කාලකණ්නි

 "කව්රු බලන්නද අම්මෙ අපි යන්නෙ?"

ෆුඩ් සිටියෙන් මිලට ගත් අමතර බඩු මල්ල තාත්තා ඩිකියට දමන හැටි රියදුරු අසුනේ සිට බලා සිටි ඉෂාන් ඇසුවේය.

"හ්ම් ජීවිතේ මට මුණ ගැහුණ අවාසනාවන්ත ම මනුස්සයා බලන්න"අම්මා මහා හුස්මක් හෙලා කීවාය.

"අවාසනාවන්ත නෙවේ මම නං කියන්නෙ කාලකණ්ණිකම"මේ වෙද්දී වාහනයට ගොඩ වී සිටි තාත්තා කීය.

"මොකක්ද ඒ දෙකේ වෙනස?"අම්මාත් පුතාත් අවධානයෙන් ඇසූහ.

"මට හිතෙන්නෙ කෙනෙක් නිවැරදි දේ ම කළත් එයාට ලැබෙන්නෙ නරක ප්‍රතිපල ම නම් ඒ අවාසනාව.හැබැයි කළ යුතු හරි දේ තියෙද්දි වැරදි දේ කරනවා නම් ඒ කාලකණ්නිකම"

"කවුද ඔය කාලකණ්නියා.ඇයි අපි එයා ව බලන්න යන්නෙ"

"අපේ ඔෆිස් එකේ හිටිය කෙනෙක්. මට ඔෆිස් වැඩ වලදි හුඟක් දේ කියල දීල තියෙනවා. අනික දැන් මනුස්සයා වැටිල ඉන්න අමාරුවෙන් ගොඩ යන විදියක් තාත්තා හොයාගෙන"

"මොනවද එයාගෙ කාලකණ්නි වැඩ?"

"හ්ම්.... එයා බැඳල ඉඳල තියෙන්නෙ අපේ ඔෆිස් එකේ ම වැඩ කරපු කෙනෙක් නදුනි කියල. එයාට මාරුවක් ලැබිල සෑහෙන ඈතකට. පොඩි දරුවත් එක්ක යන්න වෙලා. මෙයා සති අන්ත වල ගිහින් එනවලු.හැබැයි පහු පහු වෙද්දි ගිහින් නෑ"

"ඇයි ඒ?"

"නෝනා වෙනුවට එතනට ආව කෙනා එක්ක මෙයා සෙට් වෙලා"

"මාර බුවෙක් නෙ.නෝනා දැනගෙන නැද්ද?"

"නෝනා සද්ද නැතුව ම ඉඳල හොඳට සාක්ෂි එකතු කරන් ඩිවෝස් නඩුවක් දැම්මා.නිකං නෙවේ අනාචාරයේ හැසිරීම යටතේ"

"අන්න ගෑණු" එවර තාත්තා කට දැම්මේය.

"ආ....හැබෑට.අම්මා සිනාසුණාය......මේ දෙන්නා සවාරි ගහපු තැන් වල සාක්කිත් එක්ක තියෙද්දි මොන කතා ද.දික්කසාදෙ ලැබුනා.දන්නව ද වෙච්ච දේ?"

"හිතා ගන්න බෑ "

"පහුවදා ඉඳන් මිනිහා එළිපිට ම අර ගෑණි එක්ක ජීවත් වෙන්න පටන් ගත්තා"

"මාර ප්ලේස් එකක් නෙ අම්මලගෙ ඔෆිස් එක.ඒ කාලෙ හිටිය ලොක්කො කට පියාගෙන හිටියද"

"මෙහෙම නෙ පුතා.රාජකාරි වෙලාව තුළ විනය විරෝධී හැසිරීමක් නැත්නම්, ඩියුටිය හරියට කරනවා නම් ලොක්කන්ටත් නීති කතා කරන්න දෙයක් නෑ"තාත්තා පැහැදිලි කළේය.

"ඒ ගෑණි මහ සෝබනේ.ඇඳුම්,පැළඳුම්, මේකප් වලට මුළු පඩිය ම ඉවරයි. මේ මනුස්සයාත් හතර අතට ණය වෙන්න ගත්තා. දික්කසාදෙන් මට හොඳක් වුනේ කියල රටට පෙන්නන්න සවාරි යන්න ෆොටෝ ගහන්න පාටි දාන්න ගත්තා. ගත්ත ණය ගෙවන්න පඩියත් මදි වෙලා ණය කාරයො ඔෆිස් එකට ම එන්න ගත්තා.දෙන්නා අතරත් නිතර සල්ලි ප්‍රශ්න නිසා රණ්ඩු සරුවල් වුණා කියල තමා ආරංචි.

දවසක් හොඳ හයේ හතරෙ මනුස්සයෙක් ඔෆිස් ඇරිල යන වෙලාවට ගේට් එකෙන් එළියෙදි මේ දෙන්නා ව අල්ලගෙන අපේ කොල්ලාට හොඳට ම ගහල ගෑණි ව ඇදල වාහනේට දාගත්තා."

"මොනවා!! ඒ ඇයි? කවුරුත් හිටියෙ නැද්ද ඒක නවත්තන්න.හැමෝම ෆිල්ම් එකක් වගේ බලාගෙන හිටියද?"ඉෂාන් තරහින් ඇසුවේය.

"දෙතුන් දෙනෙක් ඒ මැදට පනින්න හැදුවා. දන්නවද ඒ මෑන් කිව්ව දේ......ඒ එයාගෙ කසාද වයිෆ්ලු.පිටරට පදිංචි වෙලා ඉඳල රන්ඩුවක් වෙලා ලංකාවට ආවා ලු.ඒ අතරෙ පරණ ලව් එකක් ආයෙ පටන් අරන් ලු.එහෙම ලේසියෙන් ගැලවිලා යන්න දෙන්නෙ නෑ කිව්වට පස්සෙ මොනව කරන්නද?"

ඉෂාන්ට ඉබේම බ්රේක් පෑගුනේය.

"එතකොට එයා කලින් බැඳල ඩිවෝස් නොවී ද ආයෙ පවුලක් වුනේ.ඒව දැනගෙන ද නැතුව ද එයා එක්ක යාළු වුනේ....එයාල දෙන්න.."

"ඔය ප්‍රශ්න ඔක්කොම අපිටත් ආවා පුතා" ඉෂාන් එක දිගට අසාගෙන යද්දී අම්මා හරස් කැපුවාය.

"හොයල බලද්දි මේ කලින් ඔෆිස් එකෙන් පටන් ගත්ත කතාවක්.දෙන්නා එහෙදි යාළු වෙලා ඉඳල ගෑණු කෙනා මෙයාට බූට් තියල රට ඉන්න කෙනෙක් බැඳල ගියාලු. මෙයා ලැජ්ජාවට මෙහෙට මාරු වෙලා හොඳ  කෙල්ලක් බැඳල පිලිවෙලට ඉඳල. ආයෙ මේ ගෑණි කොහොම හරි මෙහාටම රස්සාවට ඇවිත් දෙන්නා සම්බන්ධෙ පටන් අරන්...."

"මහ මෝඩයෙක් නෙ අම්මෙ....කලින් දාල ගිය එකෙක් නිසා හොඳට තිබ්බ පවුල් ජීවිතේ නැති කරන් රටට ණය වෙලා....."

"ඒක නෙ පුතා මම කියන්නෙ කාලකණ්ණිය කියල" තාත්තා පිළිතුරු දුන්නේය.

"වැදුන පාරවල් වලට සිහි නැති වෙලා හිටිය මනුස්සයා ව ඉස්පිරිතාලෙ ගෙනිච්චා. තුවාල සනීප වුණාට මානසික ව වුණ හානිය නැති වුණේ නෑ.එහෙන් ණය කාරයෝ.ඔෆිස් එක පුරා ම නින්දා අපහාස කතා.මෑන් ආයෙ වැඩට ආවෙ ම නෑ....ඔතනින් දකුණට පුතා"

වාහනය දවස් ගණනකින් අතු නොගෑ තණකොළ වැසී ගත් මිදුලක නැවතුනේය. ඔවුහු චකිතයෙන් බිමට බැස්සහ.

"කවුරුත් නැද්ද මන්දා"නොදන්වා ඒම ගැන තමන්ට ම දොස් පවරා ගනිමින් අම්මා කීවාය.

නිවස පිටුපස සිට කිළුටු සරමක් ඇඳගත් කෙනෙක් මතු වුනේය.

"ආ....රිද්මා මිස් නෙ.වාහනයක් නැවතුනාට කවුද බැලුවා"

"මේ ඉන්නෙ තනුජ මහත්තයා.....ළඟකට ආව ගමන් මේ පැත්තෙ ඇවිත් යන්න හිතුනා. කවුරුත් නැද්ද ගෙදර"

"මම තුනපහ ගෙනත් හෝදල වේලල පැකට් කරල කඩවල් වලට දාන්න පටන් ගත්තා පොඩියට.ගේ පිටිපස්සෙ ඒ ටික වේලෙන්න දාල තිබුනෙ"

නොකැපූ රැව්ළ,යට ගිලුන හකුපාඩා තනුජගේ වර්තමානය ගැන දෙස් දෙයි.

"රස්සාව ගැන බැලුවෙ නැද්ද තනුජ මහත්තයා?"

"නොදන්වා සේවයට නොපැමිණීම නිසා රැකියාව හැර ගියා සේ  සලකනවා කියන ලියුම නම් ආවා" ඔහු කිසි ම උනන්දුවකින් තොර ව කියයි.

"ළඟදි මම පළාත් කාර්යාලයට ගියා.අළුත් ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නෙ.කතා කරල වැඩක් කර ගන්න පුළුවන් කෙනෙක් ලු. අභියාචනයක් හදාගෙන ගියොත් සහනයක් ලැබෙන්න පුළුවන් වෙයි"

අතීතය කෙසේ වුවත් මොහුගේ වර්තමානයෙන් කම්පා වූ තාත්තා කීවේය.
තනුජ දුක්මුසු ව බැලුවේය.
"මටත් කවුදෝ ඕක කියල මම ගියා අභියාචනයක් ලියාගෙන.....වැඩක් වුනේ නෑ"
"ඇයි බෑ කිව්වද?"
"නෑ.......ඔහු මහා සුසුමක් හෙළුවේය.
"ඩිරෙක්ටර්ගෙ දොරේ ගහල තියෙන නම නදුනි මනතුංග!!......මම හැරිල එන්න ආවා."

 

Comments