උගත් පාඩම්


 "දන්නවද අළුත් ම නිවුස් එක?පෝටා ගිරවිට සෙට් වෙලා"

හැමදාමත් කැම්පස් එකේ ඕනෑ ම අස්සක මුල්ලක උණු උණු නිව්ස් ගෙන එන පත්තරේ එදා කැන්ටිමට ආවෙ ම එහෙම කියාගෙන.

"අනේ පල පල බොරු නොකියා"

"බොරු නෙවෙයි බං අහපං ගින්නා ගෙන්. පෝටා ව නාවල ඊයෙ හොස්ටල් එකේ.අද හවස මල් බකට් එක දෙන්න සෙට් කරල තියෙන්නෙ"

"යකෝ මාරයගෙ එසයින්මන්ට් වලින් කපල් හිච් වෙනව කියල සින්නො කිව්වට මෙහෙම සෙට් වෙයි කියල කවුද හිතුවෙ"

"ඒකනේ බං.ඒව තමයි පින පින.ඔන්න හවස මල් බකට් එකට වරෙල්ලා ඈ"

පත්තරේ හෙවත් රුචිර, කටේ පහසුවට පෝටා වූ ස්පෝටා දමයන්ත,පාඩම් සියල්ල සැනින් කට පාඩම් කරන ගිරවි නොහොත් සවින්යා අපි ඔක්කෝම එක ම බැච් එකේ.

මාරයා කියන්නෙ කුමාර සර්.අපිට උගන්වන ලෙක්චරස්ලාගෙන් ඕන දවාලක නිදිමත නැතුව අහන් ඉන්න පුළුවන් විදියට උගන්වන කෙනෙක්.මෑන් මාරයා වෙන්නෙ 40%ක් වෙන ප්‍රැක්ටිකල් ලකුණු කෙලින් ම අල්ලන්නෙ මහා පතරංග එසයින්මන්ට් එකකින් නිසා. දෙන්නා තුන්දෙනා සෙට් කරල දෙන ගෲප් එසයින්මන්ට් එක කාගෙන්වත් කොපි කරල වත් ඉන්ටර්නෙට් එකෙන් බලාගෙන වත් ගොඩ දානවා බොරු. අනිවාර්යෙන් මුළු සෙමෙස්ටර් එක ම මහන්සි වෙලා බැහැල ම කරන්න ඕන.

මේ සැරේ ගිරවිගෙ ගෲප් එකට සෙට් වුණේ කවදාවත් පිළිවෙලකට ලෙක්චර්ස් වත් නොඑන කොටින් ම ලෙක්චරර් වත් නාඳුනන පෝටායි කිව්වොත් කියන දේ විතරක් කරල ඉන් එහා මෙලෝ දෙයක් නොදන්න ගානට ඉන්න මරුසියායි.හැබැයි එහෙමයි කියල පසුබට වුණේ ගිරවි නෙවේ.මුළු සෙමෙස්ටරයක් ම මහන්සි වෙලා අනිත් කණ්ඩායම් සාමාජිකයො දෙන්නගෙනුත් හොඳට වැඩ අරන් "ඒ" අකුරක් ගන්න තරමට එසයින්මන්ට් එක හදා ගන්න ගිරවිට පුළුවන් වුණා.

ගිරවි යි පෝටායි පෙම්වතුන් වුණේ මේ ගෲප් වර්ක් එකේ අතුරු ප්‍රතිඵලයක් විදියට.අහසයි පොළවයි වගේ ගතිගුණ තිබුණ මේ දෙන්නා ගැන නොයෙක් දෙනා නොයෙක් අනාවැකි කිව්වා.ඒ හැම එකකින් ම කියවුණේ මේකට නං වැඩි ආයුෂ නැති බව.ඒත් පුදුමයි ඒත් ඇත්තයි වගේ කවදාවත් 80% ඇටෙන්ඩන්ස් ළඟින්වත් නොගිය  පෝටා හැමදාම ලෙක්චර්ස් එන්න පටන් ගත්තා. නෝට්ස් ලිවීමයි ලයිබ්‍රි යාමයි පාඩම් කිරීමයි ඇර කැම්පස් ජීවිතේ වෙන කිසි දෙයක් නැති ගානට හිටිය ගිරවි ඩ්‍රාමා,මියුසික්, ස්පෝට්ස් ක්ලබ් වලට බැඳිල ඇක්ටිව්ලි වැඩ කළා.

"ඕං දැක්කද?සමහර කෙල්ලො සීයට සීයක් මැච් වෙන කොල්ලො හොය හොය නාකි වෙද්දි අරුන් දෙන්නා ඉන්න ලස්සන"

කෙල්ලො සීයකගෙන් විතර ඇණ වෙලා ඇණපති සම්මානෙට ඉහලින් ම සුදුසුකම් දිනා ගත්ත එකෙක් එහෙම කියන්නෙ හතර වටේ තව අළුත් කෙල්ලෙක් ඉන්නවද බලන ගමන්.

"කවුද බං පෝටා එක්ක ස්ටේඩියම් එකේ ඉඳන් බයික් එකේ එන පෝනිටේල් එකක් දාපු  කෙල්ල?"

ඒ පැත්තෙ බෝඩිමක නැවතිලා හිටිය ඉස්සි පත්තරේගෙන් ඇහුවෙ ඌ නොදන්න දෙයක් මේ හතර දිග්බාගෙ වෙන්න බැරි නිසා.

ආ.....අමතක වුණානෙ.පෝටා හොඳ මලල ක්‍රීඩකයෙක්.නැෂනල් පූල් එකෙත් ඉන්න. සතියට දවස් තුන හතරක් උදේ ම ප්‍රැක්ටිස් ගිහිල්ලයි කැම්පස් ආවෙ.

"හා පෝ උඹල නං මහ ළිං මැඩියො."පත්තරේ කටත් ඇද කරල කෙල්ලො ටික දිහා බැලුවා.

"...එකට ප්‍රැක්ටිස් කරන කෙල්ලෙක්ට ඉඳහිට ලිෆ්ට් එකක් දුන්න ම මහ ලොකු වරදක් ද?උඹල ඕක පුම්බල ගිරවිගෙ කනේ හෙම තියනවා නෙවේ"

අපිට එහෙම කතා කිව්වට පෝනි කෙල්ලට හැමදාම  ලිෆ්ට් දෙන එක  මදිවට අතරමගදි කූල් බොන්න පේස්ට්‍රි කන්නත් යන බව ආරංචි වෙද්දි මහ ලොකු වරදක් සිද්ධ වෙන බව අපේ කොලු නඩේටත් වැටහුණා.

ඔව් පෝටා ට්‍රැක් පැන්නා.ගිරවි වෙනුවට පෝනියාව තෝරගෙන තිබුණා.වෙච්ච දේ එක්ක සසල නොවුණ බව පෙන්වන්න ගිරවි කොයි තරම් උත්සාහ කළත් වෙනදා බැච් එකේ මුල් පස් දෙනා අතර තිබුණ එයාගෙ රිසල්ට් එක ඊළඟ සෙමෙස්ටරයේ ප්‍රතිඵල වෙද්දි වේගයෙන් පහළ ගිහින් තිබුණා.

ඒත් මේ වෙද්දි බොහෝ දෙනෙක්ට ඒක අමතක වෙලා තිබුනෙ ඉන්ට යුනි මීට් එකෙන් පෝටා අපට දැවැන්ත කීර්තියක් ගෙනත් දුන්න නිසා.ඇට නැති දිව වල් එහෙට මෙහෙට නව නවා සමහරු ඒ වෙන්වීම ලස්සනට සාධාරණීකරනය කළා.

ගිරවි හිටියාටත් වඩා නිහඬ වෙමින් තමන්ගෙ නැති වුණ තැන ලබා ගන්න උත්සාහ කරන අතරෙ පෝටාට ලංකාව නියෝජනය කරමින් පිටරට තරඟාවලියක් යන්න ලැබිලා.විභාගෙ නොලියා බැච් මිස් වෙයි ද හිතමින් ඉන්න අතරෙ නන් ඇකඩමික් ස්ට්‍රයික් එකක් ආවෙ කාගෙ වාසනාවටද මන්දා....

වෙනදාට නම් දැන ගත්ත සැනින් ගෙදර දුවනවා වුණත් මේ සැරේ සබ්ජෙක්ට්ස් වල අමාරුව නිසා අපි බහුතරේ කොහොම හරි නැවතිලා පාඩම් කරන්න තීරණේ කළා.රට යන්න දින ගණන් කරපු පෝටා හදිසියේ ම උණ ගැනිල හොස්පිටල් ගෙනිච්ච බව ආරංචි වුණේ මේ අතරෙ.මොනව වුණත් යාළුවානෙ කියන බැච් ෆිට් එකෙන් අපි හැමෝම ඉස්පිරිතාලෙට රොක් වුණා.අපිට මූණට ම හම්බ වුනේ පෝටාගෙ රූමා ගින්නා. උගෙ මූණ හරි නෑ.

"මොකද බං පෝටාට?"

"අමාරුයි.ඌ කෙඳිරි ගානවා හිරු කිය කියා"

"ඒ කවුද බං හිරු?"

"ගිරවි ගෙ මැද නම නේද ඒ?"ටිකක් කල්පනා කරපු ගොල්ගි ඇහුවා.

"හැබෑමයි.මූට දැන් ද ඒ කෙල්ල මතක් වුනේ."

"එහෙම කියන්න එපා බං.ඌ අමාරුවෙ වැටිච්ච වෙලාවෙ.කෝ දැන් ගිරවි?"

"ස්ට්‍රයික් පටන් ගත්ත ගමන් ගෙදර ගියා. කෝල් කරන්න පුළුවන්.මට නම් බෑ එන්න කියන්න"

ඒත් යාළුවන්ගෙ වදේ වගේ ම පෝටාට අමාරු ම නිසා ගොල්ගි ගිරවිට කෝල් කළා.

ඔව්....ගිරවි ආවා අපි කවුරුත් පුදුම වෙද්දි. හොස්ටල් නැවතිලා උදේ දවල් හවස නොවරදවා පෝටා ව බලන්න
 ගියා.කෑම බීමත් ගිහින් දීලා ළඟට ම වෙලා හිටියා.
"අන්න බලාපල්ලා කෙල්ලො.මල් තියල වඳින්න ඕන"
"දැන් වත් මූට මේ කෙල්ලගෙ අගේ තේරුනොත් හොඳයි.ගියා මහ ලොකු පෝනියෙක් අල්ලන්න.එක දවසක්
 ආව ද මූ ව බලන්න"
අමාරු ම වෙලා හිටිය පෝටා ටික ටික හොඳ තත්වෙට හැරුණා.
"අද දවල් මෙයාගෙ ටිකට් කපයි.....අපරාදෙ මෙහෙ ගෙනාවෙ.බේත තිබිල තියෙන්නෙ ඔයාල ගාවම නෙ"
නර්ස් කෙනෙක් එහෙම කියලා නෝන්ඩි හිනාවක් දැම්මා.හම්මෝ හරි ම සැනසීමක්.
ගිරවි අපිට ඉස්සර වෙලා පඩිපෙල බැහැගෙන පහළට ආවා.ඇත්තට ම ඒ කරපු කැපවීම නම් හිතා ගන්න බෑ.
"ගිරවි ඉන්න.මං ගෙදර වෑන් එක අරන් ආවෙ. පෝටා ට ටිකට් කැපුව ම එයා එක්ක ම යං" ගින්නා දුවන නොදුවන
 ගාණට ගිරවි පස්සෙන් ගියා.
ගිරවි බොහොම සන්සුන් ව හැරිලා බැලුවා.
"මම ගෙදර යන්නෙ ගින්නා.මගෙ ඩියුටිය ඉවරයි නෙ"
"ඩියුටි?"
"මම දමයන්තට සමාව දුන්නා.....ඒ මගේ ම හිතේ සැනසීම වෙනුවෙන්.ඒත් රෑ වැටුණ වලේ දවලුත් වැටෙන්න 
තරම් මම මෝඩ නෑ"
ගිරවි පාර පැනල එහා පැත්තෙ දුර ගමන් සේවා බස්ටෑන්ඩ් එකට යන හැටි අපි බලා හිටියෙ කට උත්තර නැතුව. 

---------Shanika Tennakoon--------

Comments