පොතට බැඳී සිත

 


"කොහොමද බං මේ පොත් ටික බස් එකේ ගේන්නෙ?"

ජයනිත් තමාලිත් හසන්තිත් වාර්ෂික පොත් ප්‍රදර්ශනයට යන්නට සැලසුම් සකස් කලේ මාසයකටත් පෙර සිටය.තුන් දෙනා ම පොත් ගුල්ලන් වූ නිසා මහ දිග පොත් ලැයිස්තුවක් ද හදා ගත්හ.

"අපේ පුංචි මාමා හැමදාම යනව ඕකට.අපි යනව කිව්වොත් එයා වෑන් එකේ ම යයි" තමාලි විසඳුමක් ඉදිරිපත් කළාය.

"අයියෝ මාමෙක් එක්ක යන්න බෑ හලෝ. අනික එයා හෙට ම යයි ද" හසන්තිගෙන් විරෝධය නැගුනාය.

 "මාමා කිව්වට එයා අපිට වඩා අවුරුදු 7-8ක් වැඩිමල් ඇති.හෙට නෙවේ දන්න කාලෙ ඉඳන් හැමදාම ඕකට යනවා"

 "ඒ මොකද අප්පා.එයා පොත් කඩයක් ද කරන්නෙ?"

 "පොත් ගන්න ම නෙවේ....අවුරුදු ගානකට කලින් නැති වුණ දෙයක් හොයන්න"

" මොකක්?මෙච්චර කල් ගිහින්.මොකක්ද ඒතරම් වැදගත් දේ?"

 "පොත් ප්‍රදර්ශනයට එයා ගිය දවසක ඒ කාලෙ ජනප්‍රිය වෙලා තිබුණ පොතක් ලිව්ව කෙනා එනව කියල මහ පෝලිමක් ලු. එයත් ගිහින් එකතු වෙලා. මාමා ගෙ පිටිපස්සෙන් හිටියෙ ගෑණු ළමයෙක්ලු. කාලෙ ගෙවා ගන්න නිකමට දෙන්නා කතාවට වැටිල. බලද්දි දෙන්නට ම තියෙන එක ම රසඥතාවයක්ලු. එයා කැමති විදියෙ පොත් වලටම ආස, ඒවා ගැන එක ම විදියට විචාරය කරන ළමයෙක්ලු. පෝලිමේ හිටිය පැය ගාන දැනිලා වත් නෑ.එක පාර ම මිනිස්සු කළබල වෙලා මාමාවත් ඉස්සරහට තල්ලු වෙලා ගියාලු.අර ජනප්‍රිය කර්තෘ ඇවිත්. මාමාත් හරි අමාරුවෙන් එයාගෙන් පොතට අත්සන් අරන් ඒ සෙනගින් මිදිලා එළියට එද්දි ගෑණු ළමයා හරි ම දුකින් බලා ඉන්නවලු. කට්ටිය පොර කද්දි එයා ව එළියට තල්ලු වෙලා.මාමාට දුක හිතිල එයා අත්සන් කර ගත්ත පොත මෙයාට දීල.ඒ ළමය කොච්චර සන්තෝස වුණා ද කිව්වොත් මාමා එක්ක එදා දවස ම ඒ ස්ටෝල් වල ඇවිදලා.." "ඉතිං ඉතිං"

 "ඒ ළමයා කොළඹ කැම්පස් එකේ කම්පියුටර් ඩිප්ලෝමා එකක් කරනවලු.එදා ඇවිත් තියෙන්නෙත් ඒවට ඕන පොත් වගයක් ගන්න. ඒ පොත් ඉවර වෙලා ආයෙ ගේන්නෙ පහුවදා කිව්වලු.ඒක ඇහුව ම මාමාට නම් හරි සන්තෝසයි.පහුවදා මාමා උදෙන් ම ගිහින්. හැබැයි මුළු ප්‍රදර්ශනය පුරා ම ඇවිද්දත් ඒ ගෑණු ළමයා ඉඳල නෑ ...."

 "අපොයි .....ඉතිං මාමා එයාගෙ ටෙලිෆෝන් නම්බර් එකක් ගෙදර තියෙන තැනක් වත් අහගෙන නැද්ද?"

 "අන්න ඒක තමා වැරැද්ද.ඒ තරම් පැය ගානක් කතා කරලත් මාමා දන්නෙ නම යශෝධා ගෙවල් මීරිගම කියන්න විතරයි."

 " දෙයියනේ.....එහෙම කොහොම හොයන්නද?"

 "උඹලගෙ මාමා මාර මනුස්සයෙක් නෙ බං"

 "එදා ඉඳන් ද මාමා දවස ගානෙ යන්නෙ එයා ඇවිත් ද බලන්න.හැබැයි දැන් නම් එයා බැඳල ලමයිත් ඇති.බැරිවෙලාවත් ලමයි එක්ක ඇවිත් හිටියොත් එහෙම....මාමාට අවුල් යයි නේ"

 "ඒක නම් ඇත්ත තමා" "ඒ ළමයා ව වෙන තැනකදි අඳුන ගන්න විදියකුත් නෑ නේද?"

 "ඇයි උඹ හොයල දෙන්නද?හින්දි ෆිල්ම් වල වගේ?"

"ම්ම්ම්....ඒක දන්නෙ නෑ"

 "ඒකත් අමුතු ම ආදර කතාවක් ...පව් නේ"

 "දැන් උඹල ඕක හෙට අහන්න එහෙම එපා"

පසුවදා පොත් ප්‍රදර්ශනයට ගිය යෙහෙළියන්ට ඇය කීවේ ඇත්තක් බව තේරුණි.මුළු දවස ම ඇවිද ලැයිස්තුවේ ඇති නැති පොත් ගොන්නක් රැගෙන ආ ඔවුන්ට හමු වුනේ බලාපොරොත්තු කඩ වුණ දෑසින් සඟරාවක් පමණක් අතේ තබාගෙන සිටි මාමාය. මිලදී ගත් පොත් ටික තියන්නට බෝඩිමේ ඉඩ නැති නිසා පහුවදා ම ගෙදර ගෙනියන්නට ජයනි තීරණය කළාය.පොත් ටික දකිනවාත් සමග ම ගෙදර අයගේ ප්‍රතිචාර ද ඇයට සිහි විය.

"පඩිය ම පූජා කළාද පොත් වලට.දැන් රත්තරන් බඩුවක් හෙම හදන් පිළිවෙලක් වෙන්න නේද ඕන.මේවද දෑවැද්දට ගෙනියන්නෙ.පුස්තකාලයක වැඩ කරන මනමාලයෙක් තමා හොයා ගන්න වෙන්නෙ"

 එහෙත් එදා එය වෙනස් විය. "ආ මේ ඉන්නෙ අනිත් බාගෙ.තකට තක. පොත් ම කකා බිබී ඉන්න බැරියැ" ජයනි විමසිල්ලෙන් බැලුවාය.ලොකු අම්මාගේ දුව නිශානි ඇවිත්ය.ඇයත් පොත් ගුල්ලියකි.

 "ආනේ ඔයා ගියා ද නංගි.ලාබයි ද පොත්" ඇය ඉතා ආසාවෙන් පොත් ටික අත ගෑවාය.

"ඒ තරම් ලාබයක් නෑ අක්කෙ.හැබැයි මං කාලයක් හොය හොය හිටිය පොත් දෙක තුනක් ම තිබුනා.මේ...ඔයාත් යමු කො හෙටත් තියෙනවා"

 "අනේ බෑ නංගි.මං ඕකට යන්නෙ නෑ" මෙතෙක් එළිය වී තිබූ ඇගේ මුහුණ එක වර ම අඳුරු විය.

 "ඇයි ඒ?"

"ඒකෙ මට තියෙන්නෙ දුක හිතෙන මතකයක්.ඒ නිසා ආයෙ යන්න හිතෙන්නෙ නෑ."

"ඔයාටත් පැරණි පෙමක් තිබුනාද ඒකත් එක්ක?" ජයනිට කියවුනේය.නිශානි ගැස්සී බැලුවාය.

"ඇයි එහෙම ඇහුවෙ?"

"නෑ මගෙ යාළුවෙකුත් ඉන්නවා මඟ හැරුණ ආදරයක් හොයන්න එහෙ යන" නිශානි කිසිත් නොකියා දුක සේ හිනැහුනාය.

ඒ හිනාවේ ඇත්තේ එවැන්නක් යයි ජයනි හිතා ගත්තාය. මේක මරු වැඩේ.පොත් ප්‍රදර්ශනේ අතුරු කතා.අපිත් යනවා කෝ නිකමට කොල්ලෙක් කතා කරනවද?අපි යන්නෙ අඩු වෙලාවකින් වැඩි පොත් ගොඩක් ගන්න තියරියෙනෙ. කොල්ලෙක් බැලුවත් පේන්නෙ නෑ.ඉතිං හරි යයි ද? තනිව ම සිත සිතා සිටි ඇයට අදහසක් ආවේය. තමාලිගෙ මාමාත් තනියෙනි.නිශානි අක්කා ද එක මංගල යෝජනාවකට වත් කැමති නැත. ආයෙ යශෝධෙක් මොටද.මේ දෙන්‍නා සෙට් කළා නං.....අපිටත් පිනක්. ඇය තමාලි සමග සතර කන් මන්ත්‍රණයක යෙදුනාය.

 "අක්කෙ ඔයා අද ම ගෙදර යන්නෙ නෑනේ" "නෑ නංගි ඇයි?"

"අනේ සුදු අක්කෙ මට ලොකු උදව්වක් කරන්න එහෙනම් පිං සිද්ද වෙයි"

"මොකක්ද අප්පා?"

"මගෙ බොසා පොත් වගයක් ගේන්න ලියල දුන්නා ප්‍රදර්ශනෙන්.දැන්‍ තමා ඒ ලිස්ට් එක හම්බ වුණේ පර්ස් එකේ තිබිල.අනේ රත්තරන් අක්කේ යමුකෝ මං එක්ක.මං දන්නෙ නෑ ගන්න ඇකඩමික් පොත් වගයක් එයාගෙ ලමයිට.මට නිවාඩුත් දුන්නා මනුස්සයා ඊයෙ ඕක නිසා ම.මේක නොගෙනිච්චොත් මගෙ ජොබ් එකත්‍ නැති වෙයි"ජයනි මහා යාදින්නක් කියෙව්වාය.

"අනේ නංගි මම කිව්වා නෙ ඔයාට...."

"ඔයා වෙන කොහේවත් බලන්න වත්‍ එපා. කෙලින් ම ඇකඩමික් ස්ටෝල් එකට ඇවිත්‍ ඒ ටික ගන්න උදව් කරන්‍න මට.පැයක් යන්නෙ නෑ.මගෙ එක ම වත්කම සුදු අක්කේ ජොබ් එකනෙ....ඔයා තමා මගෙ ඉෂ්ට දේවතාවී දැන්"

හුස්මක් නොගෙන කියාගෙන යන හෑල්ලට උත්තර දී ගත නොහැකි වූ නිශානි අවසානයේ  යන්නට කැමති වූවාය.

මරන්නට ගෙනයන සතෙක් මෙන් ඔහේ ජයනි සමග ආවත් පොත් ප්‍රදර්ශන භූමියට එද්දී පොත් වල සුවඳ එද්දී නිශානිගේත් මුහුණේ එළියක් වැටුනේය.

" අක්කෙ අනේ මට ගන්න බැරි වුණ ඕන ම පොතක් අද ඇවිත් ඇති.යං කො බලල එන්න."

ෆෝන් එකේ කතාවක එල්ලී අක්කාගේ අත තදින් අල්ලාගෙන සිටි ජයනි ඇගෙන් ප්‍රතිචාරයක් ලැබෙන්නට පෙර ම ඇයත් ඇදගෙන ළඟපාත ස්ටෝල් එකකට ගියාය.

තමාලි මාමා ද සමග එහි පොත් තෝරමින් සිටියාය.

"හානේ....තමාලි....ඔයත් ආවද?"ජයනි විස්මයෙන් මෙන් ඇසුවාය.

"යශෝධා...!!" හැරී බැලූ මාමා කපුවන් දෙදෙනා වැඩසටහන අරඹන්නටත් පෙර පුදුමයෙන් හඬ නැගුවේය.

"ගයාන් ඔයා.....??"

කපුවෝ පුදුමයෙන් මුහුණෙන් මුහුණ බලා ගත්හ.අක්කාගේ නම නිශානි යශෝධා බව ජයනිට සිහි වූයේය.

******************************************

මාස දෙකකින් පැවැත්වුණ මංගල උත්සවයේ දෙවෙනි මනමාලියන් වූයේ කපුවන් දෙදෙනාය.

 

Comments