දෑවැද්ද

  


                  වත් පොහොසත් කමින් ගමේ අන් සියළු දෙනා ඉක්මවා ගියත් සිරිමල් ට විවාහයේ දී තමන්ට වඩා වයසින් ඉතා අඩු කොලු කෙල්ලන්ට පවා පරාජය වන්නට සිදු විය.

                    ඊට හේතුව වූයේ සිරිමල්ගේ විවාහයේදී මූලික වුණ කරුණය.සිරිමල්ගේ පියා සෝමදාස මුදලාලි තම එක ම දරුවාගේ විවාහය දුටුවේ ද තවත් ව්‍යාපාරික ගණුදෙනුවක් ලෙස ය. පරම්පරා දෙක තුනකට රැකියාවක් නොකර සුව පහසු ලෙස ජීවත් වන්නට තරම් දේපලක් හිමි ව තිබියදීත් ඔහු සිරිමල්ගේ විවාහයේ දී සලකා බැලුවේ මනමාලියගේ රුව,ගතිගුණ, චරිතය,උගත්කම හෝ වැදගත්කම නොවේ. ඇයගේ වත්පොහොසත් කමය.ඇයට දෑවැද්ද ලෙස ලැබෙන දේවල වටිනාකමය.

                    සිරිමල්ගේ හිත ගිය මනමාලියන් කීප දෙනෙක් පවා මේ නිසා පියාගේ පෙනේරයෙන් හැලී ගියේය.තමන්ගේ හිතු මතේ කසාදයක් කර ගත්තොත් පියාගේ සියළු ධනය තමාට අහිමි වන බව දැන සිටි සිරිමල් අසීරුවෙන් තම කේන්තිය යටපත් කර ගත්තේය. දෑවැද්දේ අගය ඉහළ දැමීම තමන්ගේ වටිනාකම පෙන්වන්නක් ලෙස සිතන්නට ඔහු ද පුරුදු වූයේය.

මේ නිසා හිසේ නර කෙස් එක දෙක මතු වන තුරුත් සිරිමල් මේ වෙන්දේසියේ සැරිසැරුවේය.

වලක් වුවත් කලක් යද්දී ගොඩ වෙයි.සිරිමල්ට ද සිකුරා ලැබුවේය.

                    දුර බැහැර පළාතකින් සෝමදාස මුදලාලිට සෑහීමට පත් විය හැකි මට්ටමේ දෑවැද්දක් සහිත මනමාලියක් තීන්දු වූයේය.මේ බව දැන ගත් සැනින් මුළු ගම ම උනන්දු වූයේ දෑවැද්ද ගැන විස්තරය දැන ගන්නටය.

"බොහොම වැදගත් පවුලක්.එක ම දුව. දෑවැද්දට.මම ම නිසා මිසක් වෙන කෙනෙක් ව වැද්ද ගන්නෙ වත් නෑ ඒ ගෙවල් වලට.. පරම්පරාවෙන් එන වස්තු සම්භාරයක් දුවගෙ බරට බරක් දෙනවා "කඩ මණ්ඩියේ නතර වූ කපු මහතා තමන්ගේ හපන්කම ගැන උදම් ඇනුවේය.

"බරට බරක් මොනව වෙන්න ඇති ද?"

රැස් ව සිටි පිරිස කතා බහ කළහ.

"රත්තරන් බඩු ද?"

"පුහ්...එහෙනං සිටු කුමාරියක්"

"ලී බඩු වෙන්ඩැ.පරම්පරාවෙන් එන ඒවා කියන්නෙ බුරුත,තේක්ක,කළුවර කඳන් පිටින්.රත්තරන් වලට වඩා වටිනවා"

                    මංගල්ලයට මුදලාලි වහ වහා සූදානම් වූයේය. බරට බරක් දෑවැද්ද ගබඩා කිරීමට නිවසට අළුත් කාමර පවා තැනෙව්වේය. ගම් හතකට ම  නොතිබූ තරම් උත්කර්ශවත් උත්සවයක් ලක ලෑස්ති කළේ අළුත් නෑයින්ට උජාරුව පෙන්නන්නටත් එක්කය.දොරකඩ තොරණක් ද ඉදි කළේය.බරට බරක් දෑවැදි ගෙන එන්නේ සුළු පටු නෑයන් නොවේ.මඟුල් පෙරහැර එන පෙරමගට කොලු කුරුට්ටන් පමණක් නොව ගමේ රොයිටර්ලා ද දුව ගියහ.

"මනමාලිගෙ නම් ඒ හැටි ලස්සනක් නෑ."

"ලස්සන කන්න ද බං. සල්ලි කඳක් නේ"

 ගම ම පුළ පුලා සිටියේ මංගල්‍යය අවසන් වන තුරු ය.දෑවැද්දේ වග තුග බලන්නටය.

පහුවදාටත් එළි විය.මුදලාලි ගෙදර පැත්තෙන් හාවක් හූවක් නැත.වෙනදා එළි වෙන්නට පෙර ලෑලි අරින ඔහුගේ කඩයත් නිහඬය.

"මොකක් හරි හෙයියම්මාරුවද්ද?"

"දෑවැද්ද ගෙනාවෙ නෑ වද්ද?"

අවසානයේ ගමේ කුතුහලය දුරු කරන්නට එහි කුස්සියේ අත් උදව්වට යන කුසුමලතා අල්ලා ගත හැකි විය.

"මොනවද කුසුමො ඒ පැත්තෙ තොරතුරු?"

නොමිලේ ම කිරි තේ කෝප්පයකින් සංග්‍රහ ලද කුසුමලතා ට කඩ මණ්ඩියේ අසුනක් ද පිරිනැමුනේය.

"හොඳයි...හොඳයි"ඇය ද තමන් දන්නා දේ ලේසියෙන් දෙන්නට සූදානම් නැත.

"දෑවැද්ද තව ම ගෙනාවෙ නෑ නේද..මගුල් පෙරහැරේ ලොකු වාහන මුකුත් ආවෙත් නෑ නෙව"

"ගෙනාව ගෙනාව."

"ඈ රෑ වෙලා ගෙනාවද එහෙනං.ඇස් වහ කට වහ වදී කියල ද....උඹ දැක්කෙ හෙම නැද්ද බඩු කන්දරාව...."

"තාම අස් කරලවත් නැතුව ඇති.බරට බරක් කියන්නෙ ලේසි පාසු ගොඩක් යෑ"

"පරම්පරාවෙන් උරුම වෙච්චලු නේ.හරි වටිනවා ඇති"

එවර නම් කුසුමාට තේ උගුරත් ඉස්මොල්ලේ ගියේය.

"හොඳටම වටිනවා බං.මනමාලිගෙ බරට බරක් ආච්චිගෙ දෑවැද්දට අරන් ආව ගල් වංගෙඩියයි, ලොකු නැන්දා ගෙනා මිරිස් ගලයි"

 

Comments