පිරිමි හිත හා ගැහැණු හිත

 

                    චලනත් හංසිකාත් විවාහ වෙද්දී දෙවන මනමාලයන් හා මනමාලියන් වූයේ ඔවුන්ගේ මිතුරු හවුලේ තවත් පෙම්වතුන් යුවළ දෙකක් වූ සංකේත් හා පමුදිකා ත් සුපුන් හා තාරුනීත් ය.විවාහයෙන් පසු පදිංචිය වෙනස් වී අළුත් වගකීම් සමග කාර්යබහුල වූවත් පළමු විවාහ සංවත්සරය දා අනිවාර්යයෙන් ඔවුන්ට ඇරයුම් කරන්නට ඔවුහු වග බලා ගත්හ.

සංවත්සර සාදය පැවති සිකුරාදාට පහුවදා සංකේත් සුපුන්ට දුරකථනයෙන් ඇමතුවේය.

"අඩෝ සුපුනා උඹට සනීප නැද්ද බං?"

"අර මොකෝ උඹ එහෙම ඇහුවෙ.මං හොඳින්"

"මොකද යකෝ එහෙනං ඊයෙ චලනයගෙ ඇනිවසරි පාටියට ආවෙ නැත්තෙ?"

"ඇහ්...මළා ඒක ඊයෙ ද බං.මට මතක තිබුනෙ ලබන මාසෙ වගේ.අඩේ ඌ මාව ඇහුවද බ‍ං?"

"අහන්නෙ නැතුව.බෙස්මන් නැතුව කොච්චර අඩුවක් ද?උඹට තාරුනී වත් මතක් කලේ නැද්ද?"

"එයා නං දවස් ගානක ඉඳන් මොකක්ද පාටියක් ගැනයි ඒකට අඳින්න ඕන එව්වයි ගැන කං කෙඳිරි  ගගා හිටියා.මං වැඩිය ගණං ගත්තෙ නෑ හැමදාම මොකක් හරි නිසා.ඉතිං කොහොමද පාටිය.සෙට් එක ම බහින්නැති නේද?"

"ආයෙත් අහල.උඹ විතරයි අඩු වෙලා හිටියෙ. අඩු ගානෙ උඹෙ නහය වත් දෑවෙ නැද්ද අපි බැනපුවට"

"අපරාදෙ බං.කොහෙද අපේ බොසා අළුත් ප්‍රොජෙක්ට් එක මගෙ ඇඟේ ගහල.ඒකෙ වැඩ නිසා මට ඔළුව පිස්සු වැටිල ඉන්නෙ.අහ් මේ තාරුනී ඇවිත් හිටියද?"

"ආ.....ඒක නං මතක නෑ බං.දන්නවනෙ අපේ ගැන්සිය සෙට් වුණාම.මම පමුදිගෙන් අහල කියන්නම්."

"නෑ ඕන නෑ.එයා යන්නැති අනිවා.මට ඊයෙ හවස ඉඳන් කෝල් මැසේජ් මුකුත්නෑ.ඒ කියන්නෙ යාළුවො ටික හොඳට කයිය සෙට් වෙන්න ඇති"

"අහ්...කෙල්ලොනේ.... දන්නවනෙ ඉතිං"

"හම්මෝ එයා සයිලන්ස් නිසා මම සැනසිල්ලෙ ලබන සඳුදා දෙන්න තියෙන progress report එකයි presentation එකයි දෙක ම ඊයෙ රෑ ඉවර කර ගත්තා.රෑ එකයි නිදා ගනිද්දි."

"යකෝ රිපෝට් කිව්වමයි මතක් වුණේ.මටත් දෙන්න තියෙනවා ලබන සතියෙ මාකටින් රිපෝට් දෙකක් ම.අද වත් හදන්න ගන්න ඕන ඒක.එහෙනං තියන්නං මචං".

"හරි හරි මචං.මං එන්නං ඒ පැත්තෙ උඹෙන් පාටියෙ විස්තර අහ ගන්න.බායි"

                    සුපුන් සැනසුම් සුසුමක් හෙළුවේය.චලනයට කතා කරල සොරි කියන්න ඕන.තාරු නං ඔරොප්පු වෙලා ත් ඇති ආවෙ නැති එකට. හොඳ වෙලාවට ඊයෙ නිදා ගන්න කලින් ෆේස්බුක් එකෙන් කොපි කරපු කවියක් එක්ක ගුඩ් මෝනිං මැසේජ් එකක් දැම්මෙ.ඊයෙ හොයා ගත්ත ඕපදූප ටික දවස් ගානක් කියවයි දැන්.ඒක නම් ඇහුන්නැති ගානට හූමිටි තිය තිය ඉන්න බැරියැ.ඊයෙ ඩිස්ටර්බ් නොකළ එක ම මදැයි මගෙ වැඩ ටික කර ගන්න.

මේ අතර පමුදිකා තාරුනී ව ඇමතුවාය.

"හායි තාරු ඇයි ඊයෙ ආවෙ නැත්තෙ?"

"අනේ බලන්න පමුදි මේ සුපුන් කරන ඒවා"

"ඇයි එයා එන්න බෑ කිව්වද?"

"හංසි මට පාටිය කිව්ව දවසෙ ම මම එයාට දවස වෙන් කරල තියා ගන්න කිව්වා. ෆෝන් එකට රිමයින්ඩර් එකකුත් දාල දුන්න."

"ඉතිං"

"අපි දෙන්නා එක පාටින් අඳින්න ඕන නිසා එයාගෙ අළුතින් ගත්ත පාටි වෙයා ශර්ට් එකට මැච් වෙන්න ගවුමකුත් ගත්තා.පෙරේදාත් මම කිව්වා හවස නිවාඩු දාල මාව ගන්න එන්න කියල"

"මොකද කිව්වෙ?"

"මොකක්ද සයිට් එකක් බලන්න යන්න ඕන ඒකෙ වැඩ ටික ඔක්කොම මෙයාට බාර දීල තියෙන්නෙ කිය කිය හිටියා.ඒක විතරමයි සිහිය තිබුනෙ. ඊයෙත් එහෙ යන්න තිබුනලු. මම දවල් ඉඳන් ඇඳගෙන සැලුන් එකේ බලාගෙන ඉඳල ඉඳල බැරිම තැන බෝඩිමට ගියා.කෝල් වලට ආන්සර් කරන්නෙත් නෑ"

"මාර මනුස්සයෙක් නෙ බං"

"මම හවස ෆෝන් එක ඕෆ් කළා එයාට මට්ටු වෙන්න. කෝල් ගන්නැති සෑහෙන්න.මට ඇලර්ට් වැඩ නෑනෙ ෆෝන් එකේ.බලන්නැති මොකද සද්ද නැත්තෙ කියල"

"තේරෙන්න ඇති උඹට හොඳට ම තරහ ගිහින් බව"

"ෂුවර්...උදේ ෆෝන් එක ඔන් කරද්දි මෙන්න එනවා රෑ එකයි ගානකට දැම්ම පැණි බේරෙන ගුඩ් මෝනිං මැසේජ් එකක්"

"වාව්....එහෙනං මෑන්ට ඔයා කතා නොකර හිටි අඩුව හොඳට වදින්න ඇති"

"ඔව් ඔව් වෙනදා නමය වෙද්දි නිදිමත එනවා එයාට.ඊයෙ එච්චර වෙලා බලා ඉන්න ඇති මගෙන් මැසේජ් එකක් වත් එනකල්.පව් අප්පා.දැන් තේරිලා ඇති කෙරුව වරදෙ තරම"

 

Comments