ආදරේ



 නෑයන්ට අනුව චරිත් හිඟන්නෙක් වූ නිසා ලෝචනාගේ විවාහය සිදු වුනේ තරමක හිතුවක්කාරීවය.මේ නිසා චරිත් බසයක් මිල දී ගත් විට තමන්ගේ සමීප නෑයන්ට උජාරුව පෙන්වන්නටත් ඕනෑ කමින් ලෝචනා ඔවුන් වෙනුවෙන් විනෝද චාරිකාවක් සංවිධානය කළාය.

"තව කවුද අම්මෙ අමතක වුණ අය ඉන්නෙ?" ඇය දැනටත් ආසන ගණන ඉක්මවන්නට ආසන්න ලැයිස්තුව දෙස බලමින් ඇසුවාය. "ආ....ඇයි සමරෙ මාමයි නැන්දයි" අම්මාට පෙර නංගී කීවාය. "අපොයි ඒ දෙන්නා නම් නැතත් කමක් නෑ. පොඩි ළමයිත් යනවා නේ ට්‍රිප් එක" අම්මා වහා විරුද්ධ වුණාය. "පොඩි ලමයි යන්නෙ ලොකු අම්මගෙ දූලා දෙන්නා විතරයි.ඒ දෙන්නත් ලබන අවුරුද්දෙ ඕ ලෙවල්.ඇයි සමරෙ මාමලාට මොකක්ද ලමයි එක්ක තියෙන අවුල?" ලෝචනා නොපහන් සිතින් ඇසුවේ තමන්ගේ ප්‍රේමයට අකුල් නොහෙලූ නෑදෑ අතලොස්ස අතර ඒ දෙදෙනා ද සිටි බැවිනි. "ඒ දෙන්නාව ලියා ගන්න.අපට මොන තරම් උදව් කරපු මිනිස්සුද" තාත්තා අම්මාට රවමින් අවසන් තීන්දුව දුන්නේය. චාරිකාව පටන් ගෙන පැයක් දෙකක් යනතුරු සෙල්ෆි ගසමින් ලොකේෂන් ෂෙයා කරමින් සමාජ ජාලා දිගේ ගමන ප්‍රසිද්ධ කරමින් සිටි ලෝචනා පසුපස හැරී බැලුවාය. ඕපදූප නයි මළු දිග හැර මහා කලබලයක් ලෙසින් සද්ද බද්ද කතා ඇසුනු බසය නිහඬය. නෑදෑයන්ගෙන් බහුතරය පාන්දර ම නැගිට්ට නිසා තද නින්දේය.ඒ ඉරියව් දුටුවේ නම් සිදුහත් කුමාරවරු දහ දොළොස් දෙනෙක් ම ගිහි ගෙය හැර යනු ඇත.සිහින් හිකි හිකියක් ඇසුනෙන් ලෝචනා හොඳට ම පිටුපස හැරුනාය. සමරේ මාමාත් නැන්දාත්ය. බොහෝ නෑදෑ ජෝඩු ටියුෂන් පන්තියක මෙන් ගෑණු වෙන ම පිරිමි වෙන ම ඉඳගෙනය.අනෙක් කිහිප දෙනාත් එකට ඉඳගත් හතුරන් සේ දෙපස බලා යද්දී ඒ දෙදෙනා එක ම අසුනේය.නැන්දාගේ අතක් මාමාගේ බාහුවේ එතී ඇත.ඒ දෙදෙනා ගැන අම්මා කිවු දේ මතකයට ආවෙන් ඇය විපරමින් බැලුවාය. මාමා ජනේලයෙන් පේන දර්ශනයක් විස්තර කරමින් නැන්දා දෙස බලයි.ඇය ද හිනා වෙමින් ඉතා උනන්දුවෙන් බලා සිටියි. ලෝචනාට ද සිනා නැගුනේය. ඊට පිටුපස අසුනේ සිටින ලොකු නැන්දාගේත් පොඩි මහම්මාගේත් මුහුණු අබ පුපුරන ගානය.ඒ දෑස් යුගල ඔරලෝසු බට්ටෙක් පරිදි සමරෙ මාමාත් නැන්දාත් අතර දෝලනය වෙති. බසය උදේ කෑමට නතර වුනේය.සියල්ලෝ හිරි අරිමින් ගෙනා මළු ලෙහමින් අවුස්සමින් නැවත කලබලය පටන් ගත්හ. බසයෙන් බැස්සාට පසුත් ගැහැණු පිරිමි සෙල්ලමක් සේය.කාන්තා රංචුවකි.පිරිමි රංචුවකි. "මේහ්....ආ පාං"පුංචි අම්මා පාසලේ පුරුද්දට බාප්පාට හඬ තලයි. "කෝ මේ සම්බෝලෙට ලුණු දැම්මෙ නැද්ද? බලපං බං මේ ගෑණු" ලොකු මාමා ඒ අස්සේ කෑ ගසයි. "ආනේ පුංචි කුඩම්මා පිඟානක් ගෙනාවෙ නැද්ද?ඉන්න අපි කාලා ඉක්මනට පිඟාන දෙන්නං"පවුලේ වැඩිමහල් ම නෑයාට අමතක වීමකි. "නෑ නෑ කුඩම්මා මේ පිඟාන ගන්නකෝ.අපි දෙන්නා මේකෙන් කන්නම්"සමරෙ නැන්දා වහා ඉදිරිපත් ව ඇගේ පිඟාන දුන්නාය.මාමා සමග එක ම පිඟානෙන් කන්නට පටන් ගත්තාය. මෙතෙක් පාඩුවේ සිටි අම්මා ද දෑස් පීරිසි කරගෙන ඒ දෙස බැලුවාය. "සමයං.ලැජ්ජා නැති කම.මේ දෙනෝදාහක් නෑයො මැද්දෙ.මං කිව්වෙ ඔයාට මේ දෙන්නා ඕන නෑ කියල" ලෝචනා පුදුමයෙන් අම්මා දෙස බැලුවාය. "ඒකෙ වරද මොකක්ද අම්මෙ.ඒ දෙන්නා හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්නෙ" "ඒක කවුද නොදන්නෙ.මේ සෙනග මැද ඒක රඟපාන්න ඕනද. මං බලාගෙන බස් එක ඇතුලෙත් කිචි කිචිය. හරියට අද ඊයෙ බැඳපු දෙන්නෙක් වගේ." "ඒ දෙන්නා කාමර ඇතුලෙ කරන දේවල් දෙනෝ දාහක් මැද කළේ නෑනෙ.තමන්ගෙ මිනිහගෙ පිඟානෙ නැතුව අල්ලපු ගෙදර මිනිහගෙ පිඟානෙ කන්නයැ"මේ කතා චරිත්ටත් ඇසෙන බව තේරුණු ලෝචනා තරහින් එතැනින් නැගී සිටියාය. මුළු දවස පුරාම ගමනට වඩා නෑයන්ට පෙනුනේ සමරෙ මාමා වැටෙන්න යන තැන් දෙකක නැන්දාගේ අතින් අල්ලා ගත් හැටිය. ඇය කැමති වෙරළු අච්චාරු මිලට ගත් හැටිය. නැන්දා මාමාට බත් කැවූ හැටිය. ලොකු අම්මා දූලා දෙන්නාගේ අවධානය වෙනතක යොමු කරන්නට මහා උත්සාහයකි. නඩයේ සියළු ගැහැණුන් කුටු කුටු ගාමින් වග පල කියද්දී කට වහගෙන ඉන්නට ම බැරි වූ කඩේ මාමා "ආ සමරේ.....මං හිතුවා අළුත් කසාදයක් බැඳල ද කියල.මේ අපේ නංගි නෙ" සරදමට කීවේය. "දැන් දූලා දීග දෙන වයසෙ නේද නංගියෙ"යුතු අයුතුකම් මතක් කරන්නට තවත් කටක් පණ ආවේය. "ලොකු දුවට කෙනෙක් හොයනවා.පොඩි දූ තාම කැම්පස්නේ"සමරෙ නැන්දා ද ගණනකට නැතිව කීවේය. "දෙමාපියො මෙහෙම හැසිරෙද්දි දූලට මනමාලයො හම්බ වුනොත් තමා පුදුමෙ" කෑමෙන් පසු කට්ටිය ඩෙසර්ට් හොයාගෙන පාටය. "ළමයි ලොකු වුණා ම දෙමාපියො ඉන්න ඕන තරහකාරයො වගේ ද අක්කෙ" මෙතෙක් නිහඬ ව සිටි සමරෙ මාමා කට ඇරියේය. "නෑ ඉතිං......" "අපි දෙන්නා බැන්දෙ ආදරේ කරලා.හැබැයි බැන්දට පස්සෙ කරන්න වැඩ ගොඩක්.රස්සා කළා.බිස්නස් දියුණු කලා.ගෙවල් හැදුවා. වාහන ගත්තා. දරුවන්ව හරියට හදලා සමාජෙට දුන්නා.ඒවා කර කර ඉන්න කොට අපිට ආදරේ කරන්න වෙලාව නැති වුණා.දැන් අපි හුඟක් දුරට නිදහස්.ඉතිං අපි ආයෙ වයස විසි ගණන් වල නවත්තපු තැන ඉඳන් ආදරේ කරනවා.මුකුත් වරදක් තියෙනව ද බැඳපු දෙන්නෙක් ආදරෙන් ඉන්න එක?අපි ටීවී, පත්තර වල මිනීමැරුම්, පැහැරගැනීම්, මංකොල්ලකෑම් රස කර කර බලනවා ළමයිත් ළඟ තියන්.හැබැයි ආදරෙන් ඉන්න දේවල් ළමයිගෙන් හංගනවා.අන්තිමට ළමයි නොමග ගිහින් ලු.කාගෙද වරද?"

Comments