කපුකම


 පිටකොටුවෙන් බසයට නැග ගත් තිදස් ජනේලය අයිනේ අසුනක හරි බරි ගැසුනේ පැය කීපයක් ගත වන ගමනේ හොඳ නින්දක් දමන අදහසිනි.එහෙත් ටිකකින් උරහිසට වැදුන තට්ටුවක් නිසා ඔහු පිටුපස හැරී බැලුවේය.

"තිදස් අයියා නේද?...මම පුබුදු.ජාලිය ගෙ මල්ලි"

පිටුපස අසුනේ සිටි තරුණයෙක් කීවේය.තිදස් ට එක වර ම තම පාසල් සගයාගේ සොහොයුරා හඳුනා ගැනීම අපහසු විය.

"අහ් ..මට අඳුනන්න බැරි වුණා මල්ලි.ඉතිං ඉතිං කොල්ලා දැන් කොළඹ ජොබ් එකක් කරනවද?"

පුබුදු තිදස්ගේ අසුනට ම ආවේ ඔහුගේ නින්ද සිහිනයක් කරමිනි.

"පොඩි ජොබ් එකක් සෙට් වුණා අයියෙ. අවුරුදු දෙකක් විතර වෙනවා.ළඟ දි තමා කොළඹට ආවෙ."

"එහෙනං දැන් කසාදයක් ගැන එහෙම හිතන්න කල් හරි නේද"

"ඒක නං හරි අවුලක් අයියෙ"

"අර මොකෝ?"

"අපේ අයියා බඳින්නෙ නැහැනෙ.අයියා ඉන්දැද්දි මට බඳින්න බැහැනෙ.මගෙ ගෑණු ලමයාගෙ පැත්තෙනුත් මට හෙන ට බර බරේ. වයස යනවලු.අනික එයාගෙ අයියලා දෙන්නෙක් ම ඉන්නවා නංගිගෙන් නිදහසක් වෙලා බඳින්න බලාගෙන"

"අඩෝ ජාලා තාම බැන්දෙ නැද්ද?මොකද ඌ මහණ වෙන්න වත් යන්නද?"

"අනේ මන්දා අයියෙ.බලන බලන මනමාලිගෙ  වරදක් මයි කියන්නෙ"

"උගෙ වෙන හුටපටයක්  තියෙනවද?"

"එහෙමත් නෑ.හැම සති අන්තෙ ම රට පුරා එක එක ගෙවල් වල කෙල්ලො බලන්න ගිහිල්ලා අපිටත් එපා වෙලා ඉන්නෙ"

"මොකද කැමති නොවෙන්නෙ.කේන්දර අවුලක් ද?"

"එක්කො කේන්දර හරි නෑ.ඒක හරි යද්දි කෙල්ල උසයිලු මිටියි ලු මහතලු කෙට්ටු ලු. නැත්නං ජොබ් එක හරි නෑලු.ආයෙ නැත්නං පවුලෙ මොකක් හරි එයාට හරි යන්නැති දෙයක්...."

ගමට යනතුරු මුළු පැය ගාන ම පුබුදු ඒ දුක කියෙව්වේය.අවසානයේ"අයියා වත් බලන්නකෝ අපේ අයියට හරි යන කෙනෙක්" ද කිව්වේය.

"ඔයා කොයිකටත් මට ජාලා ගෙ කේන්දරේ වට්ස්ඇප් කරන්නකො.අපේ ඔෆිස් එකෙත් කීප දෙනෙක් ඉන්නවා මං බලන්නම්"

තිදස් බසයෙන් බසින අතර කීවේය.

-----------------------------------------------------------------------------------

සති දෙකක් ගත වුනේය.තිදස් ගේ කාර්යාලයේ හැඳුනුම් කමක් ඇති පවුලක මනමාලියක් බලන්නට ජාලිය පවුලේ අය සමග ආවේය. කේන්දර සෑහෙන තරමකට ගැලපුණ නිසා බොහෝ දුරට ධනාත්මක අදහසක් කවුරුන් තුළත් ඇති වී තිබුනේය.

 මනාලිය දැක කතා කල ජාලිය ද සෑහීමට පත් ව ඇති බව පෙනුනේය.ජාලිය කැමති වන ඕනෑ ම කෙනෙකුට කැමති වන මානසිකත්වයකින් සිටි ඔහුගේ පවුලේ අය ද සැනසුම් සුසුම් හෙළමින් තිදස්ට පින් දිදී ආපසු ගියහ.

සිතූ පරිදි ම දින දෙකකින් තිදස් බලාපොරොත්තු වූ දුරකථන ඇමතුම ආවේය.

"මචං මම කැමතියි.අම්මලත් කැමති.ඒ අයට අපේ දිහා එන්න දිනයක් දා ගන්න කියමු." ජාලිය ඉතා සතුටින් තිදස් ඇමතුවේය.

"අම්මෝ ඇති යන්තම්.උඹෙන් වචනයක් එන කල් මම එහාට කතා කළෙත් නෑ.හරි මම උඹට නම්බර් එක දෙන්නම්.කතා කර ගනිං"

නමුත් සියල්ල යහපත් ව විසඳුනේ නැත.ජාලිය කැමති වූ එක ම එක මනමාලිය ජාලියට කැමති වූයේ නැත.

"ජාලිය ඇහුවලු රස්සාවෙන් අස් වෙන්න පුළුවන් ද කියල.කොණ්ඩෙ කපන්නෙ නැතුව වවන්න කිව්වලු.මේකප් කලා ම හරි සංකරයි කිව්වලු. ෆොටෝ වල පෙනුන තරම් පෙනුමකුත් නෑලු.වයස පාටයි ලු."ඒ පැත්තෙන් නැගුනේ එවන් අදහස් ගොන්නකි.

නොසිතූ ප්‍රතිචාරයෙන් ජාලිය සම්පූර්ණයෙන් කඩා වැටුනේය.ඔහු තම දැඩි නීති රීති සියල්ල අත් හැර දැමුවේය.අවශ්‍ය නම් මාරුවක් ගෙන ඒ පැත්තට එන්නට පවා කැමැත්ත පල කළේය. නමුත් මනමාලිය තම වචනය වෙනස් නොකළාය.

------------------------------------------------------------------------------------------------------------

මාස කීපයක් ගත වූ දිනෙක කාර්යාලය ඇරී නිවසට ආ තිදස් අතට බිරිඳ මංගල ඇරයුම් පතක් දුන්නාය.

එය ඇර බැලූ තිදස් මහ හඬින් හිනා වුනේය.

"මොකද අනේ" බිරිඳ විපිලිසර ව ඇසුවාය.

"ජාලා බඳිනව කියන්නෙ"

"ඇත්තට.ඇති යන්තම් හරි යන කෙනා හම්බ වෙන්න ඇති"

"මේ ගෑණු ලමයා ගැන මට පුබුදු කිව්වා.කලින් ආව ප්‍රපෝසල් එකක්.මූ දාහක් වැරදි කියල ලු තිබුනෙ"

"එහෙනං මේ බඳින්නෙ.ඔයා ජාලියට බලන්න ගිය කෙල්ලට කොල්ලෙක් ඉන්නවා නේද.මට පියුමාල් කිව්වෙ.මොකක්ද දෙන්නා එක්ක ජාලිය ව අල්ලන් කරපු සෙල්ලම?" ඇට තරවටුවක් සෙයින් ඇසුවාය.

"සෙල්ලමක් නෙවේ නයනි.එදා මං ගෙදර යනකල් පුබුදු කිව්ව විස්තර වලින් මම තේරුම් ගත්තෙ ජාලිය හරි ලොකුකමකින් ඉන්නෙ. එයාගෙ රස්සාව, වත් පොහොසත්කම, හැන්ඩ්සම් කම ගැන.ඒකයි හැම කෙල්ලක් ව ම පොල්කුඩු ගානට දාන්නෙ. එක වතාවක් වත් එයා ප්‍රතික්ෂේප වෙලා නැති නිසා ඒකෙ දරුණු කම දන්නෙ නෑ.....මම පුබුදුගෙන් අහගෙන ඌ හොයන කොලිටි තියෙන කෙල්ලක් හොයද්දි තමා පියුමාල්ගෙ නෑනා ගැන නිවුස් එක ආවෙ. උගෙ කේන්දරේ ගෙන්නගෙන පියුමාල්ගෙ නෑනා උපන් දවසෙ ඒකත් එක්ක ගැලපෙන වෙලාවකට කේන්දරයක් හැදෙව්වා.පුබුදුත් එක්ක ගිහින් ඒ පවුලෙ අයටත් ඇත්ත ම කතාව කියල එයාලව කැමති කර ගත්තා වැඩේට. බලන්න එන දවසෙ ජාලිය කැමති විදියට ඉන්න, කතා කරන්න පොඩ්ඩක් ඒ ලමය ව ට්‍රේන් කර ගත්තා.....අන්තිමට ජාලිය කැමති වුනා.ඒ නංගි අකමැති වුණා කතා වුණ විදියට ම"

"අනේ අනේ....පුදුම කපටි වැඩක් තමා"

"එහෙම කලායින් තමා ජාලියගෙ පුහු මහන්තත්වෙ බැස්සෙ.මාවත් රිජෙක්ට් වෙන්න පුළුවන් නේද කියල තේරුම් ගියේ.100% ගැලපෙන අය නැති බව තේරුනේ......මේ තියෙන්නෙ රිසල්ට් එක"

තිදස් ඇරයුම් පත වනමින් නාන කාමරයට ගියේය.

 

 

 

Comments