි බං. පොලිසිය ගාව අළුත් පොට් එකක් තියෙනවා. එතන කොත්තු නම් සුපිරි....."

"හරි එහෙනම් 6 සෙට් වෙමු"

බිරිඳ එනු දුටු ඔහු ඇමතුම විසන්ධි කර වාහනයට ගොඩ වුණේය.

"සේනක ගෙ අම්මා අසනීපෙන්.අපේ ජොගින් සෙට් එක අද හවස යමු කියන්න කෝල් කළා."

දිනාලිගේ කට කොණට සිනාවක් නැගුනේය.

ගෙදරට යන එන අයගෙ නිරෝගීකම වෙන්නැති මෙයාලා ආරක්ෂා කරන්නෙ.ඇය නිහඬ සිතුවාය.

---------------Shanika Tennakoon--------

 

 

Comments