work from home

 

"නංගි අදත් වර්ක් ෆ්‍රොම් හෝම් ද?"

"ආ...මේ ඔව් අක්කෙ"

"වාසනාව.ඒකට අපට.රටේ මේ තරම් අවදානමක් තියෙද්දි ත් රස්සාවට යන්න වෙලා"

උදේ පාන්දර මිදුලට ආ මෝඩකම යයි කිත්මිණිට සිතුනේය.ඉස්සරහ ගෙදර අක්කා ඇගේ සැමියා මෝටර් සයිකලය ස්ටාර්ට් කරගෙන එන තුරු කොවිඩ් අනතුර අතරතුර දීත් රැකියාවට යන්නට සිදු වීමේ දුක ගැන කියයි.

" එහෙම යන්නවත් රස්සාව තියෙන එක ම මදි ද?" තමන්ට ම කියා ගනිමින් කිත්මිණි ගේ පැත්තට හැරුනාය.

කොරෝනා ඇගේ අනාගතය ම විනාශ කර හමාරය.භාණ්ඩ ආනයන අපනයන ආයතනයක හොඳ වැටුපක් ලබමින් සිටි ඇයගේ රැකියාව ස්ථිර වන්නට තවත් තිබුනේ මාස දෙකක් පමණි.ස්ථිර වූ වහාම අවුරුදු 20කින් ගෙවෙන්නට ලොකු බැංකු ණයක් ගන්නට ඇය ඉල්ලුම් පත් ද පුරවා තිබුණි.

ඉන්පසු එයින් මිලට ගන්නා ඉඩම, එහි තනන සිහින නිවසේ සැලසුම,එය හදන්නට බාර දෙන ඉදිකිරීම් සමාගම පමණක් නොව ඉතිරි මුදලින් මිලට ගන්නා මෝටර් රථය පවා ඇය තෝරා ගත්තාය.අශේන්ට තමන්ගේ වත් පොහොසත්කම් කිසිත් වැඩක් නැතුවාට ඒවා ගැන හාර හාරා හොයන ඔහුගේ පවුලේ අයට මේ නිවාස,වාහන ඉලක්ක සෑහෙන දුරකට අවසන් වූ පසු නිවසට ඇරයුම් කළ යුත්තේය. නමුත් එක ම එක ඊමේල් එකක් ඇගේ සැලසුම් සියල්ල විනාශ කළේය.

ආයතනයෙන් ආ එයින් කියවුනේ කොරෝනා තත්ත්වය මත ආයතනය අති විශාල මට්ටමින් පාඩු ලබන නිසා මෙතෙක් සේවය ස්ථිර නොකළ සියළු සේවකයන්ගේ සේවය ඉදිරි මාසයේ සිට අත් හිටුවා ඇති බවය. කිත්මිණිගේ හිස කැරකෙන්නට වූයේය.ඇය එක් වර ම එම පණිවිඩය අශේන්ට යැව්වාය. හදිසියක් බව ත් ඊමේල් බලන ලෙසත් ඔහුට මැසේජ් එකක් ද යැව්වාය. මෙවන් අවස්ථාවක ඇයට සැනසිල්ලක් ගෙන දිය හැක්කේ අශේන්ට පමණි.

නමුත් වෙනදාට හැරෙන තැපෑලෙන් පැණි හැලෙන පිළිතුරු එවන අශේන්ගෙන් පිළිතුරු එන්නට පැය කීපයක් ගත වුනේය. ඉන් කියවුනේ ද ඕනෑ ම සාමාන්‍ය කෙනෙකු මෙවන් දෙයකදී පවසන දේය.කිත්මිණි පුදුමයෙන් ඔහුට ඇමතුමක් ගත්තාය. දුරකථනය කාර්යබහුලය.වට්ස්ඇප් මැසේජ් එකක් ලියන්නට ගත්තත් ඔහු ඇය බ්ලොක් කර ඇත.!!! රස්සාව අහිමි වූ සැනින් තමන්ට පරස්තාවත් අහිමි වූ බව තේරුම් ගන්නට ඇයට අමාරු වූයේ නැත.

නැවතත් ඒ අතීතය මතක් වීමෙන් ඇස් වලට දැවිල්ලක් දැනුනෙන් කිත්මිණි ඇසි පිල්ලම් ගසා කාමරයට වැදුනාය.

යකඩ කෑලි දෙකක් එක මත ගානවාක් වැනි ශබ්දයක් නොනවත්වා ඇසෙන්නට වුණේය. ඇය මුහුණ අකුලාගෙන ජනේලයෙන් එළියට මුහුණ දැම්මාය.

"නංගි ඔන් ලයින් වැඩ ද ?ඩිස්ටර්බ් ද?" අල්ලපු ගෙදර අක්කා වැට ළඟ සිට අසයි.

"අපේ දුවට බර්ත්ඩේ එකට වයලින් එකක් හම්බ වුනා.ඒක පුරුදු වෙන්න වෙලාවක් නෑ කිය කිය හිටියෙ.ආං දැන් පටන් අරන්"

කිත්මිණි කිසිත් නොකියා මුහුණ ඇතුළට ඇද ගත්තාය.තව ටික දවසකින් රැකියාව නැති වූ බව හැමටම ආරංචිය ලැබෙනු ඇත.ඒ සමච්චලයට මුහුණ දෙන්නට ඇය නොදනී.

ඇයටත් රැකියාව නිසා කරන්නට වේලාව නැතැයි දුක් වූ දේවල් බොහෝ ඇති බව මතක් විය.

කිත්මිණි බලන්නට ආසාවෙන් සිටි ටීවී සීරීස් එකක් දමා ගත්තාය.නමුත් විනාඩි ගණනක් ගත වෙද්දී ඇයට එය මහා නීරස බව දැනුනේය.පොත් ප්‍රදර්ශනයෙන් මිලට ගත් කියවන්නට වේලාව නොතිබූ පොත් ගොඩෙන් ඉතාමත් ආසා කළ නවකතාවක් තෝරා ගත්තාය.පිටු දෙක තුනකින් එය ද එපා විය.කිත්මිණි පොත විසි කර ඇඳට පැන්නාය.අද දවසත් තවත් එක් උදාසීන මුස්පේන්තු කාලකණ්ණි දවසක් ලෙස ම ගත කරනවාද?හිත හදා ගන්නට අල්මාරිය වත් අස් කළ යුතුය.

රැකියාවට අඳින්නට ගත් ඇඟට වත් දමා නොබැලූ ඇඳුම් ද ඇත.කිත්මිණි දුක දරාගෙන ඇඳුම් සියල්ල ඇඳ උඩට දැම්මාය.අල්මාරියේ ඇඳුම් ගොඩට යට වී සුබ පැතුම් පත් මිටියකි. ඔව් ඉස්සර තිබූ විනෝදාංශයකි. ගෙවත්තේ මල් කොළ වියළා නොයෙක් රූප ලෙස අලවා සුබ පැතුම් පත් සෑදීමට ඇය ඉතාමත් ආශා කළාය.

රැකියාව නිසා යෙදෙන්නට වේලාවක් නැති වුවත් ලස්සන මලක් කොළයක් දුටු විට කඩදාසි අතර තබා පරිස්සමට වියළන පුරුද්ද නම් තාමත් ඇත. ඇය ඒ මල් කොළ ඉවතට ගත්තාය.නිකමට කිහිපයක් එහා මෙහා කර රටාවක් මැව්වාය.දවස් ගණනකින් සිතට සතුටක් දැනුනේය.ඇය ගම් බෝතලයත් කඩදාසිත් රැගෙන මේසයට ඉඳ ගත්තාය.

එතැන් සිට කිත්මිණිට ගතවන දවස් වලට අරුතක් ලැබුනේය.කවදා හෝ රැකියාවක් ලැබෙන තුරු හෝ තිබෙන රැකියාවෙන් ම නැවත අමතන තුරු කරන්නට වැඩක් දැන් ඇත.අමතර වියදමකුත් නැත.එළි පහලියට බහින්නට ඕනෑත් නැත.

දිනක් ඇයට දුකට සැපට හිටි එක ම සහෝදරයා වූ ලොකු අම්මාගේ පුත් සන්දීපගෙන් ඇමතුමක් ආවේය.

කොරෝනා කතා දුක සැප වලින් පසු

"අක්කෙ ඔය පැත්තෙ බුක් ෂොප් ඇරලද?" ඔහු ඇසුවේය.

"මාරයිනෙ. තමුසෙ ඒ සැරේ පොතුත් කියවන්න පටන් ගත්තද?"

"පොත් නෙවේ හලෝ බර්ත්ඩේ කාඩ් එකක් ගන්න."

"මේ හදිසියෙ කාටද කාඩ් යවන්නෙ"

"නිධාන කතා අහන්නෙ නැතුව ගන්න තැනක් කියනවකෝ"

"තාම ඇරල නෑ .ඔය බර්ත්ඩේ එක අයිති කෙනා මේ ලෝකෙ ජීවත් වෙන කෙනෙක් නෙ.එයා දන්නව ඇතිනෙ කොරෝනා නිසා වෙලා තියෙන ප්‍රශ්න"

"ලංකාවට මෙහෙම වුනේ දැන් මාස දෙක තුනක ඉඳන් නෙ බං.එයා මට ප්‍රසන්ට් අරන් තිබුනෙ මාස හයකටත් කලින්"

කිත්මිණිට හිනා යන්නටත් ආවේය.

" ප්‍රසන්ට් එකක් ගන්න බැරි වුණා කියල කාඩ් එකකින් වත් ශේප් වෙන්න තිබුණා.ගාන අවුලක් නෑ. අන්කොමන් හෑන්ඩ් මේඩ් වගේ එකක් හොයා ගත්තොත් ගොඩ"

කිත්මිණි කල්පනා කළාය. "හරි ඔහොම හදන කෙනෙක් මම දන්නවා.මං එයාගෙන් අහන්නම්" තමන්ගේ වැඩක් බව කිව්වොත් ගණන් නොගන්නා බව දන්නා ඇය කීවාය.

 "අනේ බලපං සුදු අක්කේ.අද ම මට සාම්පල් ටිකක් වට්ස්ඇප් කරපං ගානත් එක්ක"

 කිත්මිණි හිතේ සැනසීමට කාඩ් හැදුවාට මිල ගණන් සිතුවේ නැත.ඇය ඒ ගැනත් අවබෝධයක් ලබා ගැනීමට අන්තර්ජාලයේ සැරිසැරුවාය. එවන් කාඩ්,සැරසිලි වල මිල ගණන් දුටු ඇය පුදුම වූවාය.තමන් නොදැනුවත් ව දෑත් අතර රැඳී ඇත්තේ නිධානයකි. ඇය සාධාරණ මිලක් සඳහන් කරමින් තමන් සෑදූ කාඩ් කීපයක ෆොටෝ ඔහුට යැව්වාය. සන්දීප සෑහෙන්නට අගය කරමින් ඉන් එකක් තෝරා එය ගෙනවුත් තියන්නට කීවේය. පහුවදා ම විත් එය රැගෙන ගියේය. දින කීපයකින් ඔහු ඇයට කතා කළේය.

"ඕයි අක්කෙ.අර කාඩ් හදන්නෙ කවුද හලෝ. ඒකට මාර ඩිමාන්ඩ් නෙ.අරයගෙ යාළුවො ඔක්කොටම ඕන ලු.ඒ කෙනාට ෆේස්බුක් පේජ් එකක් පටන් ගන්න කියනවකො"

ඒ නම් හොඳ අදහසක් බව කිත්මිණි කල්පනා කළාය.ඇය අත්හදා බලන්නට ෆේස්බුක් පේජ් එකක් පටන් ගනිමින් මෙතෙක් සෑදූ කාඩ් කීපයක ඡායාරූප එකතු කළාය. හෙමින් නමුත් ස්ථිර පදනමක් සහිත ව විනෝදාංශය ආදායමක් බවට පත් වන ලකුණු පෙනී යද්දී දුරකථනයට ද විවේකයක් නැති විය.සමහර විටක ඉල්ලුමට සැපයුම ලබා දීම ද අපහසු විය. තවත් එක් ඇමතුමකට උත්තර දීමට ඇය දුරකථනය අතට ගත්තාය.

 "හෙලෝ කිත්මිණි නේද?"

"ආ කවුද මේ?" "මං මහාරා.....ඔෆිස් එකේ" ඒ ආයතනයෙන් කිත්මිණි ගේ ම ඉරණම අත් වූ තරුණියකි.

"ආ.....කියන්න මහාරා"

 "අපි කම්පැනි එකට විරුද්ධ ව නඩු දාන්න යන්නෙ.අපිට ජොබ් එක නැති කළාට.ඔයාගෙ නමත් දාන්නම්"

 "ආ....මට දැන් ඕක ලැබුණත් යන්න වෙන්නෙ නෑ මහාරා"

"ඔයාට ජොබ් එකක් හම්බ වුණාද?" ඇගේ කට හඬේ පුදුමයකට වඩා දෙයක් තිබුනේය.

 "නෑ මං මගේ දෙයක් පටන් ගත්තා"....සමහර විට ඔයාලටත් ඒකෙ ජොබ් දෙන්න පුළුවන් වෙයි අනාගතේ....ඇය අවසන් ටික විසන්ධි කළ දුරකථනයට කියා දැම්මාය.

--------------Shanika Tennakoon-------

Comments