මලක් පිපුනා



 සුරංගි සිටුකාර පවුලේ එක ම දරුවාය.රූමත් පොහොසත් බලවත් ඇගේ අත පතා මනමාලයන් ආවේ රංචු පිටිනි. නමුත් සැමදා සිදුවන්නාක් මෙන් ම සුරංගි ගේ හිත ගියේ තාත්තාගේ වතු යාය බලා ගත් නන්දෝරිස්ගේ මුණුපුරා තාරක ට ය.
සිටුකාර පවුල මේ සම්බන්ධයට එරෙහි ව සියළු අවි අමෝරා ගත් නිසා තාරකට සුරංගීව හමු වීම සපුරා තහනම් විය.ඔහු ඇය ගැන විස්තරයක් පවා දැන ගත්තේ කුස්සියේ උයන ලලිතා ගෙනි.

නිවැසියෝ සුරංගිට ආ අටෝ රාසියක් මංගල යෝජනා අතරින් හොඳ ම ඒවා තෝරද්දී සිතු දේ නොම වේ නොසිතු දෙය ම වේ යන්න ඇත්තක් කරමින් සුරංගි හිටි හැටියේ අසනීප වූවාය.දිනක් උදෑසන ඇඳෙන් නැගිටිද්දී ඇයට තම දෙපා පණ නැති බවත් ඒවා තවදුරටත් තමාට අවනත නොවන බවත් ඇයට හැඟුනේය.
සිටුකාර පවුල හරහා සුළි සුළඟක් හමා ගියේය.මුලින් ම පවුලේ වෛද්යවරයාත් ඉන්පසු රටේ දක්ෂ ම විශේෂඥ වෛද්යවරුත් පරීක්ෂා කළ නමුත් ඒ කාටවත් නිවැරදි ව ඇගේ රෝගය විනිශ්චය කළ නොහැකි විය.කෙනෙකුට අනුව එය සුෂුම්නාවේ ප්රශ්නයකි. තව කෙනෙකුට අනුව අස්ථි පද්ධතියේ දුර්වල වීමකි.තවත් කෙනෙකුට එය මානසික ප්රශ්නයකි.මේ සියළු ලෙඩ රෝග වෙනුවෙන් බෙහෙත් කළ මුත් කිසිම සනීපයක් දක්නට ලැබුනේ නැත.
මේ අතර ඇගේ මනාලයන් සමහරක් සදා රෝගියෙක් වන ලකුණු පල කළ ඇය ව හැර දා ගියහ. තවත් සමහරු මේ වෙලාවේ ලක්ෂ 2-3ක් වියදම් කර හෝ තමන්ගේ ලකුණු මට්ටම ඉහල නංවා ගත හැකි නම් පසු ව එය වැල් පොලී ලෙස ලබා ගත හැකි බව දන්නා නිසා ඒ වෙනුවෙන් පෙරමුණ ගත්හ.
තාරක මේ කොයි පැත්තෙන් බැලුවත් අසරණය.ඔහුට කළ හැක්කේ ලලිතා ගෙන එන ආරංචි අසමින් දන්නා සියළු දෙවියන් යැදීම පමණි.
අවසානයේ ඉතා කුඩා ආලෝක කිරණයක් කළු වළාකුල මැද්දෙන් ඇඳී ගියේය.දුර ඈතක වාසය කළ වෙද මහතෙක් ගේ විස්තරයක් දැන ගත්තෙන් ඔවුහු ඇය එහි ගෙන ගියහ.
ලෙඩා පරීක්ෂා කළ වෙද මහතා හිස ඉහළ පහළ වැනුවේය.
"බොහෝ ම දුර්ලභ ලෙඩක්.බයක් වෙන්න දෙයක් නෑ සනීප කරන්න පුළුවන්.හැබැයි කකුල් වලට පත්තුවක් බඳින්න තියෙනවා. ඒකට බොහෝම දුර්ලභ බෙහෙත් පැළෑටියක මලේ පරාග ගේන්න ඕන"
"මොනව වුණත් කමක් නෑ කියන්න වෙද මහත්තයා.අපි කොහෙන් හරි හොයල ගේන්නම්."
"හොයා ගත්තොත් දුවගෙ වාසනාව.ගජහස්ති පැළෑටියේ මල් පරාග තමා ඕන"
*************************************
කළ යුත්තක් සිතා ගත නොහැකි ව ඇඳ බදාගෙන සිටින තාරකගේ ඔළුව යකාගේ කම්මල වගේය.සුරංගි වෙනුවෙන් මේ පැලෑටිය වත් සොයා ගත හැකි නම්????ඔහු අන්තර්ජාලය පීරමින් ලලිතා කිව් හැඩ හුරුකම් ඇති පැලෑටියක් මලක් හෙව්වේය.
දොර දෙදරුම් කන මහා සද්දයකින් තාරක උඩ විසි වුනේය.දොර අරින්නට පෙර ම ඒ කවුදැයි ඔහු දනියි.වැලි කෙලියේ මිතුරිය දුල්මිනිය.තමන්ගේ මුහුණේ පෙනුම වහ වහා කණ්නාඩියෙන් බලා ගත් ඔහු දොර අරින්නට ගියේය.
"මොකද මේ බුම්මැට්ටා කාමරේට වෙලා දොරත් වහගෙන.මේ.....හ් මොකද මූනෙ හැටි. රිළවා මැරිච්ච අහිකුණ්ටකයා වගේ"
ඇය කියවාගෙන යමින් ඇඳේ ම පැත්තක ඉඳ ගත්තාය.
තමන්ගේ ගෙදරට වඩා වැඩි කාලයක් මෙහි සිටින ඇයට මේත් තමන්ගේ ගෙදර මෙන්ය. මාසයකට සැරයක් දෙකක් වනාන්තර පීරමින් වන දර්ශන ඡායාරූප ගත කරන නිසා හෙදියක් වූ ඇගේ ම අම්මාට අනුව පවා ඇය වැරදීමකින් කෙල්ලක් වූ කොල්ලෙකි. ඇගේ ඇසට හොරෙන් ඔහුට හැඟීම් සැඟවිය නොහැක.
"මුකුත් නෑ හලෝ.යනවකො මෙතන වද නොදී...."
"අපෝ වැඩේටමයි තමුසෙට වද දෙන්න.මං ආවෙ නැන්දා වැලිතලප හදනවා කිව්ව නිසා"
අහු වුණ කොට්ටයකින් ඔහුට දමා ගසා ඇය නැගිට්ටාය.
තාරකට අදහසක් ආවේය.
"මේ දුල් තමුසෙ දන්නව ද ගජහස්ති කියල ගහක් හරි මලක් හරි."
ඇය හැරී බැලුවාය.
"මොකක්?"
"තමුසෙ ඉතින් කැලෑ පුරා කරක් ගහනවනෙ."
"මම කැලෑ වල යන්නෙ ෆොටෝ ගන්න. ඒවයෙ නං ගං ගහල තියෙනවද මැට්ටෝ. මොකටද එහෙම එකක්?"
තාරක සුසුමක් හෙලුවේය.ඇයට හංගන දෙයක් ඔහුට නැත.
"සුරංගි සනීප කරන්න ඒ මලේ රේණු ඕනලු බෙහෙත් හදන්න"දුල්මිණි මොහොතක් කල්පනා කළාය.
"ඒ ගහේ, මලේ ෆොටෝ එකක් නැද්ද?"
තාරක අන්තර්ජාලයෙන් සොයා ගත් ෆොටෝ කීපය පෙන්වූවේය.
දුල්මිණි ඒවා ලොකු කරමින් හරවමින් බැලුවාය.
"මහා වනාන්තර වල ලු තියෙන්නෙ"
"මට මතකයක් නෑ හලෝ.මං අහල බලන්නම් යාළුවෙක්ගෙන් වත්"
ඒ අදහස ද අවසානය.පුරා දින දෙකක් ම ගත විය.තාම බෙහෙත ලැබී නැති බවට ආරංචිය. අඩවි වන නිලධාරියෙක් වූ පාසල් මිතුරෙක් හමුවන අදහසින් තාරක පාන්දර ස්කූටියට නැගුනේය.ඔහුට එය පණ ගන්වන්නට ලැබුනේ නැත.දුල්මිණි ඔහු ඉදිරියේය.ඇගේ අතේ පියන වැසූ බෝතලයකි.
"මෙන්න.....ගජහස්ති....මල"තාරක ඇය දෙසත් බෝතලය දෙසත් කීප වරක් පුදුමයෙන් බැලුවේය.බෝතලය තුළ ඇති මල ඔහු ළඟ තිබූ ඡායාරූපයට සමානය.ඇයට ස්තූති කරන්නට කට ඇරියත්
"යන්න දැන් ම මේක ගිහින් දෙන්න"ඇය ඔහු ව තල්ලු කළාය.
තාරකට තවත් නවතින්නට හේතු නැත. ඉගිල්ලී ගිය ස්කූටිය නතර වූයේ සිටුකාර බංගලාවේ දොරකඩ ය.
ඇගේ පියා මූට මේ තරම් හයියක් කොහෙදැයි අසන මුහුණින් අඩියට දෙකට එළියට පැන්නත් ඒ සැනින් තාරක සුරැකිව ගෙනා බෝතලය ඔහු ඉදිරියට දිගු කළේය.
පියාගේ දෑස් මහත් විය.
"රයන් අයියේ....මේ මේ මේක හරිද?"
එසැනින් ගෙතුළින් එළියට ආවේ තාරක දැක නැති මැදිවියේ වැදගත් පෙනුමැති අයෙකි.ටිකක් කල්පනා කරද්දී ඔහුගේ රුව වනාන්තර, වන සතුන් පිළිබඳ කතා බහේ දී මාධ්යයේ දැක ඇති බව තාරකට සිහි විය.
ඔහුගේ දෑස් විස්මයෙන් නළලට යාමත් හිස ඉහළ පහළ යාමත් සමග බොහෝ දේ එක වර සිදු විය.
ගජහස්ති රැගත් රථය දූවිලි නංවාගෙන වෙද මහතා සොයා ඉගිලුනේය.
නිවසට ගොඩ වදින්නට වත් අවසරයක් නොතිබූ තාරකට සාලයේ වාඩි වෙන්නට සලස්වා කෑමෙන් බීමෙන් ද සංග්රහ ලැබුනේය. වෙනදා පවුලේ මහන්තත්ත කම හිසට ගත් සේවක සේවිකාවෝ මහත් ඇඟෑලුම් කමින් ඔහු හා කතා කරන්නට ආහ.
සුරංගීගේ මව ජීවිතයේ පළමු වතාවට තාරක සමග දත් දෙතිසම දක්වා මිහිරි ලෙස හිනැහුනාය.
වන සතුන් හා වන ශාක පිළිබඳ ජාත්යන්තර විශේෂඥයෙකු වූ රයන් සිටුකුල තාරක අසලින් ඉඳ ගත්තේය.
"මේ ළමයට කීයක් ඕන ද ගාස්තුව?"
"අනේ මට සල්ලි ඕන නෑ.සුරංගිට සනීප වෙනව නම් ඇති"
"මේ ලමයා නංගිලගෙ නෑයෙක් ද?"
එවර රයන් සුරංගිගේ මව දෙසට හැරුනේය.
"ආ.....මේ.....නෑ .....අයියෙ.මෙයා....මේ"
රයන් දෑස් කුඩා කර බැලුවේය.
"එහෙනම් ඔය ලමයගෙ හිතේ සුරංගි ගැන අදහසක් තියෙනවද?"
තාරකටත් අම්මාටත් එක වර කට ඇරියත් උත්තර නැතිවිය.
රයන් කාරණය තේරුම් ගෙන හිස වැනුවේය.
"සුරංගි මගෙ දුව වුණා නම් මොන දේ නොගැලපුණත් මම මේ ලමයට බන්දලා දෙනවා"
"ඒ....ඒ.....ඇයි අයියෙ?"
"මගේ දැනුමෙ හැටියට ගජහස්ති පැළෑටිය හැදෙන්නෙ මහා වනාන්තර මැද්දෙ උස ම කඳු මුදුන් වල බෑවුමට මුහුණ දාල. මල පිපිලා විනාඩි ගාණකින් තද හුළඟට පරාග විසිරිලා යනවා.ඒ මලක පරාග එකතු කරන්න නම් උදේ පාන්දර මල පිපෙද්දි ම එතන ඉන්න ඕන.ඒ කියන්නෙ රෑ කන්ද උඩ ඉන්න ඕන. කිසි ම පහසුකමක් නෑ.හොඳට ම අනතුරුදායකයි. දශමයක් එහා මෙහා වෙලා පහලට වැටුනොත් තමන්ගෙ කෑලි වත් ඉතුරු වෙන්නෑ. තමන්ගෙ දුව වෙනුවෙන් ඒ තරම් ජීවිත අවදානමක් ගන්න කොල්ලෙක් ගෙ ආදරේ තරම් වටින දෙයක් තවත් තියෙනවද නංගි?"
සුරංගිගේ අම්මා කට ඇරියත් කියන්නට දෙයක් නැතිව මෙන් දෙදෙනා දෙස ම බැලුවාය.රයන් ද කට කොණකින් හිනැහී තාරක දෙස බැලුවේය.
ජයග්රාහකයාට උදම් අනන්නට අවස්ථාව වුවත් විස්මයෙන් මොහොතක් බලා සිටි ඔහු වහා නැගිට්ටේය.අඩියට දෙකට මිදුලට පැන ස්කූටිය පණ ගන්වා ගත්තේය.
එය වහා හරවාගෙන වාත වේගයෙන් ඉගිල යද්දී නිවැසියෝ නිරුත්තර ව බලා සිටියහ.
************************************************
එක ම වේගයෙන් ආ තාරක තමන්ගේ නිවස පසු කර මදක් ඉදිරියට ගොස් විවෘත කර තිබූ ගේට්ටුවක් තුළින් ඇතුල් වුනේය.
එළියෙන් කවුරුවත් පෙනෙන්නට නැතත් ගෙතුළටම යන්නට තරම් තමන්ට පුරුදුය.
ගෙතුළින් වේදනාවෙන් කෑ ගහන කෙඳිරි ගාන හඬක් ඇසෙයි.ඔහු දෙගිඩියාවෙන් ඇතුළට ම ගියේය.
දුල්මිණි ඇඳි පුටුවක ඉඳ සිටී.ඇගේ අත් පා සියල්ලේ සීරුම් තැලුම් ලකුණුය.ඇගේ අම්මා බණිමින් ඒවාට බෙහෙත් දමයි.
"ඇයි නැන්දෙ මේ?"
"ආ පුතා එනව ඇහුනෙත් නෑ.මේ කෙල්ල ට පිස්සු පුතේ.ඉර උදාවක ෆොටෝ ගන්න ඊයෙ කැලේට රිංගපු පාර දැනුයි ගෙදර ආවෙ. පේනවනෙ අත පයේ හැටි.මේ විනෝදාංශෙ ඉවර වෙන්නෙ අතක් පයක් නැති කරගෙන තමා.මහ චණ්ඩියා වුණාට තුවාල වලට බේත් දාන්න දෙන්නෑ කෑ ගහනවා"
"නැන්දාට වැඩට යන්නත් තියෙනවා නේද? දෙන්න මම දාන්නම් බේත්"
"නෑ දැන් දාලා ඉවරයි.පුතා ඉන්න මම තේ එකක් හදන් එන්නම්"
තාරක වේදනාවෙන් මිරිකුණු මුහුණ දෙස බලාගෙන ම අසල පුටුවක වාඩි වුනේය.
"දුල්!!!!"
වේදනාව මැදින් ඇය ඇස් බාගෙට හැර බැලුවාය.
"අර මල හරි නේද?"
"මට සමා වෙන්න දුල්........රට පුරා දුර්ලභ මල් හොය හොය ගියාට මට මං ළඟ ම පිපුණ ලෝකෙ වටිනා ම මල පෙනුනෙ නෑ....... ආයෙ මට වෙන මලක් ඕන නෑ.ඔයා......... ඔයා දාලා යන්නෙ නෑ මං"
තාරක තදින් දුල්මිණිගේ අත අල්ලා ගත්තේය.ගල් ඇන්දක ඇනී ඇති වූ ලොකු ම තුවාලයක් ඒ අතේ තිබුණත් පුදුමයටත් නොපැතූ තරම් සතුටටත් පත් වූ දුල්මිණිට එහි වේදනාවක් දැනුනේ නැත.

Comments