මං හොඳයි

 


ළඟක සිට ගෙදර අයට සිදු ව ඇති දේවල් සිතිජට නොතේරේ.

වෙනදා වැඩ ඇරී ගෙදර එන තාත්තා "හප්පේ හරි ම මහන්සියි"කියාගෙන සාලයේ සෝපාවට ඇද වැටෙයි. දැන් වාහනය ගැරේජ් එකට වත් නොදා මිදුලේ ම නවතා ඒ සැනින් ම ගේ පිටිපස්සේ ඇති පරණ බාත්රූම් එකට යයි.ගෙට එන්නේ වරුවක් තිස්සේ නා ඇඳගෙන හිටි ඇඳුම් සියල්ලත් හෝදා වැලට දැමූ පසුය.

අම්මා තාත්තා ගෙන ආ බඩු මලු කුස්සියට ගෙන යද්දී ඒ පස්සෙන් වැටී උදේ ගේන්නට කී දේවල් ගෙනාවාදැයි බලන්නට දැන් සිතිජට තහනම්ය.අම්මාත් නහය කට වහගෙන ග්ලව්ස් දාගෙන එලියට ගන්නා බඩු මලු එක වර ගෙට නොගෙනෙයි.එක්කෝ දවසින් බාගයක් එලියේ තියයි.නැත්නම් තෝර තෝරා වතුර බේසමක ගිල්ලයි.

"ඇයි අම්මේ එහෙම?"

"ඇයි අම්මෙ තාත්තා එලියෙන් නාන්නෙ?"

"ඇයි බඩු හෝදල ගෙට ගන්නෙ?"සිතිජ ප්‍රශ්න පත්‍රයකි.

"එළියෙ හැමතැන ම ලොකු ලෙඩක විසබීජ තියෙනවා පුතා.අපේ ඇඟෙයි අපි ගන්න බඩු වලයි ගෑවෙනවා.හොඳට හේදුවෙ නැත්නං ගේ ඇතුලටත් ඒවා එනවා."

තනූජා ඔහුට තේරුම් ගත හැකි මට්ටමින් කියා දුන්නාය.

"අම්මා ඒක ද නිරෝදානෙ කියන්නෙ?"

සිතිජ ඇය හිතුවාට වඩා දියුණුය.

"හ්ම් හ්ම් ඔය දන්නෙ මගෙ පුතා"

"විරාන් ඔයාට හාල් ගේන්න අමතක වුණා ද? හෙටට විතරයි තියෙන්නෙ"දිනක් රෑ ඇය ඇසුවාය.

"මං ගෙනාවා කිලෝ පහේ එකක්"

"හොඳට මතකද?මම දැක්කෙ නෑනෙ."

"ඒක වෙන්න බෑ.මම ඩිකියෙන් එළියටත් ගත්තා"

"නෑ අනේ තිබුනෙ නෑ.මං බැලුවා හොඳට"

විරාන් පුටුවෙන් නැගිට්ටේය."ඔයා දැකල නෑ.තාම එළියෙ ඇති"

ඔහු ගරාජයට යන්නට අඩිය තිබ්බේය.

"තාත්තා අර සුදු ලොකු බෑග් එක ද හොයන්නෙ?" සෙල්ලම් කරමින් සිටි සිතිජ ඇසුවේය.

"ඔව්..... පුතා දැක්කද?"

"මං ඒක නිරෝදානෙ කලා"

මවත් පියාත් මුහුණෙන් මුහුණ බලා ගත්හ.

"ඒක කෝ පුතේ දැන්?"

"මං හේදුවා..එළියෙ ටැප් එක ළඟ.ඊට පස්සෙ හරි බරයි නෙ.මම තියල ආවා එතනම"

මාපිය දෙදෙනාට මිදුලට දුව ගන්නට ඉස්පාසුවක් නැති විය.සිතිජ ඇත්ත කියා ඇත.පැය ගණනක් වතුරෙන් පෙඟුන හාල් මල්ල දැන් සුදුසු වන්නේ පිටි කරන්නටය.

"අනේ පුතේ මේ වගෙ දේවල් හෝදන්නෙ නෑ.ගොඩක් කල් තියා ගන්න ඕන ඒවනෙ. ඒවා අපි තද අව්වෙ තියනවා.එතකොට ඒවා වල විෂබීජ නැති වෙනවා" දරුවාට නිවැරදි ව කියා නොදීම තමන්ගේ වරද බව මතක් වූ තනූජා නැවත පැහැදිලි කළාය.

"හරි අම්මෙ නීරෝදානෙ නේද?"සිතිජ ද එය තේරුම් ගත් බව පෙන්නුවේය.

දින කීපයක් යන තුරු තනූජා කෙතරම් වැඩ තිබුණත් සිතිජගේ හැම ඉරියව්වක් ම ලුහු බැන්දාය.

"තනූ ඔයා මගෙ ෆෝන් එක දැක්කද?"

වරුවෙන් ගෙදර ආ දවසක නාගෙන රෙදි හෝදා නින්දකුත් නිදාගෙන අවසන් ව විරාන් ඇසුවේය.

"ඔයා එළියෙ ස්ටූල් එක උඩ නේද තිබ්බෙ. ඇයි අරන් තිබ්බෙ නැද්ද?"

"එතන නෑ.මම හැමතැන ම බැලුවා.රිං කළාට රින්ග්ස් යන්නෙත් නෑ"

ඔයාට ඉතිං ඇහේ ඇනුනත් පේනවයැ.තමන්ට ම කියාගනිමින් තනූජා කරමින් සිටි වැඩය අත් හැර ආවාය.එහෙත් ඇයටද එය සොයා ගත නොහැකිය.

 සැකයක් දැනුනෙන් විරාන් සිතිජ මොනවා කරනවා දැයි බැලුවේය."පුතා ඔයා දැක්ක ද තාත්තාගෙ ෆෝන් එක?"

"ආ මං ඒක නිරෝදානේ කළා.තාත්තට අමතක වුණා නෙ."

විරාන්ගේ කටේ කෙළ සිඳී ගියේය.

"කොහෙද පුතේ තිබ්බෙ ඒක?"ඔහු වහා ඇසුවේය.

"අම්මා බඩු ගෙනාව ම අව්වෙ දාන්නෙ ගරාජ් එක ගාව.අන්ත එතන"

විරාන් එක පිම්මෙන් මිදුලට පැන්නේය."වාහනේත් ගරාජ් එකට දැම්මා.රෝදෙට වත් හිටියද දන්නෑ"

වාසනාව එතරම් නරක නැත.ගින්දර මෙන් රත් වී ඕෆ් වුණ ෆෝන් එක වැලි ගොඩේ සීරී පැත්තකට විසි වී ඇත.

"දැන් විසබීජ නෑ නේද තාත්තා?" ඒ අහන දේ ට බනින්නට බැරිය.විරාන්ට කේන්ති ගියේ දරුවාට නිවැරදි ව කියා නොදුන් තනූජා එක්කය.

"ඔව් පුතේ.ඒ වුණාට මේ වගේ වටින දේවල් එහෙම අව්වෙ දාන්නෙ නෑ"

"ඉතිං ඒවයෙ විසබීජ නෙ.අපිට ලෙඩ හැදෙනවා නෙ"

"ඒකට මම බේතක් ගෙනත් තියෙන්නෙ"

සිතිජ සමග ගෙතුලට ගිය ඔහු ටීපෝව මත තිබූ සැනිටයිසර් බෝතලය ගෙන ඒ ගැන ඉතා සරල ව හා පැහැදිලි ව කියා දුන්නේය.

පසුවදා හදිසි රැස්වීමකට සේවය කරන පාසලෙන් එන්නට කියා තිබුනෙන් තනූජා සිතිජ විරාන් සමග නවතා ගියේ එක මොහොතකට දෑස් මානයෙන් එහාට නොයවන මෙන් නැවත නැවත මතක් කරමිනි.

 ඉතා අසීරු පැය කීපයක් සිතිජ සමග ගත කළ විරාන් තනූජා ගෙදර එනු දැක සැනසුම් සුසුමක් හෙලුවේය.

"මගෙ පුතා තාත්තා එක්ක දඟ කළේ නෑ නේද?"

 ඇඳගෙන ගිය ඇඳුම් සියල්ල සෝදා වැලට දමා නාගෙන ගෙට ආ තනූජා සිනා සිසී සිතිජ සොයා ගියාය.

"මොකක්ද මේ හොඳ සුවඳක් එන්නේ?" ඒ සැනින් ඇය විමසිල්ලෙන් ඇසුවාය.

"අම්මගෙ මාලෙ මම නීරෝදානෙ කරනව තාත්තගෙ බේත දාලා...මේ" තනූජාට හුස්ම හිර වුනේය.

සිතිජ මුළු සැනිටයිසර් බෝතලයම ඇගේ රන් මාලයටත් වළලු දෙකටත් ඉසියි.

රත්තරන් වලට ඇල්කොහොල් දැම්ම ම මුකුත් වෙනවද?පිච්චෙනවද? පපුව හිර වෙද්දී තනූජා තනිවම සිතන්නට වූවාය.

"මං හොඳයි නේද අම්මෙ?"

 

 

Comments