සමාදියාමි

 


වරින් වර නොයෙක් තැන් වලින් වෙදකම් කළත් යසවතී මැණිකේ ගේ කොන්දේ අමාරුවේ සැලකිය යුතු තරම් ගුණයක් නොවුනෙන් "අම්මා අපේ ගෙදර නැවතිලා හොඳ ඩොක්ට කෙනෙක් චැනල් කරන්න එන්න"කිවූ කවින්ද පුතාට කීකරු වෙමින් ඇය ඔහුගේ නිවසට ආවාය.

පිළිවෙලට නිසි ලෙස වෙදකම් හෙදකම් සිදු වෙද්දී ඇගේ ගතේ අමාරු පහ ව ගියත් දිනෙන් දින සිතේ අමාරුවක් නම් වැඩෙන්නට විය.

"ලබන සතියෙ පසලොස්වක......කොච්චර ලෙඩ දුක් තිබුණත් එක පෝයකට වත් මම පන්සලට ගිහින් සිල් නොගෙන හිටියෙ නෑ" දිනක් ඒ සිතේ අමාරුව ඇගේ කටින් පිට විය.

 "අම්මාට මෙහෙ පන්සලේ සිල් ගන්න බැරියැ" කවින්ද වහා පිළිතුර ඉදිරිපත් කළේය.

 ඉබ්බා දියට දැම්මා ම ඇන්නෑවේ ලු.යසවතී මැණිකේ පස්වනක් ප්‍රීතියෙන් සිල් සමාදන් වන්නට යන්නට සැරසුණාය. ඇය හා සිල් සමාදන් වන්නට කවින්දගේ ලොකු දුව පෝෂිකාට පැවරුනේය.හුරු පුරුදු දෙයක් නොවුනෙන් පෝෂිකා එවන් උපාසක ආච්චිලා සීයලා සිටි යෙහෙළියන්ගෙන් විස්තර උපදෙස් පතා සිටියාය.

"හාමුදුරුවො සිල් දෙන්නෙ නම් හයාමාරට විතරලු.එ වුණාට පුළුවන් තරම් උදෙන් යන තරමට හොඳයි ලු"

අවසානයේ හිමිදිරි පාන්දර මිණිපිරිය හා මිත්තණිය පන්සලට ඇරලවීමේ රාජකාරිය ද කවින්ද ට පැවරුනේය. පෝෂිකාට තමන් ඇවිත් ඇත්තේ ඉතාමත් පාන්දර බව පෙනුනේය.ධර්ම ශාලාව සම්පූර්ණයෙන් ම වාගේ හිස්ය.ආච්චිගේ කොන්ද කැක්කුමත් සම්පූර්ණයෙන් සුව නැති නිසා ඇයට කොන්ද හේත්තු කර ගත හැකි පරිදි බිත්තියකට ආසන්නයේ ගෙන ගිය අඩුම කුඩුම තබා තෙල්,මල්,හඳුන් කූරු රැගෙන ආච්චි සමග විහාරයට ගියාය. කෙමෙන් හිරු නැග එන අලංකාරය විඳිමින් සිත් සේ වැඳ පුදා දෙදෙනා නැවත ධර්ම ශාලාවට ආහ.ශාලාවේ කිහිප දෙනෙක් සිටිති. ඔවුන් බෑග තැබූ තැන මැදිවියේ කාන්තාවන් දෙදෙනෙකි.පෝෂිකාට දැක පුරුදු මතකයක් යන්තමට ඇති ඔවුන්ට හිතවත් මුහුණක් පෙන්වා එතැනින් ආච්චී සමග ඉඳ ගත්තාය. "ඔය ලමයා අද ද මුලින් ම සිල් ගන්න ආවෙ?" එයින් එක් කාන්තාවක් ඇසුවාය.

"ඔව් නැන්දෙ"

 "ඔතන ඉඳ ගන්නෙ කඩේ මුදලාලිගෙ නෝනා" කාන්තාව නැවත කීවාය. පෝෂිකා වටපිට බැලුවාය.

"අද ඇවිල්ල නෑ නේද?"

 "මුදලාලි හාමිනේ කඩේ ඇරල බුද්ධ පූජාව තියල පළවෙනි ගනුදෙනුවත් කරල එන්නෙ. හැබැයි මෙතන තමා හැමදාම ඉඳ ගන්නෙ" එවර අනෙක් කාන්තාව කීවාය. ආච්චීට එතනම ඉන්නට දී පෝෂිකා නැගිට එහා පැත්තෙන් වාඩි වුණාය.

 "ඊට එහා පැත්තෙ ධනසිරි මහත්තයගෙ නෝනයි ලේලියි දරුවො දෙන්නයි.ඊළඟට සමන්ති නංගියි අම්මයි නැන්දයි...." කාන්තාවෝ දෙන්නා තරඟයට පන්තියේ නාම ලේඛනය කියවන පරිද්දෙන්  කියාගෙන ගියහ. යසවතී පුදුමයෙන් පෝෂිකා දෙස බැලුවාය. පෝෂිකා නොඉවසිල්ලෙන් වටපිට බැලුවාය. ශාලාවේ ඉන්නේ විසි තිස් දෙනෙක් වූවාට බිත්ති අයින් සියල්ලේ ඉඩ බෑග්,කුඩ,වතුර බෝතල් තියා දිගට ම වෙන් කරගෙන ඇත.

 "මට දැන් කොන්දෙ අමාරුව හොඳයි දුවේ ... අපි මේ මැද පේළියකට යමු" තමන්ගේ යෙහෙළියකගේ අම්මා ඉන්න බව  දුටු ඇය වහා ගොස් කතා බහ කර ආච්චි අම්මාට පමණක් යන්තම් ඉඩක් ලබා දුන්නාය. තමන්ගේ බෑගය රැගෙන ශාලාවේ මැද පේළියකට ගියාය.

 හාමුදුරුවන් වැඩම කර සිල් සමාදන් කරවීමට පටන් ගත්තත් පෝෂිකාට දැනෙමින් තිබූ තරහත් නොරිස්සුමත් නිසා සිත එකඟ කර ගාථා කීම අසීරු විය.අනෙක් අය කියන්නක් ම ඔහේ කියා දැමූ ඇය සන්සුන් වෙද්දී අට සිල් වලින් කියවෙමින් තිබුනේ "උච්චාසයනා මහාසයනා වේරමණී සික්ඛා පදං සමාදියාමි"ලෙසය. දොහොත් මුදුන් දී ශාලාවට ම ඇසෙන්නට සිල් පද කියන සෙනඟ දෙස පෝෂිකා හොරැහින් බැලුවාය.

"ආපු අය ව පන්නලා ඇවිල්ලා නැති අයට ආසන වෙන් කරන එක උච්චාසයන මහාසයන ගොඩට අයිති නැද්ද හාමුදුරුවනේ" ඇය සිතින් සිතුවාය.

Comments