තීරණය

  පුතා රැගත් පාසල් වෑන් රථය නොපෙනී යන තුරු බලා සිටි නදුනි සුසුමක් හෙලා ගෙතුලට ආවාය.

සමහරුන් කියන පරිදි මේ සියල්ලටම මුල තමන්ගේ හිතුවක්කාරකමද? ඇය කල්පනා කළාය.

නදුනිගේ පියා මෙලොව හැර යද්දී ඇය පාසල් ගමන ඇරඹුවා පමණි.පාසල් වයසේ දියණියන් තිදෙනෙක්ගේ බර සමග තනි වූ අම්මා තමන්ගේ චරිතයත් රැක ගෙන ඔවුන් බලා හදා ගැනීමට මහත් වෙහෙසක් දැරුවාය.දැරියන් තරුණියන් වෙද්දී ඒ බර වැඩි මිසක් අඩු නොවුණේය.ඒ නිසා අක්කලා දෙදෙනා ම පාසලෙන් සමු ගත් සැනින් ම වාගේ යෝජනා වලින් විවාහ කර දුන්නේය.

නදුනිගේ සිහිනය ඊට වඩා වෙනස් විය.ඇයට නම් අක්කලා මෙන් පාසලෙන් කෙලින් ම කුල ගෙයට පා තැබීමට කෙහෙත් ම ඕනෑ නොවීය.ඇයට ඕනෑ වූයේ හොඳින් ඉගෙන ගෙන රැකියාවක් කිරීමටය.

"අපිත් උදව් කරන්නම් අම්මෙ.නංගි කැමති නම් තව ඉගෙන ගත්තාවෙ" මංගල යෝජනා ගෙන එනවාට ඇය තරයේ විරුද්ධ වෙද්දී අක්කලා ඇය වෙනුවෙන් පෙනී සිටි නිසා අම්මා ද නිහඬ වූවාය.

ඒ අවසරයෙන් නදුනි තමන් ආශා කළ ක්ෂේත්‍රයකින් ඉහළට පාඨමාලා හැදෑරුවාය. තරඟ විභාගයකට මුහුණ දී ඒ අංශයෙන් රජයේ රැකියාවක් ද ලබා ගත්තාය.

නව රැකියා ස්ථානයට නිවසේ සිට තිබුනේ පැව බාගයක පමණ දුරකි.ඒ නිසා අන් අයට වඩා කළින් එන්නටත් පසු වී යන්නටත් හැකියාව තිබුනෙන් කාර්යාලයේ බොහෝ වැඩ ඇය මත පැටවීම සාමාන්‍ය දෙයක් විය.

තනුජ ඒ කාර්යාලයට මාරු වී එන තුරු ඇය ගත කළේ ඉතා කාර්යබහුල රාජකාරි දිවියකි. පළමු පත්වීම ඈත දුෂ්කර ක ගත කර තිබූ ඔහුට මේ කාර්යාලයේ සිටත් නිවසට පැය දෙකක පමණ දුරක් තිබුණත් කලින් සේවා ස්ථානයට තිබූ දුරත් මෝටර් සයිකලයක හිමිකරුවෙක් වීමත් නිසා එය නොසලකා හැරිය හැකි දෙයක් විය.

නදුනි එතෙක් තනි ව ඉටු කළ කාර්යයන් වලින් සෑහෙන කොටසක් ඔහුට පැවරීම නිසා නදුනිට මඳ නිදහසක් ලැබුණ අතර ඒ රාජකාරි ගැන තනුජට කියා දෙන්නට සිදුවීමෙන් දෙදෙනා අතර හිතවත්කමක් ද නිරායාසයෙන් ගොඩ නැගුනේය.ප්‍රමාද වූ දින වල තනුජ ඇය නිවස ආසන්නයට ඇරලවන්නට පවා ඉදිරිපත් වූයේය.

පවුලට අළුතෙන් සම්බන්ධ වූ ව්‍යාපාරික දෙමස්සිනාලා කොයි තරම් හොඳ අය වූවත් කවදාවත් ව්‍යාපාරිකයෙක් හා විවාහ නොවන්නට තීරණය කර සිටි නදුනි තනුජගෙන් ලද යෝජනාවට කැමැත්ත දුන්නාය.එයට විරුද්ධ වන්නට හේතුවක් ද  නොවූයෙන් විවාහය ඉක්මනින් ම සිදු විය. විවාහයෙන් පසු දෙදෙනා නදුනිගේ නිවසේ නවාතැන් ගත්හ.එය කීප පැත්තකින් ම සහනයක් විය.

නමුත් මාස ගණනක් ගත වෙද්දී තනුජගේ අම්මා අඬා දොඩාගෙන ආවාය.

" අනේ පුතේ නංගි ගෙ පස්සෙ රස්තියාදු කාරයෙක් කැරකෙන්න පටන් අරන්.මල්ලිලා දෙන්නම පොතක් අතින් අල්ලන්නෙ නෑ. මමයි තාත්තයි දැන් වයසයි උන්ව ආණ්ඩු මට්ටු කරන්න බෑ"

තමන්ගේ පහසුවට වඩා වැඩිමල් පුතා ලෙස ඉටු කළ යුතු යුතුකම් වැදගත් වූයෙන් තනුජ ගැබිණි බිරිඳ ද සමග තම නිවසට ආවේය.කාලය ගත වී දෙදෙනා පුතෙකුට හිමිකම් කීහ.

"මේ පාර මාරු මණ්ඩලේ ලොක්කා අබේරත්න සර් ලු.ලේසි වෙන එකක් නෑ"

දිනක් කාර්යාලයේ කතාවක් ඇදුනේය.

"අනේ හොඳයි.අවුරුදු 10-15 එක ම තැන පැල් බැඳ ගත්ත පෙරේත කුම්භාණ්ඩ ගෙවලයො ටිකත් කොහාට හරි දූරිම්භූත වෙයි එහෙනම්"

වාර්ෂික ස්ථාන මාරු මණ්ඩලය රැස් වූහ. සාකච්ඡා කළහ.තීරණ ගත්හ.මාරු කළහ.නමුත් අවුරුදු ගණන් එක ම කාර්යාලයේ වැඩ කළ අය නොවේ.යන්තම් වසර පහමාරක් සම්පූර්ණ කර තිබූ නදුනිවය.නදුනිට වැහි නැති අකුණක හැඟීම දැනුනේය. දන්නා හැම තැනටම දරුවාගේ උප්පැන්න සහතිකය පවා අමුණා අභියාචනා කළාය.හමු වන්නට කී ඉහළ නිලධාරීන් ගේ කාර්යාල ඉදිරියේ දවස් ගණන් කල් මැරුවාය.යහපත් පිළිතුරක් ලැබුනේ නැත.

"පළවෙනි පත්වීම ම ළඟ තැනකට ඉල්ල ගත්තම ඕක තමා වෙන්නෙ.මම ඒකනේ කොච්චර අමාරුවෙන් හරි දුෂ්කර අවුරුදු පහ ඉවර කරල ආවෙ"

මුල දී මාරුව හදා ගන්නට ඇයට උපකාර කළත් පහු වෙද්දී ඒ උනන්දුව සම්පූර්ණයෙන් අත් හළ තනුජ කීවේය.

"තමන්ට ළඟ ම සේවා ස්ථානයක් ලැබුනේ ඉහළ ම ලකුණකින් තරඟ විභාගය සමත් වූ නිසා බවත් දුෂ්කර ලැබුනේ ලැයිස්තුවේ අන්තිම අයට බවත් දැන සිටියත් නදුනි නිහඬ ව සිටියාය.

"දැන් කරන්න තියෙන්නෙ දෙපැත්තට ම අතරමැද තැනකින් ගෙයක් ගන්න ඔයාට වැඩිපුර ළඟ වෙන්න.තනුජට උදේ හවස බයික් එකේ යන්න එන්න පුළුවන් නෙ."යෙහෙළියෝ උපදෙස් දුන්හ.

"පිස්සුද?යසට තියෙයි මම ගෙදරින් ගියොත්. දැක්කනෙ අර මාස ගානෙ වෙච්ච දේවල්" තනුජ එක සැනින් කීවේය.

"හරි මම අපේ අම්මාට එන්න කියන්නම්.ඒත් අම්මට බබා බලා ගන්න බෑ.නංගි වත් එක්ක යන්නම්"

"අපෝ ඒ පොඩි කෙල්ලට මොනව තේරෙනවටද?ඔයාට යන්නම ඕන නම් පඩියට කෙනෙක් ගන්න වෙයි."

තමන්ගේ අක්කලා දෙදෙනා ම ඒ වයස වෙද්දී තමන්ගේ ම දරුවන් සිටි බවත් ඔවුන් සැමියන්ගේ ව්‍යාපාර වගකීම් පවා අතට ගෙන තිබූ බවත් නදුනිට සිහි විය.

අවසානයේ ඇය තීරණයක් ගත්තාය."මම ජොබ් එකෙන් අස් වෙනවා"

"ඒ මොන අපරාධයක් ද?"කාර්යාලයේ හිතවත්තු විරුද්ධ වූහ.

"අනිවාර්යෙන් ඇනෙක්ස් එකක් අරන් නවතින්න ඕන.අපේ අම්මට පුතා බලා ගන්න බෑ තනියෙන්.ඒකට කෙනෙක් ගන්න ඕන.ඊට පස්සෙ කන්න බොන්න බේත් ගමන් වියදම්.... පඩිය ඔක්කොම ඉවර වෙලා ණයත් වෙන්න වෙයි.ඊට හොඳයි මම ගෙදර නවතින එක"

ඉතා මහන්සියෙන් ලබාගෙන ආශාවෙන් කළ රැකියාවෙන් ඉවත් වීම මහා දුකක් වුවත්......

"නංගි ජොබ් එකෙන් අයින් වෙන්න හිතුවෙ මේ වෙලාවෙ මූණ දෙන්න තියෙන තත්ත්වෙ නිසා නේද?" ඇගේ
 විසඳුම දැන ගත් ලොකු අක්කා ඇසුවාය.
"මට වෙන විසඳුමක් තියෙනවද අක්කෙ?" ඇය හැඬුම්බර ව ඇසුවාය.
"ප්‍රශ්නයක් මතු වුණා ම අයියගෙ තියරිය දන්නවද?" ලොකු අක්කා සැමියා ගැන කීවාය.
නදුනි හිස් බැල්මෙන් බලා සිටියාය.
"එයා කියන්නෙ අද තියෙන තත්ත්වෙ ගැන බලල තීරණයක් ගන්න හදිසි නොවී තව අවුරුදු පහකින් තියෙන
 තත්ත්වෙ හිතන්නලු"
"ඒ කියන්නෙ?"
"මේ වෙලාවෙ ඔයාට පුතා ව අරන් දුරකට යන්න අමාරුයි.බබා බලා ගන්න කෙනෙක් නෑ.සර්වන්ට් කෙනෙක් 
ලොකු ගානක් ගන්නවා.තනුජට ගෙදර වගකීම් දාල එන්න බෑ.හැබැයි තව අවුරුදු 5ක් යද්දි මේ තත්වෙ 
කොහොම වෙයි ද?" නදුනිගෙන් පිළිතුරක් නැති නිසා අක්කා ම කතා කළාය.
"තව අවුරුදු පහකින් පුතා ඉස්කෝලෙ යන්න පටන් අරන්.පොත් පත්, ඇඳුම්, සපත්තු, ගමන් වියදම්, පන්ති ගාස්තු
.... අධ්‍යාපනේ වෙනුවෙන් වියදම් පටන් ගත්තා විතරයි.... තනුජගෙ නංගියි මල්ලිලායි කසාද බඳීවි එක්කො 
ඉහළට ඉගෙන ගනීවි. වැඩිමලා විදියට ඒ වියදම් ටිකක් හරි තනුජට දරන්න වෙයි.ඊළඟට මහ ගෙදර එයාල කාට
 හරි දෙන්න වුනොත් ඔයාල ගෙයක් හදා ගන්න ඕන.දරුවා ලොකු වෙද්දි මෝටර් සයිකලේ මදි පවුලටම.පොඩි 
හරි වාහනයක් ගන්න වෙයි.තනුජගෙ පඩියෙන් පුළුවන් ද ඔක්කොම කරන්න???"
නදුනි අක්කා කියන දේ ඔස්සේ හිතුවාය.
"මගෙ ප්‍රපෝසල් එකට කලින් අයියට රස්සාවල් කරන ගෑණු ලමයි කීප දෙනෙක්ගෙන් ප්‍රපෝසල් ආවාලු.හැමෝම
 කිව්වලු බිස්නස් එක කඩා වැටුනත් නෝනගෙ රස්සාව ස්ථිරයි.ණය ගන්නත් පුළුවන්.ඒ නිසා ඒ කෙනෙක්ට 
කැමති වෙන්න.....අය්යා කල්පනා කළාලු තව අවුරුදු පහකින් කොහොම හරි බිස්නස් එක ගොඩ දා ගත්ත ම 
හරි ම බිසි වෙයි.ඈත පැති වලටත් යන්න එන්න වෙයි.ඒ දවසට බිස්නස් එක බලා ගන්න,එයා එන වෙලාවට
 උයල තේ හදල දෙන්න රස්සාවක් කරන කෙනෙක්ට වෙලාව තියෙනවද කියල"
නදුනි තනුජ ව පවා විශ්මයට පත් කරමින් මාරුව බාර ගත්තාය.
දැන් මේ ගෙවෙන්නේ ඒ ස්ථානයේ හතර වන අවුරුද්දය.මුල දී ජීවිතය අතිශය දුෂ්කර වුවත් දැන් දැන් අක්කාගේ
 උපදෙසේ වටිනාකම ඇයට දැනේ.
"මට උඹට පොඩි කතාවක් කියන්නත් තියෙනවා...."ඇය හමු වීමට ආ පරණ යෙහෙළියක් හඬ පහත් කර වට පිට
 බලමින් කීවාය.
"ඒ මොකක් ද?"
"උඹ කලබල වෙන්න නම් එපා මේක අහලා ......තනුජ ඔෆිස් එකට උඹේ තැනට ආපු ලේඩි එක්ක ටිකක් උකුළු
 මුකුළු වැඩියි කියල කතාවක් තියෙනවා...
නදුනි කට කොණින් හිනා වුණාය."කෙලින් ම කියපන්කෝ දෙන්නා යාළුයි කියල"
"උඹට ඒකෙ ගානක් නැද්ද?"
යෙහෙළිය විස්මයෙන් ඇසුවාය.මෙයා ගානක් නැතු ව කියන්නෙ මෙයත් එකක් පටන් අරන් වගේ.ඇය තමන්ට ම
 කියා ගත්තාය.
"අනේ මන්දා.උඹේ හිතුවක්කාරකම නිසා ඔක්කොම....ගෑණිගෙන් වෙන්න ඕන යුතුකම් ඉෂ්ඨ නොවෙද්දි පිරිමි 
පිට යනවා තමා"ඇය ඒ නොසතුටින් ම කියා දැමුවාය.
"මම මාරුව බාර ගත්ත එක ද හිතුවක්කාරකම?රස්සාවෙන් අස් වෙලා ගෙදර හිටියා නම් කීකරු ද.එතකොට
 තනුජ සත් ගුණවත් ස්වාමි පුරුෂයෙක් වෙලා ම ඉඳීද?" නදුනි එක දිගට අසාගෙන ගියාය.
" උඹ ගෙදර ම ඉන්නකොට ඔහොම දෙයක් වෙන්න බෑනෙ"
නදුනි කොක් හඬලා හිනැහුනාය.
"මම හොයල බැලුවා.තනුජගෙයි යස්මිකාගෙයි සම්බන්ධෙ කලින් ඔෆිස් එක ම දන්නවා.එයා වෙන කෙනෙක් 
බැඳලා රට ගිහින්.ඊට පස්සෙයි තනුජ ගෙවල් පැත්තට මාරුවක් ගත්තෙ.
මගෙ මාරුව ආව මුල් ම කාලෙ තනුජ ඒක හදා ගන්න උදව් කළත් පස්සෙ පස්සෙ මාව රස්සාවෙන් අයින් වෙලා
 ගෙදර නවතින තැනට තල්ලු කළේ මං වෙනුවට එන කෙනා ගැන දැන ගත්තම.ගෑණි ගෙ යුතුකම්‍....හහ්...
මමත් මිනිහගෙ යුතුකම් ඉෂ්ඨ කර ගන්න වෙන කෙනෙක් හොයා ගත්තා නං මිනිස්සු මාවත් ඔහොම
 සාධාරණීකරණය කරයිද?"
නදුනි ඇනුම් පදයක්ද එල්ල කරමින් කීවාය.
"උඹ ඕව දැනගෙනත් තනුජට සමාව දීල ද ඉන්නෙ?" යෙහෙළිය විස්මයෙන් ඇසුවාය.
"ජොබ් එක නැතුව ගෙදර නැවතුනා නම් ඔක්කොම දැනගෙනත් සමාව දෙන්න තමයි වෙන්නෙ.....මං දැන් අවුරුදු
 පහක ඉදිරිය හිතන ගමන්."
ඒ ගැන නොදන්නා යෙහෙළිය පුදුම වී බැලුවාය.
ගේට්ටුව ළඟ සිට දොරකඩට එනතුරු ඒ සියල්ල සිතමින් ආ නදුනි වහ වහා කාර්යාලයට යන්නට සූදානම් වූවාය.
දුෂ්කර නිසා කිසි කෙනෙක් එන්නට අකමැති වන කාර්යාලයේ ආ දා සිට දෙවෙනියාගේ වැඩ බලන්නේ ඇයයි. 
උසස්වීම් වල දී එය ඉතා හොඳ සුදුසුකමකි.දුෂ්කර සේවයේ අත්දැකීම හොඳින් ම සපුරා ඇති නිසා ඉන්පසු පහසු 
සේවා ස්ථානයක් ද ඉල්ලුම් කළ හැක. නිල නිවාස නිල වාහන හිමිකම ද ලැබේ.පුතා දැනටත් අංශයේ ම වැඩි 
ලකුණු ගන්නා නිසා ශිෂ්‍යත්වයෙන් උසස් පාසලකට යාම අපහසු නැත.
තව අවුරුදු පහකින්....හ්ම්.....අපි බලමු.ඇය තමාටම කියා ගත්තාය.

 

Comments