ජීවිතයට ආදරෙන්

 නදීක සිඩ්නි ගුවන් තොටුපලෙන් ගුවන් යානයට නැගුනේ ආවේස වූ කපුවෙකුගේ විලාසයෙනි.

"අනේ අයියේ සුගාර වෙන ගෑණියෙක් එක්ක නුවරඑළිය පැත්තෙ ගෙයකුත් අරන් පදිංචි වෙලා ලු"

දින තුනකට පෙර කැනඩාවේ සිට එක ම සොයුරිය ස්කයිප් හරහා වැළපුනාය.

"එයා කොහොමද වෙන කසාදයක් බඳින්නෙ? ඔයා ඩිවෝස් එක දුන්නෙ නෑ නේද?"

"මං ඩිවෝස් එක කොහොමවත් දෙන්නෙ නෑ අයියෙ.මෙහෙම අසමජ්ජාති වැඩ කරන්න.මේ දරුවාගෙ නම්බුව ගැන වත් සලකන්න ඕන නේද? මට මේක කොහොම හරි නවත්තල ඕකට හොඳ පාඩමක් උගන්වන්න ඕන"

සුගාරගේත් නදීකගේත් පියවරු ව්‍යාපාර සගයන් ය.සුගාර ගේ අයියා මිගාර නදීකගේ පාසල් මිතුරෙකි.ඒ නිසා පවුල් දෙක අතර බන්ධනය තවත් තහවුරු විය.ක්‍රීඩා ශිෂ්‍ය භට ආදී සෑම ක්‍රියාකාරකමක ම නියැලුන කැපී පෙනෙන ශිෂ්‍යයෙක් වූ මිගාරට පවුලේ ව්‍යාපාර සියල්ල පවරන්නට දෙමාපියන් සැලසුම් සකස් කර තිබුණත් පාසලෙන් අස්වන්නටත් පෙර ඔහු හමුදා පුහුණුවට ඉල්ලුම් කර තිබුණි.ඔහුගේ හිතුවක්කාරකම නවතන්නට කිසිවෙකුටත් නොහැකි වූ තැන සියළු දෙනා හැරුනේ ඉතා නිහඬ අලස චරිතයක් ලෙස පෙනුන සුගාර දෙසටය.

ඔහුගේ කැමැත්ත අකමැත්ත අහන්නේත් නැතිව පවුලේ සියළු ව්‍යාපාර බාර ගන්නට සිදු වුනේය.කරන්නට දෙයක් නැති කමට දෙගිඩියාවෙන් බාර දුන් ව්‍යාපාර ජාලය වුවත් සුගාරගේ හැකියාව පුදුම සහගත විය. ඔහුගේ කැපවීම උත්සාහය නිසා ඒවා දියුණු වූයේ බලා සිටියදීය.ඒ අතර තම පවුල් දෙක අතර මිතුරුකම නෑකමකට පරිවර්තනය කර ගන්නට සිතූ වැඩිහිටියෝ නන්දිතා සුගාර ට විවාහ කරවන්නට සැලසුම් කළහ.

ඇගේ ගති ගුණ හඳුනන නදීක ඇය මිගාරට මිස සුගාරට හොඳ ගැලපීමක් නොවන බව දැන සිටියත් නොගැලපෙන සම්බන්ධයක ස්ථාවර ව සිටි ඔහුගේ වචන කාටවත් වැදගත් නොවීය.ශලනි විවාහ කර ගත් නිසා ඔහුට දෙමාපියෝ කිසි ම දේපලක් නොදුන් නිසා ඔහු රට රැකියාවක් සොයා ආවේය. ඒ නිසා නන්දිතාගේත් සුගාරගේත් විවාහ ජීවිතය ගැන නදීක දැන සිටියේ අවමයෙනි.

නමුත් දෙදෙනා අතර නිතර අඬ දබර ඇති වන බවත් නංගී දරුවා ද රැගෙන කිහිප වරක් නිවසින් පිට ව ගිය බවත් ඔහුට ආරංචි විය.

 දැනුම් තේරුම් ඇති කාලයේ පටන් එකිනෙකා පරයා නැගී සිටින්නට නිරන්තරයෙන් උත්සාහ ගත් මාපියන්ගේ අරගල දකිමින් උස් මහත් වූ ඔවුන් දෙදෙනා ම  සාමය සමගිය පිරුණ පවුලක් වෙනුවෙන් තමාගෙන් ඉටුවිය යුතු කාර්යභාරය දැන නොසිටියේ නේදැයි නදීකට කල්පනා විය.ඒ ශලනිටත් තමා සමග ජීවත් වන්නට නොහැකි යයි දික්කසාදය ඉල්ලා සිටි තැනදීය.අවසානයේ ඔහු ඕස්ට්‍රේලියාවේත් නන්දිතා කැනඩාවේත් ස්ථිර පදිංචියට යැවුනේ තනිකඩයන් ලෙස අසාර්ථක විවාහ ජීවිත මතකයන් කර පින්නාගෙනය.

ලංකාවට ගොඩ බැස්ස නදීක සොයා ගත් විස්තර අනුව සුගාරගේ නිවස සොයා සීතල කඳුකරයට ගියේය.තමන්ගේ රටේ සීතල වදිද්දී ඔහුගේ සිත නිවී සැනසී ගියේය.ලෝ පතල මහා ව්‍යාපාරිකයා කඳුකරයේ කුඩා නිවසක පදිංචි ව සිටියේය.නිවසට පිවිසෙන්නට පෙර කුඩා ශාලාවකි.එතුල කිසිවෙක් ඇති බව හැඟී ඔහු විමසිල්ලෙන් දොරකඩට ආවේය.සුගාර මැටියෙන් තැනූ බඳුන් ගොඩක් මැද ඉඳගෙන එයින් එකක් වර්ණ ගන්වමින් සිටියේය.තවත් විවිධ ප්‍රමාණ වලින් වැඩ අවසන් වූ බඳුන් කීපයක් ද අහල පහල තිබුනි.

සෙවණැල්ලක් වැටීමෙන් හිස එසවූ සුගාර ගේ ඇස් නොසන්සුන් බවක් පෙන්වුවත් ඔහු වෙනසක් නොදන්වා සිනා සී කතා කළේය.

"අයියා කවදද ලංකාවට ආවේ?"

තමන් මේ වෙනුවෙන් ආ බව නොකිව යුතු යයි සිතුනෙන් "ටික දවසක්" කියා  නදීක අනවසරයෙන් ම අසල හිස් පුටුවේ ඉඳ ගත්තේය.

"මොකද මේ හැංගිලා ඉන්නෙ හැමෝගෙන් ම?" ඔහු පළමු ඇනුම් පදය එල්ල කළේය.

"හැංගිලා නෑ අයියෙ.දැනුත් කට්ටියක් ඇවිත් ඕඩර් එකක් දීල ගියේ"

නදීක විමසිල්ලෙන් ඔහුගේ නිර්මාණ දෙස බැලුවේය.ඒවා සැබවින් ම අලංකාර ය.

"ඔයාම ද මේව හදන්නෙ?"

" හදන තැනකින් ගෙන්නගෙන මම පාට කරල දෙනව එක එක්කෙනා ඉල්ලන විදියට"

"හොඳ ඩිමාන්ඩ් එකක් ගන්න පුළුවන් රට යවනව නං"නදීක තුළ සිටි ව්‍යාපාරිකයා අවදි වුණේය.

"මං සල්ලි බලාගෙන කරන දෙයක් නෙවේ මේ.හැමදාම මං ආස කළ දේ"

වැඩිදුර කතා කරන්නට පෙර කාන්තාවකගේ සෙවණැල්ලක් වැටුනේය.

නදීක ඇය දෙස විමසිල්ලෙන් බැලුවේය. අමුත්තෙක් සිටින බව දුටු ඇය අඩියක් පස්සට ගත්තාය.

'සකු එන්න.මේ නන්දිතා ගෙ අයියා.මං ඔයාට කියල තියෙන්නෙ"

ඇය නදීක දෙසට සිනාසීගෙන සුගාර වෙත ආවාය.වතුර වීදුරුවක් හා බෙහෙත් පෙති කීපයක් ඔහු අතට දී බොන තෙක් බලා සිටියාය.

"මහත්තයා දවල් කෑමට ඉන්නවා නේද? එතකල් තේ ගේන්නං"

බලාපොරොත්තු නොවූ ප්‍රශ්නයට නදීකට එක වර පිළිතුරක් සිහි වූයේ නැත. කොහොමත් ඇය නදීක සිතූ තරම් අඟර දඟර කාරියක් හෝ කපටි පෙනුමැත්තියක් නොවීය.

"එකක් නෙවේ මටත් ඕන"සුගාර එතැන තත්ත්වය සමහන් කරද්දී ඇය සුගාර දෙස ආදරණීය බැල්මක් හෙලා ආපසු ගියාය.

නදීක පියවි සිහියට ආවේය.බඩුත් එක්ක හොරු අසු වී ඇති විට තවත් මොන සුහද කතා ද?"

"කවුද ඒ?නෑයෙක් ද යාළුවෙක් ද?" ඔහු එහි පළමු පියවර තබමින් ඇසුවේය.

"ඒ තමයි මගෙ ජීවිතේ අයිතිකාරී"සුගාර මහා සැනසුම් සුසුමක් හෙළමින් කීවේය.

නදීක රවා බැලුවේය.විවාහක බිරිඳත් සහජාත දරුවාත් සිටිය දී ඒ බිරිඳගේ ම සොහොයුරා සමග එවැන්නක් 
කියන්නට තරම් 
හයියක්!! මිට මෙළවුන අත ඔහුගේ මුහුණ හරහා ගෙන යන්නට තරම් ආවේගයක් ආවත් ඔහු තවත් මොහොතක් 
ඉවසුවේය.
"ටික කාලෙකට කලින් ඔෆිස් එකේ දි මාව සිහි නැති වෙලා ඇදගෙන වැටිලා.ස්ටාෆ් එකේ අය හොස්පිටල්
 ගෙනියලා තියෙන්නෙ. ෂුගර්, කොලෙස්ටරෝල්,ප්‍රෙෂර් ඔක්කොම අවදානම් ලෙවල් එකේ.ඒ වෙද්දි ගැස්ට්‍රයිටිස් 
නං තිබුනා උපරිමෙන් ඒකට හරියකට බේත් ගත්තෙ නැහැ.දොස්තරල මට බෙඩ් රෙස්ට් කරන්න කිව්වා.ඒ
 වෙලාවෙ තමා මට මගෙ ගැන හිතන්න වෙලාවක් ආවෙ අවුරුදු ගානකට පස්සෙ......යුතුකම් වගකීම් කියල මගෙ
 කරපිට උහුලන්න බැරි බර පටවපු එක තමා එදා ඉඳන් වුනේ. අනුන්ගෙ සිහින, ඉලක්ක වෙනුවෙන් හැම දවසෙ ම 
පැය විසි හතර ම මහන්සි වුණා. ඒත් මං හොඳින් ද බලන්නවත් කිසි කෙනෙක් හිටියෙ නැහැ ...... ඇයි මම තවත් 
එහෙම අය වෙනුවෙන් ජීවිතේ නාස්ති කරන්නෙ.දැන් වත් මම ආස දෙයක් කරන්න මට ඕන වුණා."
නදීකට යම් වරදකාරී හැඟීමක් දැනුනේය. තමාගේත් දරුවාගේත් සියළු වියදම් බැංකු ගිණුමට බැර වන සේ සකසා
 ගත්තත් නන්දිතා සුගාරට ඉඳහිටවත් අමතන්නේ නැති බවත් වසර ගණනකින් ලංකාවට ආවේ නැති බවත් ඔහු 
දනියි.
"අර ගෑණු ළමයාගෙ ගෙවල් වලින් මේවා දන්නවද?" ඔහු හඬ පහත් කරමින් ඇසුවේය.
"සකුන්තලා ත් මං වගේ.නෑදෑයො සහෝදරයො ඉන්නෙ නමට.නීතියට.එයා දන්නවා මගෙ කිසි ම දේපලක් එයාට
 තියා මටවත් අයිති නැති බව.අපි අතීතයවත් අනාගතයවත් හිතන්නෙ නෑ.අද මේ මොහොත ජීවත් වෙනවා.මං මේ
 හම්බ කරන දේ මේ ගෙදර වත්තෙන් ලැබෙන දේ අපි දෙන්නට හොඳටම ඇති.දැන් තමා අවුරුදු ගානකට පස්සෙ
 මම හැබෑවට ම ජීවත් වෙන්නෙ."
නදීක මහා හුස්මක් හෙලා නැගී සිටියේය.
ඔහුට තමන් ගැන පවා දුකක් දැනුනේය.
"අයියා නැගිට්ටේ?"
"මම යන්නම් මල්ලි.දැන් ම ගියොත් මට අද ම අපේ ලෝයර් මීට් වෙන්න පුළුවන්"
"ඇයි හදිසියේ ම?"
"මං එයාට කියන්නම් නංගිට කතා කරන්න. හැඟීමක් නැති බැඳීමක් අස්සෙ ජීවිතේ විඳවගෙන දඬුවම් වින්ද කල් 
ඇති ඔයා දැන්

Comments