විභාගය

 අපේ බොස් ගේ දුව බයෝ වලින් ඒ ලෙවල් කරයි.

බැලූ බැල්මට තියා කීප වරක් කියා බැලුවත් ඒ වාක්‍යයේ කිසි ම විශේෂයක් නැත.ඔව් එහි වැදගත්කම ඇත්තේ අපේ ඔෆිස් එකේ අයට ම පමණි.බොස් ගේ දුව අද ඉස්කෝලෙ ගියා ද අද පන්ති ද එහෙනම් කොහෙද පන්තිය මේවා අපිට ඉතා වැදගත්ය.

බොස් හැමදාම වැඩට එන්නේ දුව ඉස්කෝලෙට ඇරලවාය.පන්ති නැති දවසක් නම් දවල් ගොස් ගෙදරට බස්සවා එයි.පන්ති තිබේ නම් දවල් 12 පමණ වෙද්දී අදාල ගුරුවරයාට කතා කර පන්ති ඇති නැති බව පටන් ගන්නා ඉවර වෙන වෙලාවල් තහවුරු කර ගනියි.දුව ව ඉස්කෝලෙන් රැගෙන පන්තියට ඇරලවා පන්ති පටන් ගන්නා තුරු සිට නැවත එයි.

බොස් කාර්යාලයේ නැති ඒ වෙලාව අයිස් ගහන්නන්ට හොරෙන් පනින්නන්ට ඔෆිස් ෆෝන් එකෙන් මල් කඩන්නන්ට ඉතා වැදගත්ය.ඒ කිසිවක් නැතත් බොස් කාර්යාලයේ  නැතිවීම අමුතු ම සුවදායක බවකි.

දුව ගේ ඉගෙනීම සම්බන්ධයෙන් ඔහුගේ කටයුතු එයින් අවසන් නැත.ඕනෑ වෙලාවක විෂය සමගාමී පොත්, ප්‍රශ්න පත්‍ර පොත් තොගයක් ඔහුගේ වාහනයේ පිරී ඇත.විටෙක වෙනත් පාසල් වලින් ලබා ගත් ප්‍රශ්න පත්‍ර මිටි ගණන් ෆොටෝ කොපි කර ගෙන යයි.

ඒ ළමයට මේ ඔක්කොම කරන්න වෙලාව තියෙනවද අපි කසුකුසු ගාමු.

ඒ ළමයා ගෙදරින් ඉස්කෝලෙට, පන්තියට, ආයෙ ගෙදරට" බොස් ගේ නිවස ආසන්නයේ පදිංචි වරුණ කියයි...සති අන්තෙත් ගෙදරට ගුරුවරු ඇවිත් පන්ති කරනවා.ඒ ලෙවල් කරන්න පටන් ගත්තට පස්සෙ ඔය ලමයා අල්ලපු ගෙදරට වත් ගිහින් නැතුව ඇති"

ඔය ළමය හරි දක්ෂයි උඩරට නැටුම් වලට. කොහෙද බොස් ගෙ හීනෙ දුව දොස්තර කෙනෙක් කරන්න"බොස්ගේ දුව ඉගෙන ගන්නා පාසලට ම යන දියණියක් සිටි කාන්ති කීවාය.

මොන ම හේතුවක් නිසා වත් බොස් නිවාඩු දවසක පිට කෙනෙක් ගෙදරට නොගන්නේ දුවගේ පාඩමට බාධා වන නිසාය.සති අන්තයක කාර්යාලයෙන් යොදා ගන්නා කිසි ම දෙයකට ඒ පවුලෙන් සහභාගි වන්නේ නැත.දුවට පන්ති ඇති දවසට අපට කොතරම් වැදගත් වුවත් හවස් වරුවේ රැස්වීමක් යොදා ගන්නේ ද නැත.ඔහුට යෙදුණ ඉතා වැදගත් රැස්වීමක් පවා දෙවෙනියා ගේ කර පිට දමා ඔහු පන්තිය අසලට ගියේය.

මේ හැසිරීම නොසලකා ඉන්නට හැකි වුවත් ඔහු මග හරින වැඩ, අවසන් මොහොතේ කර පිට වැටෙන හෝ ඔහු දුරකථනයෙන් දැනුම් දෙන දේ කරන්නට පැවරෙන අය සිටියේ මේ ගැන මහත් නොරිස්සුමිනි. සමහර වෙලාවට කොහෙත් ම නොදැන සිටි රාජකාරි පවා අපට ඉටු කරන්නට වූයේ නීත්‍යානුකූල ව ගත් නිවාඩුත් අවලංගු කර ගනිමිනි.

තමන් ගේ දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් කෙතරම් කැප වුවත් ඔහු අනෙක් අයගේ එවන් දේ නොසලකා හැරියේය.දරුවාගේ පාසලේ රැස්වීමකට යන්නට ඔහුගෙන් නිවාඩුවක් අනුමත කර ගැනීම ඉබ්බාගෙන් පිහාටු ගැනීමකි.හවස් වරුවේ ගෙදර කිසිවෙක් නැති නිසා පාසල් ඇරී කුඩා දියණිය එක දවසකට කාර්යාලයට ගෙන්වා ගත් නිලධාරිනියකට ඔහු කඩා පැන්නේ රාජකාරියත් පුද්ගලික ජීවිතයත් පටලා නොගන්නා ලෙස කියමිනි.

විභාගය එළඹුනේය.බොස් ඒ දින ටිකේ දිගට ම නිවාඩු ය.දැන් වත් මේ විකාරය අවසන් වනු ඇතැයි අපි බලා සිටියෙමු.

නමුත් විභාගයෙන් පසු තත්ත්වය තවත් දරුණු විය. බොසා පිස්සුවෙන් මෙන් දින ගණන් නිවාඩු ගන්නටත් වැඩට ආ දා ටත් වරුවෙන් පිට ව යන්නටත් ගත්තේය.වෙනදාටත් වඩා සැර පරුෂ බවක් ද පෙනුනේය.

කෙල්ල දෙවෙනි පාර විභාගෙ කරන්න ක්ලාස් එක්ක යනවද?එහෙම පාඩම් කරලත් බැරි ද මෙඩිසින් යන්න?”අපි කතා වීමු.

දන්නව ද මිස් වැඩක්".කාර්යාලයේ පියන් ලලිත් බොස් නැති දිනෙක දුවගෙන ආවේය.

බොස් ගෙ දුවට පිස්සු හැදිලා!!"

ඈ....කවුද කිව්වෙ?”

මං අහගෙන බොස් ටෙලිෆෝන් එකෙන් දොස්තරලා එක්ක කතා කරනවා.විභාගෙ ලියන්න ගිහින් කලන්තෙ දාලා වැටිලා ද කොහෙද දැන් ඔහේ බලාගෙන ඉන්නවලු.රට පුරා අරන් යනව එක එක දොස්තරල හොයාගෙන"

අනේ පව්"

දෙමාපියන්ගෙ හීන ලමයින්ගෙ ඔළුව උඩ බලෙන් පැටෙව්ව ම පිස්සු නොහැදේයැ"

කාගේ වුණත් දරුවෙක් නිසා අපි හදවතින් ම දුක් වීමු.

විභාග ප්‍රතිඵල ද නිකුත් විය.නමුත් දැන් අපට එහි කිසි ම වැදගත්කමක් නැත.

එදා උදේ තේ එක සමග චොක්ලට් කේක් කෑල්ලක් ද ආවේය.

ආ කාගෙද සුමනා උපන් දිනේ?අපි තේ හදන බෙදන කාන්තාවගෙන් ඇසුවෙමු.

ඇය මොහොතක් නිහඬ ව සිටියාය.

උපන් දිනයක් නෙවේ මිස්.....මගේ පුතා මෙඩිසින් තේරිලා"

වට්....අපි දැනං හිටියෙ නෑනේ සුමනගෙ පුතා මේ පාර විභාගෙ කියල"  රෑ වූ දා ට ඇය කැටුව යන්නට ඔෆිස් එක ළඟට එන නිසා ඇයට පුතෙක් ඇති බවත් ඇය අසනීපයෙන් හිටි දින වල පුළුවන් හැටියට ගෙදර වැඩත් කර පාසල් යන බව ඇය අප හා කඳුළු සලමින් කී නිසා ඔහු ඉතා යහපත් දරුවෙක් ලෙසත් දැන සිටියත් ඉන් එහා දෙයක් අපි නොදත්තෙමු.

කොල්ලගෙ උත්සාහෙම තමා මිස්.මට ඕවා තේරෙනවයැ.මං පුළු පුළුවන් විදියට සල්ලි දුන්නා පන්ති යන්න පොත්පත් ගන්න"සතුටු කඳුළු නිසා ඇගේ කටහඬ ද වෙනස් වී ඇත.

ඔයාට ඕවා නොතේරුණ එකමයි හොඳ සුමනා.කීප දෙනෙක් ම සිතින් සිතූහ.

 

Comments