ගිලිහුනා

 "මම මහ බූරුවෙක් මචං" අමිරු අවුරුදු පහකට පසු තමන් බැලීමට ආ ගගන හමුවේ සිවිලිම දෙස බලාගෙන කීවේය.

ඒ ඇයි අසන්නට ගගනට හිතුණත් ඔහු නිහඬ ව සිටියේය.

"ඉස්සර...මතක ද උඹට....උඹයි මමයි සයුරියි එක දවසෙ ජොබ් එකට ආවේ.අපි තුන් දෙනා  එකටමයි කෑවෙ බිව්වෙ ආවෙ ගියේ. ඔෆිස් එකේ අය නමක් හැදුවා තුන් කට්ටුව කියල. ඒ අය අනාවැකිත් කිව්වා මුල දි ඔහොම වුණාට  පස්සෙ වැඩ වැඩි වෙද්දි මූණ බලන්නවත් වෙලාවක් නැති වෙයිලු.වැඩි සෙනේ දබරෙටලු.අපි දෙන්නගෙන් එක් කෙනෙක් සයුරිට සෙට් වුණාම අනිකාට බිංදුවලු.ඒත් ... එයාලට වැරදුනා.අපේ යාළුකම දවස ගානෙ වැඩි වුණා.එක් කෙනෙක්ට වැඩ වැඩි වුණොත් අනික් දෙන්නාත් ඉඳල ඒ ටික ඉවර කරල තුන් දෙනාම එකට ගියා.කිසි රහසක් අපි අතරෙ තිබුනෙ නෑ.ඒ කාලෙ හරි ලස්සනයි බං....."

"අම්මාගෙ අසනීපෙ නිසා මම ගමට මාරු වෙලා ගියායින් තමා යාළුකම ඈත් වුණේ" ගගන ඔහු නැවතුන පසු කීවේය.

"ඒකෙන් පස්සෙ මමයි සයුයි තවත් ළං වුණා. හුඟක් අය හිතුවෙ අපි දෙන්නාගෙ එෆෙයාර් එකක් තියෙනවා කියල.......උඹ ගිය තැනට ආවෙ අංජානි.ඒ වෙනකල් හිටිය බහුතරයකට වඩා වෙනස්ම ලස්සනක් තිබුණ චරිතයක්.හුඟක් කොල්ලො එයාට ට්‍රයි කළා. මම අංජානි ගැන ඉන්ටරෙස්ටින් බව මුලින් ම කිව්වෙ සයුට.සයු තමයි අංජානිට කිට්ටු වෙලා එයා ඇත්තට ම මොන වගේ කෙනෙක් ද එයා කැමති අකමැති දේවල් මට හොයල දුන්නෙ. ඒ විදියට මමත් වෙනස් වුණා.ඒකෙන් අනිත් අයට වඩා මට අංජානිගෙන් ලකුණු වැටුනා. අන්තිමට මම අංජානිට කැමැත්ත කියල යැව්වෙත් සයු අතේ....මට එයාගෙ ගෙදරින් අහන්න කිව්වා. අංජානි නැවතිලා හිටියෙ අක්කා ගාව.එයා ප්‍රින්සිපල් කෙනෙක්.එයා මොනව අහයිද මම මොනවද දෙන්න ඕන උත්තර සයුයි මමයි ප්‍රැක්ටිස් කළා රෑ තිස්සෙ. කොටින් ම මගෙ ඇඳුම් වල ෆොටෝ බලල එදාට අඳින්න ඕන ඇඳුම තීරණය කළේත් සයු.....කොහොම හරි අක්කාගෙ කැමැත්ත ලැබුණා.අම්මෝ මම මූණ දුන්න අමාරුම ඉන්ටවීව් එක......ගෙවල් වල කැමැත්තෙන් ම පටන් ගත්ත දෙයක් නිසා අපි දෙන්නා ට ලොකු නිදහස් හැඟීමක් දැනුනා.ගෙදරට ඇවිත් කතා කරනවා ඇරෙන්න කොහේවත් යන්න අවසර ලැබුනෙ නම් නෑ.ඒත් වැඩ ඇරිල ගෙදර ගිය වෙලාවෙ ඉඳන් මහ රෑ වෙනකල් ම අපි දෙන්නා හිටියෙ ෆෝන් එකේ.

යාළුවො ඇණුම් පද පවා කියන්න ගත්තා හදිසියකට රෑට කතා කරන්නවත් බෑ එන්ගේජ් කිය කියා.අංජානිගෙන්ම මගෙ ලෝකෙ පිරිල යද්දි මට සයුරි ව මග ඇරුනා. ඒක මට ඒ කාලෙ කොහොමවත් තේරුනේ නෑ.සයූ එව්ව සමහර හදිසි මැසේජ් පවා මම දැක්කෙ පහුවදා උදේ. අන්තිමට සයූ ගෙවල් වලට දුරයි කිය කිය වෙන ජොබ් එකකට යන්න රිසයින් වෙන කල් ඔෆිස් එකේ අනිත් අය වගේම මමත් ඒක දැනගෙන හිටියෙ නෑ....."

අමිරුට නොදැනීම මහා හුස්මක් පිට වුණේය.

"දැන් කොහොමද අංජානිට?"

ගගන මාතෘකාව මාරු කරන අදහසින් ඇසුවේය.

"තව මාස දෙකයි පුතා උපදින්න.අක්කා ගාව ම නැවැත්තුවා මේ ටිකේ.එයා බැන්දට පස්සෙ ඒ පවුලට හරි යන්න ස්ටේටස් මේන්ටේන් කරන්න හිස ගිනි අරන් වගේ වැඩ කරන්න වුණා. යාළුවො හිතවත්තු හැමෝගෙන් ම නිකන් ම ඈත් වුණා.වාහනේ ඇක්සිඩන්ට් වෙලා මෙහෙම ඇඳ උඩට වුණාමයි මට ඒ වැරදි ඔක්කොම තේරෙන්නෙ.කවුරු නැතත් මට උඹයි සයුරියි එක්ක තිබුන යාළුකම පරිස්සම් කර ගන්න තිබුණා.ඒක හරි ම වටිනා දුර්ලභ දෙයක්. මතක ද උඹට ඩෙංගු හැදිලා ඉස්පිරිතාලෙ හිටිය දවස්..."

"හ්ම්.....උඹ ළඟ ඉඳන් පැයෙන් පැයට බලෙන් ම මට වතුර පෙව්වෙ.සයූ කෑම බීම හද හදා ගෙනාවෙ අපි තුන් දෙනාගෙම ඔෆිස් වැඩත් අදින අතරෙ.කාත් කවුරුත් නෑයෙක් ළඟ නැති වෙද්දි එහෙම යාළුවො වාසනාවන්"ගගන ද එය සිහි කළේය.

"අද මගෙ ම වැරදි නිසා මං තනි වෙලා. ...... කමක් නෑ උඹ හරි මාව බලන්න ආව එක ම කොයි තරම් දෙයක් ද?සයුරිගෙ නම්

මූණ බලන්නවත් ලැජ්ජයි මට.කොහේ ඉන්නවද දන්නෙවත් නෑ.ෆෝන් නම්බර්ස් මාරු කරල.මම ගැන කිව්වා නේ.......... කොහොමද උඹේ විස්තර. ආ....කොල්ල කසාදෙකුත් බැන්දද?"

අමිරු ගගනගේ අත දෙස බලමින් කීවේය.

"කවුද මචං වාසනාවන්ති.අපි දන්න කෙනෙක් ද ?"

ගගන යන්තමින් සිනාසී යහළුවා දෙස බැලුවේය.

"හ්ම්......ඔව්.....සයුරි"

 

Comments