විනිශ්චය

 

විනිසුරු ධූරයේ වැඩ බාර ගත් මේනුක වක්වැල්ල ට මුල් ම පත්වීම ලැබී තිබුනේ නඩු රැසක් එක තැන හිර වෙමින් තිබූ උසාවියකටය. දවස් ගණනක් එක දිගට මෙතෙක් කල් දැමූ නඩු විභාග කරමින් ඔහු හෙම්බත් ව සිටියේය. විනිසුරුවරයා උසාවියේ ඉහළ ම පුටුවට වී නිදහසේ ඉඳගෙන සිටිනවා යයි සිතුනත් අන් සියල්ලන් කායිත වාචික වශයෙන් දරන වෙහෙස ඔහු මුළුමනින් ම දරන්නේ මානසිකවය.  වෙහෙස පහසුවෙන් ඉහිල් විය නොහැකි තරම් තදබල ය.

ඔහු තමා ඉදිරියේ ඇති ඊළඟ නඩුව දෙස වෙහෙසකාරී ව බැලුවේය.හොරකමකි.මහ දවල් වෙළඳසලක් කොල්ල කා පළා යද්දී එය වැළැක්වූ එහි හිමිකරුට හා සේවකයෙක්ට පහර දී බරපතල තුවාල කර ඇත.දඬුවම ගැන ඔහු සිතින් කිරා බැලුවේය.

මේනුකට අතීතය සිහි විය.නිවුන් මල්ලිලා ඉපදෙද්දී මේනුක තුන වසරට සමත් වූවා පමණි.ඒ සමග අම්මා බරපතල ලෙස අසනීප වූවාය.ඇය රැකියාවෙන්ද ඉවත් වූවාය. පවුලේ එක ම ආදායම තාත්තාගේ පඩිය පමණක් වී එයින් ද සෑහෙන කොටසක් නිවාස ණය, ගෙදර වැඩට ගෙන එන්නට සිදු වූ කමලාගේ පඩිය හා අම්මාගේ බෙහෙත් සඳහා වැය වෙද්දී මේනුක දුප්පත්කමේ රස මේ යයි විඳින්නට පටන් ගත්තේය. ඉල්ලන ඕනෑ ම දෙයක් ඒ සැනින් ලබමින් සිටි ඔහුට මෙය මරු පහරක් වුවත් ඇත්ත ඇති සැටියේ තේරුම් ගන්නට තරම් ඔහුගේ පුංචි මනස මෝරා තිබුනේය. මේනුකගේ පන්තියේ යහළුවා වී සිටියේ උපුල්ය.ඒ ඔහු සොයා ගත් යහළුවෙක් නොවේ.පන්ති භාර ගුරුතුමිය සොයා දුන් යහළුවාය.පන්තියේ වැඩ කරන සිසුවෙක් හා වැඩ නොකරන සිසුවෙක් එක මේසයේ ඉන්දවීමෙන් සත්පුරුෂ ආශ්‍රය නිසා දුර්වල ශිෂ්‍යයා ද දක්ෂයෙකු වනු ඇතැයි යන අපූරු සංකල්පය අනුව ඇය පන්තියේ සිසුන් වාඩි කෙරෙව්වාය. මෙයින් සත්තිගුම්බලා පුෂ්පක වීම කෙසේ වෙතත් එහි විලෝමය නම් ඇස් පනා පිට ඇත්ත වී තිබුනේය.

උපුල්ගේ පන්තියේ නම එසේ වුවත් ළමයින් ඔහු ඇමතුවේ පොඩි පච්චේ නමිනි.ඔහුගේ පියා පච්ච සුමනේ ලෙස හැඳින්වෙන බව උපුල් කියන්නේ ආඩම්බරයෙනි.උපුල්ටත් ආර්ථික අපහසුතා තිබුණි.එහෙත් ඔහු ඒවා සම්පූර්ණ කර ගත්තේ අපූරුම විදියකිනි.ඔහුට පැන්සලක් නැත්නම් අල්ලපු මේසයේ ළමයාගේ පැන්සල ඩැහැ ගනී.ඒ ළමයා ඊට විරුද්ධ ව කතා කලොත් ගුටි පූජාවකින් සංග්‍රහ ලැබේ. ඒ නඩු විසඳන්නට ගුරුවරියන් තබා විදුහල්පතිතුමා වත් අසමත් වන්නේ පච්ච සුමනේගේ සහචරයන් ගෝලබාලයන්ගේ බලය මුළු පෙදෙස ම ගිල ගෙන ඇති බැවිනි. උපුල් ට මේ ගැන තේරුම් කර දෙන්නට සූදානම් වූ සෑම අවස්ථාවක ම ඔහුට විවිධ තර්ක තිබුණි.

"මට පැන්සලක් නැතුව ලියන්න විදියක් නෑ.එතකොට ටීචර් මට ගහනවා.ඌට පැන්සලක් නැත්නං උංගෙ ගෙදරින් තව අරන් දෙනවා"

"මං ඒ රුපියල් දහය ගත්තා කියල ඌ දන්නෙවත් නෑ.මං දැක්කා උන්ගෙ තාත්තා අද උදෙත් ඌට සල්ලි දුන්නා.ඌට අඩුවක් තේරෙන්නෙ නෑ"

"හහ්...ඕකා මට පාට පෙට්ටිය නොදුන්නෙ අද අළුත් වතුර බෝතලයක් ගෙනාව හින්දා. ඉන්ටවල් එකේ දි මං ඕක හිල් කරනවා"

මේ තර්ක වැරදි බව මේනුකගේ පුංචි මනසට තේරුම් ගියත් උපුල්ට විරුද්ධ වීමෙන් තමන්ට ගුටි කන්නට සිදු නොවන බව දැන සිටියත් වාද කරන්නට තරම් මේනුකට දැනුමක් තිබුනේ නැත.

"නෙළුම් පිපෙන්නෙත් මඩේ.ඒත් මඩ ගෑවිලා නෑ නේද නෙළුම් මලේ.මගෙ පුතා උපුල්ගෙ වැරදි වලට උදව් කරන්නත් එපා. ඔයා ඒ විදියෙ දේවල් කරන්නත් එපා"

අම්මා නිතර මේනුකට කීවාය. නමුත් සුරංග පාට හතරකින් ලිවිය හැකි පෑනක් ගෙන ආ දවසේ නම් මේනුකට අම්මාගේ අවවාද අමතක වන තරම් විය.දෙක වසරෙන් තුන වසරට එද්දී වැඩි ම ලකුණු ගත්තොත් ඔහුටත් පාට පාටින් ලියවෙන පෑනක් ගෙන දෙන්නට තාත්තා පොරොන්දු වූයේය.මේනුක වැඩි ම ලකුණු ගත්තත් ඒ වෙද්දී පවුලේ ආර්ථිකය කඩා වැටී අවසානය. සුරංග වරින් වර පෑනේ පාට මාරු කරමින් පොතේ ලියයි.තරු දමයි.බෝල ඇඳ පාට කරයි.මාතෘකා වලට යටින් ඉරි අඳියි.පොත් පිට කවරයේ පාට පාටින් තම නම ලියයි. මේනුක අමාරුවෙන් මේ සියල්ල බලා සිටියේය.ගෙදර ගියත් පෑන මතකයට එයි.කිසි දෙයක් කරන්නට නොසිතේ.රෑ නින්දට ගියත් හීනෙන් දැක්කේ ද එවන් පෑනක අයිතිකරුවෙක් ව ඉන්නා හැටිය. පසුව දා පාසල් ගොස් සුරංග දෙස කොයි තරම් නොබලා ඉන්නට උත්සාහ කළත් ඇස් කොණින් හෝ පේන්නේ ඒ පෑනය.

සිකුරාදා අවසන් කාලච්ඡේදය සරඹ ය. පිට්ටනියට පැන සිතු සේ නටා සීනුව ගැහුවාටත් පසු පන්තියට දුව ආ පිරිස කඩිමුඩියේ පොත් බෑග රැගෙන පාසල් බස්, වෑන් රථ අල්ලන්නට දිවූහ. නම් ලැයිස්තුවේ පිළිවෙලට හවස පන්තිය අතු ගාන්නට තිබුන නිසා මේනුක පන්තියේ නතර වුණේය. පුටු ටික මේස උඩට නමමින් අතු ගාගෙන යද්දී මේසයක් යටින් කොස්සේ පැටලී යමක් රෝල් වී  ආවේය. මේනුකගේ දෑස් මහත් විය.දූවිලි වලින් වැසී තිබුණත් ඒ සුරංගගේ පාට හතරේ පෑන බව හඳුනා ගන්නට ඔහුට අපහසු නොවීය. වෙනදාටත් එසේ හමු වන පෑන් පැන්සල් මකන කෑලි ගුරු මේසය මතින් තබන නිසා මේ පෑන ද ඔහු අතට ගත්තේය.එහෙත් පෑන අතට ඇලී ඇතුවාක් මෙනි.වට පිට බලා ඔහු සැනෙකින් එය තම බෑගයට දමා ගත්තේය. දඩි බිඩි ගා ඉතිරි ටික උඩින් පල්ලෙන් අතු ගා කුණු ටික මුල්ලට කර පන්තියෙන් පිට වුණේය.

මග දී හමු වුණ හැම දෙනා ම තමන් දෙසත් බෑගය දෙසත් බලන්නාක් මෙනි.වාහන හෝන් ගහන්නේ මෙන්න හොරෙක් අල්ලපල්ලා කියන ලෙසිනි. මේනුක කිසි කෙනෙක් දෙස නොබලා ගෙදර දිව්වේය. වෙනදා ඔහු දැක ඇඟේ එල්ලෙන්නට දුව එන බලු පැටියා ද අද ඔහුගේ බෑගය ඉව කරනවාක් මෙන් දැනුනේය.වත්තේ ගස් වල සිටින කුරුල්ලන් ලේනුන් පවා අද ගයන්නේ වෙනස් ගීයකි. ගෙතුලට ගිය ඔහු හැමදා මෙන් ම මල්ලිලා දෙන්නා වෙත දුව ගියේය.දෙදෙනා ම තද නින්දේය.හොරෙක් වූ අයියා දෙස බැලීමට වත් ඔවුන්ගේ අදහසක් නැතුවා වාගේය. රෑ වෙද්දී තත්ත්වය තවත් අසීරු විය.

සුරංග මොනව කරනව ඇති ද?පෑන නැති බව දන්නවා ඇති.හවස අතු ගාපු කෙනාගෙන් තමා අහන්නෙ.ඉස්කෝලෙ කවුරුවත් මං ඒක ගන්නවා දැක්කද?කියන්න බෑ වත්ත කෙළවරේ මුර මාමා වත් හිටියද දන්නෑ.ගෙදර එද්දි බස් එකට සල්ලි ගන්න බෑග් එක අරිද්දි බස් එකේ අය දකින්න ඇති.එයාල පොලිසියට කියයි.මාව අල්ලන් යයි.ඔහුට හැඬුම් එන්නට වාගේය.

"මොනවද මට මේ හිතෙන්නෙ?මං හොරකම් කළේ නැහැ.බිම වැටිල තිබුන එක ගත්තෙ. මම දැක්කෙ නැත්නම් ඕක වෙන කෙනෙක් ගනී.නැත්නම් අතු ගෑවිලා යයි.ඔහොම ඒව ද උපුල් කරන්නෙ.කිසි ගානක් නැතුව ඉන්නෙ"

හිත හදා ගත් මේනුක තාත්තා පෙනෙන්නට ඇත්දැයි බලා හිමින් ම පෑන අතට ගත්තේය. බිම වැටුණ නිසා යන්තම් සීරී ඇතත් එය වැඩිය පෙනෙන්නේ නැත.ඔහු හිමින් රතු පාට පෑන තෝරා ගත්තේය.පාඩම් පොතක මාතෘකාව යටින් ඉරක් ඇන්දේය. කොළ පාට පෑනට මාරු වූයේය.කරුණු ලෙස ලියා තිබූ සටහනක් දිගේ තරු පේළියක් ඇන්දේය. ලස්සනය. ටිකෙන් ටික ඔහුට අන් සියල්ල අමතක විය. පෑනේ පාට මාරු කරමින් තරු, මල්,ඉරි ඇන්දේය.

"කාගෙද ඔය පෑන පුතා?" මේනුක උඩ විසි වුණේය.

"....මේ......මේ යාළුවෙක්ගෙ"

 "පුතා ඇහින්දද?ඉල්ල ගත්තද?"

 "නෑ..... මේ..... ඔව්.... තාත්තෙ"

තාත්තා මේනුක ළඟට ම විත් හිස අත ගෑවේය. "අපි ආස දේවල් ඕන තරම් තියෙනවා පුතා. ඒව අපි අයිති කර ගන්න ඕන හරි විදියට. තවත් කෙනෙකුට හානි නොකර" තාත්තා ඔහු ව විනිවිද දැක ඇත.

 ".... එයාට තව පෑන් ගොඩක් තියෙනවා. මේක ...මේක එපා කියල බිම දාල තිබුනෙ"

 "පුතාට මල්ලිලා දෙන්නෙක් ම ඉන්නවා.ඒත් එක්කෙනෙක් වත් වැඩියි ද?කවුරු හරි ඉල්ලුවොත් දෙනවද?"

 "නෑ තාත්තෙ"මේනුක සැනෙන් කීවේය.ඒ හා සමග ම තමන්ගේ වරද ඔහුට තේරුම් ගියේය.

ඒ සති අන්තය ඔහු ගෙවා දැම්මේ ගිනි ගොඩක දැවෙමිනි.තාත්තා තමන්ට ගැහුවා නම් බැන්නා නම් මේ තරම් අමාරු නැත. සඳුදා උදේ අන් සියල්ලන්ට ම පෙර පන්තියට ගිය ඔහු ඒ දෛවෝපගත පෑන සුරංගගේ පුටුව උඩින් තැබුවේය.පුදුමාකාර සැහැල්ලුවක් දැනුනේය. තමන්ගේ පුටුව උඩ තිබූ පෑන දුටු සුරංගගේ මූණේ මල් දහසක් පිපුනේය.තමන් කළ වරදේ බරපතලකම හරියටම මේනුකට තේරුනේ එවිටය.එය ම ඔහු ව ජීවිත කාලයට ම හොරකමින් වැළැක්වූවේය.

 "නඩු අංක.....වත්තේ ගෙදරගේ උපුල් පෙරේරා නොහොත් පොඩි පච්චෙ" අළුත් නඩුකාරතුමා නැවත විනිශ්චයාසනයට ඇද වැටුනේ තමන් කියවමින් සිටි නඩුව විභාග කරන්නටය.

Comments