හිත ඇත්නම් පත කුඩා ද

    


           
පාසලෙන් ඉවත් වූ වහා ම විදෙස් ගත වූ රෙබෙකා තම හොඳම මිතුරියන් වූ චලනි, අනිතා,දුලනි සහ එරන්දි ගෙන් සම්පූර්ණයෙන් ම වාගේ ඈත් වූවාය.අවුරුදු ගණනකට පසු ලංකාවට එද්දී වත් ඔවුන් සියළු දෙනා එකට මුණ ගැසීමට ඇයට ආසා සිතුනේය.ඇයට අන්තර්ජාලයෙන් පහසුවෙන් ම සොයා ගත හැකි වූයේ දුලනිය.ඒ හරහා අනෙක් තිදෙනා ද කෙසේ හෝ සම්බන්ධ කරගෙන පස්දෙනාට හමු වන්නට වරුවක් සකසා ගන්නට අමාරුවෙන් නමුත් හැකි විය.ඔවුන් මුණ ගැහෙන්නට දා ගත්තේ සෙනසුරාදා හවස 3ටය.දවල් 2 වෙද්දී රෙබෙකා ආවාය.පැයක් පමණ දෙදෙනා ම නොනවත්වා තම තමන්ගේ තොරතුරු විස්තර ආ ගිය පැරණි රසාංග කියවා ගත්හ.

"දැන් චලනි මොනවද කරන්නෙ දුල්?" හුස්මක් ගන්නට කතාව නැවැත්වූ විගසින් රෙබෙකා ඇසුවාය.

"ආ...එයා සුපිරි.කැම්පස් ලෙක්චරර් කෙනෙක් බැන්දෙ.දැන් හබී ප්‍රොෆෙසර්. කසල කළමනාකරණය ගැන ටීවී ප්‍රෝග්‍රෑම් වලටත් එනවා.හරි ෆේමස් කෙනෙක්"

"ෂහ්...නියමයි නෙ.එතකොට අනිතා?"

"එයාටත් හොඳට ම හොඳයි.ලොකු බිස්නස්මන් කෙනෙක් මැරි කළේ.හබී එක එක රටවල ගිහින් ගෙනත් දුන්න ඒවා ෆේස්බුක් දානවා හැමදාම."

"නියමයි නියමයි.එතකොට කොහොමද එරන්දි?"

දුලනිගේ මුහුණ වෙනස් විය.

"එයා නම්......පව් ඉතිං.ඒ කාලෙ යාළු වෙච්ච කොල්ලා ම බැඳ ගත්තා.එක ළඟ දරුවො දෙන්නෙකුත් ඉපදුනා.ඒ මත්තෙ ම නහිනවාලු. එළවළු විකුණනවා කියල තමා ආරංචි"

"අනේ පව්.....අද එන එකක් නැද්ද දන්නෙ නැහැ එහෙනං"රෙබෙකා ද සැබවින් ම දුක් විය.

"නෑ නෑ මං අමාරුවෙන් නම්බර් එක හොයාගෙන කතා කලේ.අපි පස් දෙනා ම එකතු වෙන නිසා එනවමයි කිව්වා"

ටික වේලාවකින් චලනිත් අනිතා ත් එකට ම මෙන් ආහ.

"හරි ශෝක් ෆීල්ඩ් එකක් නෙ හස්බන්ඩ් කරන්නෙ.අපේ රටවල තාම කුණු කියන්නෙ ලොකු ප්‍රශ්නයක් නේද?"

ආගිය තොරතුරු කතාවෙන් පසු රෙබෙකා චලනිගෙන් ඇසුවාය.

"අනේ අපි වෙන දෙයක් කතා කරමුකො" චලනි වහා කීවාය.

"ඇයි ඒ?" තමන්ගෙන් වැරදි දෙයක් කියවුණාදැයි බිය වූ රෙබෙකා වහා ඇසුවාය.

"අපේ හස්බන්ඩ් හැමවෙලාවෙම කතා කරන්නෙ ඕක විතරමයි.එක්කො ඒ ගැන පොත්,වීඩියෝ,ටීවී ප්‍රෝග්‍රෑම් බලනවා. ඒවා ගැන ලෙක්චර්ස්,වර්ක් ශොප් වලට රෙඩි වෙනවා.ඔහේ මේසෙට තියෙන එක බෙදා ගන්නවා මිසක් කන්නෙ බොන්නෙ මොනවද වත් දන්නෙ නෑ.ගෙදරට එන්නෙ යන්නෙත් ඒවටම සම්බන්ධ අය විතරයි.මට තියෙන්නෙ ඒ හැමෝටම කෑම බීම හද හදා ඉන්න. මගෙ ඔළුවත් කසල ගොඩක් වගේ"ඇය එක දිගට අඳෝනාවක් කියාගෙන ගියාය.

"ඔයාගෙ මහත්තයා ගෙදර ඉන්න එක ගැන සතුටු වෙන්න ඔයා උයන දෙයක් කන්න බොන්න.මට කොහෙද එහෙම වාසනාවක් වත්..."අනිතා දුක සේ කීවාය.

"ඒ ඇයි?"

යෙහෙළියෝ එක වර ඇසූහ.

"එයාට ගෙදර එන්න වෙලාවක් කලාවක් නෑ. ඒ ආවත් කොහෙන් හරි කාලා එන්නෙ.මුල දි මමත් රෑ ඇහැරගෙන නොකා නොබී බලන් ඉඳල ගැස්ට්‍රයිටිසුත් හදා ගත්තා.සති ගණන් පිට රටවල් වල.වෙලාවකට මට එයාපෝට් එකේ ඉඳන් කෝල් කරන්නෙ මම සතියකට ජැපෑන් යනවා යූකේ යනවා කිය කිය.මං අර මහ මාළිගාවෙ උඩ බලන් තනියෙන්"

අපොයි පේන තරම් ලස්සන නෑ නෙ ඒ ජීවිත ....රෙබෙකා තනිව සිතුවාය.

ඔවුන්ට ඒ ගැන වැඩි කතාවකට ඉඩ නොතබා එරන්දි එනු පෙනින.

"හායි ගර්ල්ස්....සොරි මං පරක්කු වුණාට.අද ක්ලාස් එක ටිකක් දිගට ඇදුණා"

ඇය සිනා සීගෙන ඔවුන් අතරට ආවාය.

"ඔයා දැන් ක්ලාසුත් කරනවද ?"

අනේ මේ කෙල්ල පවුලට හම්බ කරන්න විඳින දුකක් යයි සිතෙද්දී දුලනි ඇසුවාය.

"නෑ නෑ මම ක්ලාස් එකකට යනවා කම්පියුටර් ඉගෙන ගන්න"

"මේ වයසට මොන කම්පියුටර් ද අනේ?"

ඉගෙනීමට වයසක් නැති බව අමතක මහාචාර්ය බිරිඳ ඇසුවාය.

"ඔයාට මහත්තයා යන්න දුන්නද?"

දවස ගෙවා ගන්නට බැරි ව විඳවන ව්‍යාපාරික බිරිඳ ද එසැනින් ඇසුවාය.

"එයා ම තමා කිව්වෙ දැන් දුවයි පුතයි ලොකුයි  වීක් එන්ඩ් එකේ එයත් ගෙදර නිසා මට ආයෙ ඉගෙන ගන්න පටන් ගන්න කැමති පැත්තකින්.මම නං කම්පියුටර් ඉගෙන ගන්න පටන් ගත්තෙ කම්පියුටරයක් ප්‍රින්ටර් එකක් ගෙවන්න අරන් ටයිප් සෙටින් ටිකක් කරල ආදායමක් ගන්න බලාගෙන.හැබැයි දැනට ම මට ඊට වඩා දෙයක් කර ගන්න පුළුවන්" ඇය නිර්ව්‍යාජ ව කීවාය.

"හැබෑද දැන් මුදලාලි කෙනෙක් කියන්නෙ?"

වටපිටාවේ පරිසරය තුළ ඉරිසියාවක සෙවණැලි දුටු දුලනි මාතෘකාව වෙනස් කළාය.

"අනේ....ඒක නම් හිතක වත් තිබුනෙ නෑ. මගෙ බබාල දෙන්නගෙ පරතරේ අවුරුද්දයි. රුචිරත් ජොබ් එක පටන් ගත්තා විතරයි. ලොකු වියදමක් ආවා එක පාර ම. මට ජොබ් එකකට යන්න බෑ බබාල දාල. බිස්නස් කීපයක් කරන්න බැලුවා ඒකත් හරි ගියෙ නෑ. ගෙදර වියදම රුපියලකින් වත් අඩු කරන්න හිතල ගෙදරට ගේන මිරිස් කරලෙ බටු ගෙඩියෙ ඇට ටික ගේ පිටිපස්සෙ විසි කරල දැම්මා.පළා මිටියෙ දඬු ටික පස් වලට යට කළා.රුචිර තමා ගෙදර ඉන්න දවසට ගොම, කොම්පෝස්ට් ටිකක් දාල සාත්තු කළේ.අපිට වැඩි තරම් පලදාව හැදුනා.ළඟ ළඟ ගෙවල් වලටත් දුන්නා.රසායනික දේවල් මුකුත් දාල නැති නිසා එයාලත් හරි කැමති වුණා. එයාලගෙ ම යෝජනාවකින් තමා ගෙදර ම පැත්තක ටික ටික විකුණන්න ගත්තෙ.දැන් නම් වවන වැඩ වලට බබාල දෙන්නත් හරි සපෝට්.මටත් එයාල ඉස්කෝලෙ ගියාම වෙලාව තියෙනවා දැන් වැඩේට."

"ඔයාට බැරි ද එළවළු පෙති කපල වේලල පැකට් කරල හදන්න"රෙබෙකා ඇසුවාය.

"ම්ම් කරල නම් නෑ.ඒත් බැරි වෙන එකකුත් නෑ.ඇයි ඒ?"

"පිටරට වලත් හොඳ ඉල්ලුමක් තියෙනවා කෙමිකල් ෆ්‍රී එළවළු පළතුරු වලට. ඔයාට හොඳ කොලිටි එකට හදන්න පුළුවන් නම් මම මාකට් එක අල්ලලා දෙන්නම්.මගෙ පැත්තෙන් කරන්න පුළුවන් උපරිම සපෝට් එක දෙන්නම්" රෙබෙකා කීවාය.

"අනේ තැන්ක් යූ වෙරි මච්.පුළුවන් වෙයි.ඔයා යන්න කලින් මම සාම්පල් දෙක තුනක් වත් හදා ගෙන ඔයාට පෙන්නන්නම්.හොඳ නම් විතරක් උදව් කරන්න"

 "ඔයාට තාක්ෂණය මම හොයල දෙන්නම්" දුලනි ද වහා කීවාය.

 "කාලය, සල්ලි, පහසුකම්, දැනුම ඔක්කොම අත ළඟ තියෙද්දි අත් බැඳගෙන වෙන අයට දොස් කිය කිය ඉන්න මිනිස්සු අතරෙ ඔයා සුපිරි කාන්තාවක්"දුලනි චලනිගේත් අනිතාගේත් මුහුණු බලමින් කීවාය.

 

Comments