එපා බූදලේ


  බත් එකත් බැඳ කාමරයට ආ පියසීලි සැමියා දයාරත්න ගේ උරහිසට අත තබා ඇහැරෙව්වාය.

"මේ.....පහට කාලයි වෙලාව"
"අප්පච්චියේ මැරුණා වගේ නින්ද ගියා නෙව. බස් එක ගියා ද දන්නෙත් නෑ"
කඩිමුඩියේ නැගිට ගත් ඔහු ලෑස්ති වී සුදු කමිසයත් සරමත් ඇඳගෙන බත් පාර්සලයත් වතුර බෝතලයත් කුඩයත්
 දැමූ බෑගය එක අතකත් ලිපිගොනු දැමූ ඉටි කවරය අනෙක් අතටත් ගෙන විදුලි පන්දම ද දල්වාගෙන මගට 
බැස්සේය.
ඔහු නොපෙනී යනතුරු දොරකඩ බලා සිටි පියසීලි හුස්මක් හෙලා දොර වසා ගෙතුළට ආවාය.
"අද දවසත් ඉවරයි"ඇය තමන්ට ම තොළ මතුරා ගත්තාය.
                    දයාරත්න මේ යන්නේ පවුලේ බූදල් නඩුවටය.ගත වන්නේ දහවන අවුරුද්ද වුවත් නඩුව එතැනමය.
සිදු වන්නේ පෙරකදෝරුවන් පොහොසත් වීම පමණය. දවස් පඩි ලබන දයාරත්නට අද දවසට ආදායමක් නැත.
ඊට හරි යන්නට දවස් ගණනක් නැහී හම්බ කර ගත් සියල්ල නඩු අංකය කියද්දී පුටුවෙන් නැගිට හිස නවා ඉඳ
 ගන්නා ටිකට පෙරකදෝරුවාට පුදන්නට වන බව දයාරත්න කියන්නේ කණගාටුවෙනි.
                    ඔහුගේ අනෙක් සහෝදර සහෝදරියන්ගේ තත්ත්වයද මීට වැඩි වෙනසක් නැත.ඔවුන් අතරින් රජයේ
 රැකියාවක් කරන්නේ ලොකු අයියා පමණි.එහෙත් ඔහු ද ණය ගොන්නක එරී ඇති බව ගිය පාර ආ වෙලේ
 කිව්වේය.
දයාරත්නගේ තාත්තා ජිනේරිස් ගමේ මිනිසුන් කියන හැටියට බිංදුවෙන් ජීවිතය පටන් ගත්තෙකි.මහ පොළව හා 
ඔට්ටු වුණ ඔහු හැකි හැම සත පහක් ම ඉතිරි කළේය.මවුපිය උරුමයෙන් ලද දෙයක් නැත ද ටිකෙන් ටික ඉඩ
 කඩම් මිල දී ගෙන අවසානයේ අක්කර ගණනාවකට හිමිකම් කීවේය.ජිනේරිස් ට දරුවන් හය දෙනෙකි. පිරිමි 
හතරක් හා ගැහැණු දෙකක් ලෙසය. එයින් වැඩුමලී වත්ත උදළු ගෑමට ආ කොල්ලෙක් සමග හාද වී රෑපානේ 
අතුරුදහන් වූයේ එතෙක් පියා ගමේ දිනාගෙන තිබූ නම්බු නාමයට ගොම බිඳුවක් එකතු කරමිනි.ඔහු මුළු ගමට ම 
ඇසෙන්නට ගෝරනාඩු කළේය.තම වත්කමින් අබ ඇටයක තරම් දෙයක් ඇයට නොදෙන බවට තම ඉඩ කඩම්
 වල පස් පාගන්නට නොදෙන බවට මෙන් ම ඔහුගේ මළගමටවත් ඇය නොආ යුතු බවටත් ශපථ කලේය.ඒවා ඒ
 ආකාරයෙන් ම සිදු විය. ලොක්කී ඈත ගම්මානයක දරු දෙදෙනෙක් ද සමග දහ දුක් විඳින බවක් ආරංචි වුවත්
 සෙලවුනේ ඒ ගල් හදවත නොවේ. සියල්ල නිසි ලෙස සිදු කළ ජිනේරිස්ට අමතක වූ එක් දෙයක් විය.ඒ තම
 මරණයට පෙර දරුවන් අතර ඉඩ කඩම් පිළිවෙලක් කරන්නටය.
නොසිතූ වෙලාවක ඔහු මෙලොව හැර ගියේ ඒ  ගැටළුව අනෙක් කීකරු දරුවන්ට ඉතිරි කරමිනි.මෙතෙක් සමගිය
 බලය වූ පස් දෙනාගේ සටන ඇරඹුනේ එතැන් සිටය.
"මමයි තාත්තා ව අන්තිම වෙනකල් බලා ගත්තෙ.ඒ නිසා වැඩි කොටහ අයිති මට"
"තාත්තා කිය කිය ම හිටියෙ වෙලෙන් උඩහ කෑල්ල මට දෙනව කියල.ඒ නිසා ඒ ටික නම් මට ඕන."
"දෑවැද්දට වත් හරි හමන් දෙයක් දුන්නෙ නෑ. මට හැමදාම නැන්දම්මාගෙ ඇණුම් බැනුම්.ඒ නිසා මටයි ඕන 
වැඩියෙන්"
"ලොකු අයියා ගමේ ඉඩම් අරන් මෙහෙ ඉඳන් බලා හදා ගනීද.කාට හරි විකුණලා දායි."
"අයියට නං පැන්ෂන් එක තියෙනවා.බැරි කාලෙක අපිට මොනවද.අනික තාත්තා එයාට දෙන්න ඕන හරිය වියදම්
 කළා ඉගෙන ගන්න කාලෙ"
" අත් දෙකේ ම කර ගැට එනකල් තාත්තා එක්ක හරි හරියට පොළව කොටල කොරටු වලට වතුර දාල අස්වනු 
පොළට ගෙනිහින් විකුණලා මේ ඉඩං ගන්න සතේ සතේ හරි හොයල දුන්නෙ මං.මේවයෙ වැඩි උරුමෙ ඕන මට."
 "පිල්ලෑවෙ ඉඩම ගත්ත වෙලේ එහා ඉඩමෙ එකා වැට මායිමට රණ්ඩුවට ආව.ඌ ගහපු පොලු පාරට මං අත 
නොතියන්න තාත්තෙක් නෑ අපිට.මේව අයිති වෙන්න ඕන මට"
"පොඩ්ඩා ට ඉන්නෙත් කෙල්ලොම දෙන්නෙක් වෙච්චි කොට ඌට දුන්න කියන්නෙ අපේ තාත්තා දුක්
 මහන්සියෙන් හම්බ කරපු දේවල් පිට එවුන්ට යන එක. එහෙම කොහොමද"
මේ කතා වලට මැදිහත් නොවුනේ පවුලෙන් අමතක කළ ලොකු අක්කා පමණි.පවුලට අමතක වුවත් ඇගේ
 අයිතිය නීතියට අමතක නැති නිසා බූදල් නඩුව ලියවෙද්දී ඇයගෙන් ද කරුණු විමසා තිබුනි.
"අනේ මල්ලියේ දරු දෙන්නෙක් එක්ක මම කොහොමද උසාවි ගානෙ එන්නෙ ඔය හැටි දුරක් බස් එකටත් වියදං.
 හැමෝම මාව අත් ඇරියට පස්සෙ මට ඔතන ඉන්න පුළුවන්ද.මම ලියුමක් අස්සන් කරල දෙන්නම්.මගෙ අයිතියත්
 උඹල ම බෙදා ගනිල්ලා"
ඉබ්බා දියට දැම්මාක් වැනි ඒ පිළිතුරෙන් සතුටු වූ සොයුරු සොයුරියෝ තමන් පස් දෙනා අතර බූදලය බෙදෙන
 මෙන් නඩුවට පා තැබූහ.
"අන්තිමට ලොකු අක්කා විතරයි මේ කොටි වලිගෙන් නිදහස් වුනේ" තවත් සුසුමක් හෙලා අතීතාවර්ජනය අවසන්
 කළ පියසීලී දරුවන්ට අවදි කරවන්නට සිතා උන් තැනින් නැගිට්ටාය.
හැමදාමත් නඩු දිනයේ හෙම්බත් බවේ අග්ගිස්සටම ගෙවී ගෙදරට ගොඩවන දයාරත්න දිනෙක ආවේ 
ප්‍රබෝධයෙනි.
"අළුත් නඩුකාරයෙක් ඇවිත්.පෙරකදෝරුවො ඔක්කොටම බැන්නා නඩු මේ තරම් කල් අදිනවට.අපේ නඩුවත්
 ලබන පාර ඉවරයක් කරල දානවා කිව්වෙ"
පියසීලිට සැනසුමක් දැනුනේය.ඊළඟ නඩු වාරය වන තුරු ඇය ඇඟිලි ගැන්නාය.ගත වූ කාලය ඇය තුළ ඉඩ කඩම්
 ගැන තිබූ පුංචි ම හෝ ආසාවත් දිය කර යැවූ නිසා ඇයට දැන් අවශ්‍ය හොඳ විදියකින් මෙය අවසන් වන්නටය.
"ඔන්න තීන්දුව දුන්නා.....ඉඩ කඩම් ටික විකුණලා සහෝදරයන්ටයි සහෝදරීටයි සම සේ සල්ලි බෙදා ගන්න 
සලස්සනවලු"
සතුටින් ගෙදර ආ දයාරත්න කියද්දී පියසීලීගේ දෑස් පුදුමයෙන් මහත් විය.
"අනිත් අය කැමති වුණාද ඒකට?"
"අපොයි උඩින් ම...ලොකු අයියගෙ දුව රට යවල උගන්නන්න ලු ඉන්නෙ.සල්ලි කන්දරාවක් එපැයි ඒකට....
නංගිලත් ගෙවල් 

කිට්ටුවෙන් තේ ඉඩම් කෑල්ලක් ගන්න සල්ලි මදි වෙලා...ගමේ හිටියට හිච්චාටත් වාරු නෑ දැන් පොළව මත්තෙ නහින්න .... 

අපිට වුණත් මේ ගේ කෑල්ල පිළිවෙලක් කරගන්න වෙන්නෙ එහෙම එකපාර සල්ලියක් අතට ආවොත් තමයි"ඔහු බිරිඳට 

නොව තමන්ටම මෙන් ඒ ගත් තීරණය සාධාරණීකරණය කරමින් කියාගෙන ගියේය.

ඉඩම් වෙන්දේසිය ඉක්මනින් ම පැවැත්වුණ අතර උරුමක්කාරයන්ට බැංකු පොත් ද රැගෙන එන්නට කියා තිබුණි.

"ඒකත් හොඳයි.අතට ගත්තොත් ඔය සල්ලි ටික කොහෙන් හිඳිල යයි ද දන්නෙ නෑ" අතට සල්ලි ඇත්නම් සැමියාගේ ලෝස් නැති වියදම් කිරිල්ල ගැන හොඳ හැටි දන්නා පියසීලි තමන්ට ම තොළ මතුරා ගත්තාය.

ඉඩම් විකුණා මුදල් රැගෙන එන්නට ගිය සැමියා එන තුරු ඇය වරින් වර පාර බැලුවාය. හොඳ මිලක් ලැබී ඇති බව දැන ගන්නට ලැබුණත් ගණන හරියට ම ඔහුවත් දැන සිටියේ නැත.

මහා වෙහෙසකින් ගෙට ගොඩ වූ දයාරත්න ඉස්තෝප්පුවේ හාන්සි පුටුවට ඇද වැටුනේය. පියසීලී දෙතුන් වරක් එබී බැලුවාය. ඔහේ බලා ගත් ගමන්ය. මුහුණත් හරි නැත.

මොනව වුණත් උපන් දා ඉඳන් හැදුණ වැඩුණ තැන නෙ.දැන් ඉතිං බිං අඟලක් වත් තමන්ට නෑ නෙ. ඇය හුස්මක් හෙලා තේ එකක් ද හදාගෙන ළඟට ගියාය.ටීපෝව මත බැංකු පොත ඇත.ඇය හෙමිහිට එය පෙරළා බැලුවාය.අද දිනය සමග එහි සටහන් ව ඇති ඉලක්කම ඇයට කියවා ගන්නටද බැරි තරම්ය.

ඇගේ සිත සතුටෙන් ඉපිලුනේය.

මේ ගානෙන් ගේත් පිළිවෙලක් කරගෙන දරුවො තුන් දෙනාගෙ පොත් වලත් කීය කීය හරි දාන්න පුළුවන්.එතකොට උන්ගෙ අනාගතේ ගැන බයක් නෑ.ඉස්සරහ කෑල්ල කඩ කාමරයක් විදියට හදා ගෙන බඩු ටිකක් දා ගත්තා නම් මටත් කීයක් හරි හම්බ කරන්න තිබ්බා ගෙදර ඉන්න ගමන් ම......හප්පා මෙච්චර ගානක් අපට දුන්නා වගේ අනිත් හතර දෙනාටත් ඒ ගාන ම දෙන්න ඇති.හොඳ ම සල්ලිකාරයෙක් තමා එහෙනං.

"එක ම කෙනා ද ඉඩම් ඔක්කොම ගත්තෙ?"

ඇය හෙමින් ඇසුවාය.

"හ්ම්"

"හොඳ සල්ලිකාරයෙක් වෙන්ඩෑ"

"හ්ම්"

"බිස්නස් කරන කට්ටියක් ද?"

"හ්ම්"

"ලොකු සල්ලියක් යට කරල තියෙන්නෙ"

"හ්ම්"

"පැක්ටරියක් වත් හදන්නද?"

"හ්ම්"

දැන් නම් පියසීලිට තරහ නැගෙයි.

මං කළ දෙයක් යැ.මාමණ්ඩිගෙ මෝඩකං මගෙ පිටින් යවන්නෙ.අපේ දෙමාපියො යුතුකම් ඉෂ්ඨ කරල මේ ඉඩං කෑල්ල වත් නොදුන්න නං අද මහ පාරෙ.ඇය තමන්ට ම තොල මතුරා ගත්තාය.

"අනේ යසයි ගමේ උන්ට රස්සාවක් වත් ලැබෙයි.....කොයි පළාතෙ කට්ටියක් ද?"

දයාරත්න ඉද්ද ගැසුවාක් මෙන් පුටුවේ කෙළින් වී ඇය දෙස හොල්මනක් දුටු කලෙක මෙන් බැලුවේය.

"ඉඩම් ඔක්කොම ගත්තෙ ලොකු අක්කගෙ ලමයි දෙන්නා"

"ආ.....මොකක්?"

"උං ඒ ටික අරන් අක්කගෙ නමට පැවරුවා. තාත්තා පස් පාගන්න තහනං කෙරුව ඉඩම ඩෝසර් කරල හෙට අනිද්දට එතන ගහයි ඉන්දුමතී හෝටල් සමූහ ව්‍යාපාරය.!!!"

 

Comments