දෙවඟන

 "ක්‍රීඩාවට අධිපති දෙවඟන සුදු කෙට්ටු කෙනෙක් ද?"

බාලිකා පාසලට අළුතින් පත් ව ආ තරුණ ක්‍රීඩා ගුරුවරයා වන චන්දිමගෙන් ඒ ප්‍රශ්නය නැගුනේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය සැලසුම් කරන මූලික කතා බහේදීය. පාසලේ සිරිත වන්නේ සමාරම්භක උළෙලේදී නිවාස හතරෙහි නායිකාවන් විසින් දල්වා රැගෙන එන ගිනි සිළු හතර පිට්‍ටනිය මැද දී ක්‍රීඩාවේ දෙවඟන ලෙස ඇඳ පැළඳ ගත් සිසුවියක විසින් පිළි ගනියි.ඉන්පසු ඇය ඔලිම්පික් ගිනි සිළුව දල්වා ක්‍රීඩාවේ ප්‍රතිඥා ප්‍රකාශයක් කියවයි. ඈ ඉදිරියේ ක්‍රීඩා උත්සවය පුරා තරඟ වැදුණ වදින ක්‍රීඩිකාවෝ දිවුරුම් දෙති.මෙය ඉතා වැදගත් අංගයක් ලෙස සියළු දෙනා පිළිගෙන තිබුණි.මෙම දෙවඟන ලෙස තේරීමට ලැබීම මහා වාසනාවක් ලෙස ද සැලකුනේය. ඒ සඳහා සෑම වසරකම සුදුසුකම් ලැබූයේ පාසලේ ලස්සන ම යයි සැලකූ සිසුවියකි. බොහෝ විට ගුරු මණ්ඩලයේ හෝ පාසලට බොහෝ උදව් උපකාර ඇති ආදි ශිෂ්‍යාවකගේ ළඟ ම නෑයෙකි. කවුරු සුදුසුකම් ලබනු ඇත්දැයි සිසුවියෝ ඔට්ටු අල්ලන්නට පවා පෙළඹෙති.අත යටින් ඒ සඳහා විවිධ උපකාර ද කෙරුන බව ප්‍රසිද්ධය.ඇය ඉන් පසු හැසිරෙන්නේ ඔටුනු පළන් රැජිනක සේය. ඇයට වසරක් පුරා සෑම අතින් ම අවධානය, ආකර්ශනය, මුල් තැන හිමි වේ. මේ නිසා මේ චරිතය දෙවෙනි වූයේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාවට පමණක් බව කීම අතිශෝක්තියක් නොවේ.
"දෙවඟනක් කිව්ව ම ලස්සන කෙනෙක් නෙ සර්"මේ ඇබිටිල්ලන් කොල්ලාට ඒක වත් තේරෙන්නේ නැත්දැයි කියවෙන ස්වරයකින් තලතුනා ගුරු මහත්මියක් කීවාය.
"ලස්සන කියන්නෙ සුදු කෙට්ටු අය විතරද මිස්?එතකොට ඇට ගැහිච්ච පාණ්ඩු පාට සුද්දියො ඔක්කොම රූප සුන්දරියොද?" ඔහු නැවත ඇසුවේය.
"මේක ලංකාව චන්දිම සර්.ලංකාවෙ පිළිගන්නෙ එහෙම තමා" එවර තවත් ගුරුවරියක් තරමක් තදින් කීවාය.
"අනේ අනේ මිස්ලා ඔක්කොමත් කැතයි ද එතකොට?"චන්දිම මහ හඬින් හිනැහුනේය. ගුරුවරියන්ගේ මුහුණු රතු දම් කළු ආදී විවිධ පාට වලට හැරුනේය.
"කළු, තළඑළළු, මහත අය ඔක්කොම කැත ද එහෙනම්?" ඔහු තවත් ඇසුවේය.
"හරි දැන් සර් කියන්නෙ මේ සැරේ අපි තෝර ගන්න ඕන කළු මහත ළමයෙක් ද දෙවඟන විදියට.අපේ ඉස්කෝලෙ ලස්සන ම ළමයා එයා විදියට ද පෙන්නන්නෙ?" තරහ නොපෙන්වා සිටීමට උත්සාහ ගනිමින් තවත් ගුරුවරියක් ඇසුවාය.
"මිස් මේක රූප රාජිනියෝ තෝරන තරඟයක් නෙවේ.ක්‍රීඩා උත්සවයක්.ඕකට ගන්න ළමයා අඳින්නෙ ක්‍රීඩාවේ දෙවඟනට නම් එයාගෙන් පේන්න ඕන ක්‍රීඩා දෙවඟනගෙ ලක්ෂණ!" එවර චන්දිම ස්ථිර ලෙස කීවේය.
"මොනවද ඔය ලක්ෂණ?සර් නම් එයා ව දැකල තියෙනවා වගෙ.ලක්ෂණත් දන්නෙ ඒකනේ"සරදම් ස්වරයකින් කියවුනේය.
" නුවණට අධිපති දෙවියන් අඳින්නෙ පොත් පත් එක්ක.කලාවට අධිපති දෙවියන් අඳින්නෙ සිතාර් එකක් එක්ක. යුද්ධයට අධිපති දෙවියන් අඳින්නෙ ආයුධ එක්ක. එහෙම නම් ක්‍රීඩාවේ දෙවඟනටත් ක්‍රීඩා ලක්ෂණ තියෙන්න ඕන"
"ඒ කියන්නෙ බෝලයක් බැඩ්මින්ටන් රැකට් එකක් අතට දීලද සර්" එක් ගුරුවරියක් සරදම් කරද්දී අනෙක් සියළු දෙනා හිනැහෙන්නට ගත්තේ අළුත් සර් ව අපහසුවට පත් කරනා අදහසිනි.
"ක්‍රීඩාවට අධිපති දෙවඟන සුදු ම සුදු සෝමාරි පාට වෙන්න බැහැ.හොඳට අව්වට කළු වුණ පදම් වුණ නීරෝගී හමක්.ළඳ බොළඳ මූණක් නැහැ.අව්ව දූවිල්ල දාඩිය එක්ක ගැටුණ ජයග්‍රහණය ගැන අධිෂ්ඨානශීලී පරිණත මුහුණක්.බෝනිකි අත පය නැහැ. යගුලියට හෙල්ලට වොලිබෝල් නෙට්බෝල් වලට රැකට් වලට මැදුණ ගොරෝසු ඇඟිලි. හොඳට දුවල පැනල ව්‍යායාම කරල පුරුදු ශක්තිමත් මාංශ පේශී. නීල මොණර පිල වගේ අව්වක් නොපෙන්නා හදපු බිම වැදෙන කොණ්ඩයක් නෙවේ අව්ව වැස්ස පින්න දාඩිය දූවිලි දරාගෙන පුරුදු කොණ්ඩයක් නැත්නම් මේන්ටේන් කරන්න වෙලාව නැතුව කපපු කොණ්ඩයක්......අන්න එහෙම කෙනෙක් තමා නිවැරදි ම දෙවඟන."කිසි ම සරදමක් ගණන් නොගෙන එක හුස්මට කියාගෙන ගිය චන්දිම අනෙක් ගුරුවරියන්ගේ මුහුණු බැලුවේය.
"අම්මෝ.....රූප රාජිණියක් තෝරන එක ලේසියි නෙ.මේ කොලිටි ඔක්කොම තියෙන ලමයෙක් කොහෙන් හොයන්නද?" "අමාරු වෙන එකක් නෑ මිස්.මේ දවස් වල පිට්ටනියට බැහැල බැලුව නං ස්පෝට්ස් කරන බහුතරයක් ලමයි ඔය වගේ.මිස් ලා ට එයාලගෙ අගේ තියෙන්නෙ හවුස් එකට ලකුණු ගේනකල් විතරයිද?"
මේ දෙබස් පාසල පුරා විදුලි වේගයෙන් තවත් කරුණු එක් වෙවී ප්‍රචාරය වූයේ බට කැලයක් ගිනි ගත් ගානටය. කඩවසම් අළුත්සර් වෙතින් දෙවඟනගේ කාර්යය භාරය ගැන උපදෙස් ගන්නට වරද්ද වරද්දා රියසල් කරමින් ඔහු හා රැඳෙන්නට පුල පුලා බලා සිටි නව යොවුන් සිත් කීපයක් ම බිඳ වැටුනේය. ඕනෑ ම දෙයකට කෑ කොස්සන් ගසන ගුරුවරියෝ කීප දෙනෙක් චන්දිම ට යුතු අයුතුකම් කියා දෙන්නට පෙරමුණ ගත්තත් ඔවුහු "අම්මල ඕව කියල සර් අපිවත් ටීම් එක ඉස්සරහ චාටර් කරයි"යන ඔවුන්ගේ දරුවන්ගේ තර්ජනය හමුවේ පසු බැස ගියහ. ආදි සිසුවියන් ද ඊට අත පොවන්නට උත්සාහ කළත් චන්දිමගේ තර්කය ඔවුන්ටත් බිඳ හෙලිය නොහැකි විය. විදුහල්පතිනිය ද ඔහුට එකඟ විය. වසරක් පාසා එළඹෙන කිසි ලෙසකිනුත් නැවැත්විය නොහැකි වූ මේ පොරය ගැන ඇය සිටියේ ද මහා අකමැත්තකිනි.
*********************************
කලින් වසරේ ක්‍රීඩා වර්ණ දිනූ යගුලිය,කව පෙත්ත හා හෙල්ල විසි කිරීමේ ශූරිය දෙවඟන වෙස් ගෙන ඔලිම්පික් ප්‍රතිඥාව කියවන්නට පිටිය මැද අභිමානවත් ව නැගී සිටියාය.
-------Shanika Tennakoon---------

Comments