හොර ඇල්ලීම

 


"ඉතිං ඉතිං කොහොමද සරෝජා දැනගෙන තියෙන්නෙ?"

 "එයාට සැක හිතුනලු කාලෙක ඉඳන්. දවස් ගානක් ෂර්ට් කලිසම් ඔක්කොම චෙක් කරද්දි මෙන්න තියෙනවලු මාලයක් ගත්ත බිලක්!!"

"හප්පා....ඇත්තද.මිනිහා ඉන්න විදියට නම් පෙරාපු රත්තරන් වගේ" මිනෝලිත් දයානිත් මේ ලුණු ඇඹුල් ඇති ව රහ කර කියවන්නේ තවත් යෙහෙළියකගේ සැමියාගේ අනියම් සම්බන්ධයක් අතටම අල්ලා ගත් අයුරුය.

මෙයත් වැඩ තියෙනව කිය කිය එන්න රෑ වෙනවා.නිවාඩු දවසටත් හොඳට ඇඳගෙන කොහෙ යනවද දන්නෑ.මිතුරිය පිට ව ගිය පසු මිනෝලි කල්පනා කළාය. සැමියා සමීරගේ කමිස කලිසම් සියල්ලගේ ම සාක්කු වලට අත දමමින් ඔහුගේ මේස, අල්මාරි සියල්ලේ ලාච්චු පතුලටම අත ගගා බැලුවාය.සැක කරන්නට දෙයක් නැති කමින් හිතට හරි නැත. අවසානයේ ඔහු එහෙ මෙහෙ යද්දී ගෙන යන බෑගයට අත දැමුවාය.ඇගේ දෙනෙතේ බලාපොරොත්තු දැල්වින.තද යමක් අතට අසු වේ.ඇය කඩිනමින් සියළු සාක්කු පරීක්ෂා කළාය.සුදු ටිෂූ කොළයක ඔතා මේ තිබෙන්නේ කුමක්ද?

 රන් පෙන්ඩනයකි!!!

ඉතා සියුම් ව කැටයම් කර මැණික් පවා ඔබ්බවා ඇති එහි පැත්තක යම් පළුද්දක්ද ඇතුවා වාගේය. මේ මිනිහා මට කවදද අන්තිමට රත්තරන් බඩුවක් අරන් දුන්නෙ.පෙනේද මම අත් පා මෙහෙවර සුමේ ඔක්කොම කරද්දි වෙන ගෑණියක් හොයාගෙන මදිවට ඒකිට තව රත්තරන් බඩුත්.....හහ් මේ එකයි තව කීයක් අරන් දීල ඇත් ද.ආවදෙන්කො අද.... එවේලේ පටන් නිවසේ සියළු වැඩ නවතා මහා වාග් සංග්‍රාමයට කරුණු රැස් කළාය.

කිසිත් නොදැන නිවසට ගොඩ වූ සැනින් සමීර දරුණු සුළි කුණාටු සහිත මොර සූරන මහ වැස්සකින් තෙමී ගියේය.කියන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට වත් පැයක් පමණ යනතුරු ඔහුට නොහැකි විය.

"තමුසෙට තුන් වේල උයල වළං හෝදල ගෙවල් අතුපතු ගාල රෙදි හෝදල වේලල නවල මැදල ඔක්කොම කරන මට සාරියක් අරන් දෙන්න බෑ. කවුද ඔය නැට්ටිච්චි.අද මම බලපු නිසා අහු වුනේ. පෙන්ඩන්ට් දෙන්න කලින් කී ලක්ෂෙක මාල වළලු අරන් දුන්නද. යනවා යනවා ගිහින් ඒකි එක්ක නවතිනවා...."

" මොනවද ඕයි මේ කියවන්නෙ?"කිසිවක් නොතේරුණ සමීර ඇසුවේය. මිනෝලි ගුලි කර ගත් පෙන්ඩනය ඔහු ඉදිරියට දමා ගැසුවාය.

 "තමුසෙ කාට දෙන්නද ඕක ගත්තෙ?" ඇය ගිගිරුවාය.

 "අප්පට සිරි.දැන් නෙ මතක් වුනේ"

 "හා මහත්තයට අමතක වුණාද දෙන්න?හහ් මට අහු වෙයි කියල බෑග් එකේ හංගලා. කියනවා කවුද ඒකි."

"තමුසෙට පිස්සු හැදීගෙන එනවද ගෑණියෙ. මේක මට දුන්නෙ අපේ අම්මා.ගිය සතියෙ එහෙ ගිය වෙලාවෙ"

 "අපොයි වෙන්න ම ඇති. කනේ කරාබු දෙකවත් නොදාන තමුසෙලගෙ අම්මා කොහෙද මේව දාන්නෙ.අනික තමුසෙට දෙන්නෙ මොකටද ඒක?"

"අපේ අම්මා අප්පච්චි නැති වුණාට පස්සෙ ලස්සනට අඳින පළඳින එක අත් ඇරියට අපි පොඩි කාලෙ මාල වළලු ඔක්කොම දැම්මා. ඔච්චර බලපු එකේ දැක්කෙ නැද්ද ඕකෙ පැත්තක් නැවිල තියෙනවා.ඒක හදල ගෙනත් දෙන්න කිව්වෙ මට"

මිනෝලි තරහින් ම මහ හඬින් හිනැහුණාය. "එක බොරුවක් කිව්ව ම ඒක වහන්න තව බොරු කීයක් කියන්න ඕන ද.හහ් කොළඹ නැද්ද ඕක හදා ගන්න තැනක්.නෑ නෑ ඕක දෙන්න ගත්ත එකීටම ගිහින් දීල ඒකි ගාව ම නවතිනවා.ආයෙ මෙහෙ එන්න ඕන නෑ" "හදා ගන්න වෙන තැනක් නැද්ද කියල තමුසෙ ම අම්මගෙන් අහ ගන්නවා.ඔහොම ඉන්නවා මම අම්මට කතා කරන්න"සමීර දුරකථනය අතට ගත්තේය.

 "අපෝ නල්ල මලේ සාක්කි කාරයා.අම්මා කියයි පුතාට විරුද්ධ ව.ඔව් මාව මදි ඇති නෙ. මට බැරි වුණානෙ පොඩි ලේලි වගේ උපාධි ගන්න.රස්සා කරන්න.එහෙනං මගෙත් අගේ තේරෙයි කාට කාටත්.මං හොයා ගන්නං ඕකි ව.හොයාගෙන මරාගෙන මැරෙනවා මං" මිනෝලි දත් මිටි කමින් ගුගුරද්දී උතුරා යන තරම් වෙහෙසට පත් ව සිටි සමීර නාන කාමරයට වැදුනේය.

 "දෙන්නං මං පෙන්ඩන්ට් පළන්දන්න."ඇය කෝපයෙන් දත් මිටි කමින් පෙන්ඩනයේ කැටයම් තැලෙන තුරුත් එබ්බවූ මැණික් ගල් බිඳී යනතුරුත් මිටියකින් පහර දුන්නාය. ඒ සතිය ම සමීරට හැඟුනේ බක් මහ අකුණු අහසක් සේය.

සෙනසුරාදා මල්ලීත් නෑනාත් අම්මාත් නෑනලාගේ ගෙදර යන අතර ඔවුන්ගේ නිවසට ගොඩ වූහ. නෑනාගේ කනේ තිබූ කරාබු යුවළ දුටු මිනෝලිට එය අගය නොකර බැරි විය. "අනේ හරි ම ලස්සන කරාබු දෙකක්".

 "අම්මා දුන්නෙ අක්කෙ.මං එදා ම දා ගත්‍තා" නෑනා ස්තූති පූර්වක ව නැන්දම්මා දෙස බැලුවාය.

"පුතාලගෙ අප්පච්චි අපි බැඳල මගේ මුල් ම උපන් දිනේට දුන්න තෑග්ග ඔය.කරාබු දෙකයි පදක්කමයි.අපිට සල්ලි අමාරු කාලෙ අනිත් රත්තරන් බඩු ඔක්කොම විකිණුවත් මට ඕකට අත තියන්නම හිතුනෙ නෑ."අම්මා නැවතිල්ලේ කියාගෙන ගියාය. මිනෝලි තවත් ටිකක් ලං වී එය නැරඹුවාය. ඇයට ඊර්ෂ්‍යාවක් මතුවෙමින් තිබුණි. ඒ කරාබු වල යම් හුරු පුරුදු ගතියක් ද ඇයට දැනුනේය. "අප්පච්චිගෙ නෑදෑ කෙනෙක් ඔය සෙට් එක මගුල් ගෙදරක යන්න මගෙන් ඉල්ලන් ගිහින් පදක්කම මොනව කරලද මන්දා ඇද කරල ගෙනාවෙ......ලොකු පුතේ ඔයා ඒක මම කිව්ව තැනට දුන්න ද හදන්න?" අම්මා ලොකු ලේලියටත් ලොකු පුතාටත් එක වර ඇමතුවාය.

"ආ....තවම මට නුවර යන්න බැරි වුණා අම්මෙ"

"මේ වගේ පරම්පරාවෙන් එන ඒවයෙ ඇද පළුදු අලුත් අය හදන්න දන්නෙ නෑනෙ.නුවර ඉන්නවා පරම්පරාවෙන්  එන අතින් ම කැටයම් හදන දක්ෂයෝ. එහෙම තැනකට දීල ඇදය ඇරවගෙන ඒක දුවට ගන්න.මට ඕවා දෙන්න දූල ඉන්න එකක් යැ."

 මිනෝලි මහා හුස්මක් ගෙන එතැනම ගල් පිළිමයක් මෙන් බලා සිටියාය.

Comments