ඔහුගේ කතාව

 එරංග නොඉවසිල්ලෙන් රථ ගාලේ එහා මෙහා ඇවිද්දේය. රැස්වීම තව ම ඉවර නැති හැඩය.දිසාපති තුමා ගෙන ගොස් ඇරලවා අද නම් ටිකක් කලින් ගෙදර යන්නට හොඳට ම ඕනෑය. අරුණගේ අයියා රට සිට ඒම නිසා ඒ ගෙදර සාදයකි.අයියා ලෝස් නැති නිසා පාටිය ගැන අහන්නට දෙයක් නැත.

"අහ් යන්තම් ඉවරයි වගේ"

ඔහු වහා ම රථය ගාලෙන් එළියට ගෙන ගේට්ටුව පෙනෙන මානයේ නැවැත්වූයේය.දුව ගොස් දිසාපතිතුමාගේ අතේ තිබූ බෑගය හා ලිපිගොනු ගෙන වාහනයට දැම්මේය.ඔහු නැග්ග සැනින් අනෙක් අයට කලින් වාහනය ගේට්ටුව වෙත පැදෙව්වේය.

නමුත් රෝද දෙකේ ට්‍රැක්ටරයක් ක්‍රියා කරවන කම්කරුවෙක් නිසා පාර අවහිර වී ඇත.එරංග තරහෙන් නලාව කීප වරක් නාද කළේය.

"කළබල වෙන්න එපා එරංග..ඒ මනුස්සයා අයින් කර ගනීවි"

"බලන්න සර් මහ ඒජන්ත වගේ මහ ලොකු වාහනේ පාරට දා ගත්තා" එරංග තමන්ට ඉඩ දීමට අපහසුවෙන් පාරෙන් ඉවතට ගත් ට්‍රැක්ටරය මත හිඳින්නාට රවමින් රිය පාරට ගත්තේය.

"කවුද දන්නෙ ඒ මනුස්සයා මහ ඒජන්ත වෙන්නත් බැරි නෑ අනාගතේ"

එරංග කට කොණකින් සරදම් සිනාවක් පෑවේය.

"එරංග දන්නවද මම රස්සාව පටන් ගත්තෙ ඒ මනුස්සයාටත් වඩා පහළ තැනකින්....."

එරංග විස්මයෙන් ඉදිරි කණ්ණාඩියෙන් ඔහු දෙස බැලුවේය.

"8,9 පන්ති වලට එද්දි ම මට ඕන වුණේ සල්ලි හම්බ කරන්න.එක එක දේ කළා.ඕ ලෙවල් ලියපු ගමන් ගෙවල් ගාව කෙනෙක් එක්ක ඉලෙක්ට්‍රික් වැඩ කරන්න ගියා.අපිට සැරයක් සෙට්  වුනා ආණ්ඩුවෙ ඔෆිස් එකක මහත්තයෙක්ගෙ ගෙදර වයරින් කරන්න. ඒ කාලෙ රජයේ රස්සාවක් කියන්නෙ මහ නිධානයක්‍ වගේ මට පෙනුනෙ.  ඒ මහත්තයගෙ ඔෆිස් එකට කොන්ත්‍රාත් කම්කරුවො ගන්න ආරංචියක් ලැබුණා. මහත්තයා මගෙ නමත් දාල දුන්නා. අපිවයි ස්ථිර කම්කරුවොයි එකට වැඩට දැම්මෙ. ස්ථිර අය හිටියෙ හරි ආඩම්බරකමෙන්. අපිට ඕඩර්ස් දීල එයාලගෙ වැඩත් කරවගෙන නිකං හිටියා සමහරු.මගෙ ඒ කාල වීරයො එයාල තමයි. රජයේ ස්ථිර රස්සාවක්.අපට වගේ නිවාඩු ගත්තට පඩි කැපෙන්නෙත් නෑ.බැරි කාලෙක ජීවත් වෙන්න පැන්ෂන් එක. කාලයක් යද්දි අපි ව ස්ථිර කරන යෝජනාවක් ආවා 8 වසර සමත් නම්.ඕ ලෙවල් කරල තිබුණ නිසා මට ස්ථිර වෙන්න පුළුවන් වුණා.හැබැයි අපි එක්ක වැඩ කරපු කීප දෙනෙක්ට ස්ථිර වෙන්න බැරි වුණා. අන්න එදා තමයි මට ඉගෙනීමේත් අගයක් තියෙන බව තේරුනේ.....

එරංග පුදුමයෙන් අසා සිටියේය.දිසාපති කෙනෙකුට එවන් අතීතයක්!!

.......මාව වැටුන දුර ඔෆිස් එකකට.ඒක වෙන තැනක ඉඳන් අළුත් බිල්ඩින් එකකට අරන් ආව එකක්.බඩු මුට්ටු ලියකියවිලි සී සී කඩ. .දවස් ගානක් ඒව අස් කළා.එතන ස්ටෝකීපර් පුදුම කම්මැලියෙක්. ලොකු මහත්තයා ඒ නිසා ම ද මන්දා මාව දැම්මා එයාගෙ උදව්වට. මට ඒ ගබඩා වල බඩු ඔක්කොම හරි තැන් වලට දාල අස් කරල පිහදාල ලේබල් කරල තියන්න වුණා.මගෙ අකුරු හොඳයි කියල අන්තිමට එතන ඩොකියුමන්ට් පවා මං ලවා හැදෙව්වා. එයා කළේ පුටුවෙ වාඩි වෙලා ඉන්න එක විතරයි වගේ. සමහර දවසට වැඩ ඉවර කරල ඔක්කොම චෙක් කරල යතුරු දාල රෑ වෙලා යද්දි මට යන්න බස් එකක් නෑ. පුදුම තරහයි. කල්පනා කරද්දි මට හිතුනා මේ රස්සාවෙ ම හිටියොත් හැමදාම මම කාගෙ හරි බර අදින්නයි තව කෙනෙක් ඒ නම ගන්න එකයි විතරයි .....මම කොහොම හරි මෙතනින් උඩට යන්න ඕන කියල.

හැමදාම ගෙදර නොයා පුංචි ම පුංචි කිසි පහසුකමක් නැති කාමර කෑල්ලක නැවතුනා. මගෙ පඩියත් එක්ක ඊට වඩා තැනකට ගෙවන්න අමාරුයි.රෑ පන්ති වලට ගිහින් කොහොම හරි අමාරුවෙන් පාඩම් කරල ඕ ලෙවල් පාස් වුණා.කම්කරු රස්සාවෙ අවුරුදු පහ සම්පූර්ණ වෙද්දි ම වෙන පුරප්පාඩු හෙව්වා.හොඳ වෙලාවට ගබඩාකරු ගැසට් කළා.මම ඒ දේවල් හොඳටම දැනගෙන හිටියෙ.අමාරුවක් නැතුව ම මට ඒ රස්සාව ලැබුනා.හැබැයි පත්වීම ලැබුනෙ වැඩි වැඩක් නැති තැනක.මෙච්චර කල් දවල් රෑ නැතුව වැඩ කරපු මට ඒක හරිම කම්මැලි තැනක් වුණා. ඒකත් ආශිර්වාදයක් කරගෙන මම ඒ ලෙවල් පාඩම් කරන්න ගත්තා. පාස් වුණා. ඊළඟ ස්ටෙප් එක ලිපිකරු.එතනට ආවට පස්සෙ බාහිර උපාධිය පටන් ගත්තා.පරිපාලන සේවා ලිව්වා.පාස් වුණා.ඒක දිගේ ම ඇවිත් අද මෙතන......මේවා එකක් වත් කියන තරම් ලේසි වුණේ නෑ.පුදුමාකාර කැපකිරීම් ගොඩක් ඕන.මගෙත් එක්ක ජොබ් පටන් ගත්ත හුඟ දෙනෙක් මේ පාරෙ එන්න ආවට ඒ තරම් කැපවීම් කරන්න බැරි වෙලා මඟ හැලුනා. එයාල කරපු දේ ප්‍රතිඵල එයාලට.මං කරපුවා මට.......

එරංග සියල්ල අසා සිටියේ නොසැඟවූ විශ්මයෙනි.එය විශ්වාස කරන්නටවත් නොහැක.ඒ කල්පනාවෙන් රිය පැදවූ ඔහුට  නිල නිවසට ආ බව වත් සිහියක් නොවීය.

දිසාපතිතුමා බස්සවා යතුරු පැදියේ ආපසු එන ඔහුට මුලින් තිබුණ කලබලය තවත් නැත.ඔහු මගක් දුර විත් ඇමතුමක් ගත්තේය.

"මචං අරුණයා.මට පාටියට එන්න වෙන්නෙ නෑ බං.හෙට පාන්දර ම සර් එක්ක අනුරාධපුරේ යන්න සෙට් වෙලා.දන්නවනෙ අද ඇවිත් නිදි මරල බීලා එහෙම උදේ නැගිටල හමාරයි. අයියට මං සොරි කිව්වා කියපං.මං වෙන වෙලාවක එන්නං"

සුසුමක් හෙළා නැවත යතුරු පැදිය පණ ගන්වා ගත් ඔහු නතර වූයේ නගරයේ ටියුෂන් තක්ෂලාවේය.මඳක් කල්පනා කර ඒ තුළට ගියේය.

"මල්ලි ඕ ලෙවල් නයිට් ක්ලාස් තියෙනවද මෙහෙ?"

 

Comments