සමගිය


 අලුතින් විවාහ වී අලුත් නිවසේ පදිංචියට ගිය නාමල් තරංගි යුවළගේ ළඟ ම අසල්වැසියන් වූයේ තාප්පයෙන් එහා නිවසේ සිල්වා යුවලය. දූන් පුතුන් විවාහ වී දුර බැහැර පදිංචිව සිටින නිසා ඔවුන් මේ දෙදෙනාට සැලකුවේ තමන්ගේ දරුවන් ගානටය.තරංගිට සිල්වා නෝනා හමු වන්නට යන්නට කාලයක් වේලාවක් ඕනෑ නැත. ඇය සොයා කුස්සියට ම වුවත් ගිය හැක.

නමුත් එදා නම් තමන් ගියේ වැරදි වෙලාවකදැයි තරංගිට සිතුනේය.සිල්වා මහතා හා තවත් හතර පස් දෙනෙක් බෝතලයක් වට කරගෙන සාදයකි.අපහසුවක් දැනුනෙන් තරංගි ඉක්මන් සිනාවකින් ඔවුන්ට සංග්‍රහ කර සිල්වා මහත්මිය සොයා කුස්සියටම ගියාය.

ඇය සාදයේ වගක් වත් නැතිව පිටි මිශ්‍රණයක් අනයි.

"මොනවද ඇන්ටි හදන්නේ?"

ඇය හිස ඔසවා බලා සිනාසුණාය.

"මාළු පාන් හදනවා දුව"

"මේ හදිසියේ?"

"හදිසියක් නෑ..."ඇය විනාඩියක් පමණ පිටි මෝලිය ම අනමින් සිට තරංගි දෙස බැලුවාය.

"දුවට මම පවුලේ සමාදානය තියා ගන්න එක විදියක් කියන්නද?"

"හා ඇන්ටි"

"දැන් ඔයා එද්දි අන්කල් ව දැක්කද?"

"ඔව් අද පාටියක් වගේ නේද?"

"ඔය එයාගෙ අතිජාත යාළුවො ටික.මාසෙකට දෙකකට සැරයක් පාටි දාන්න හේතුවකුයි ඒකට ඕන අඩුම කුඩුම ඔක්කොමයි අරන් මෙහෙ එනවා."

"අනිත් ගෙවල් වලින් බාර ගන්නෙ නැතුව ඇති එහෙනම්" 

"මමත් කැමති නෑ පොඩ්ඩක්වත්...ඒත් ඉතින් අවුරුදු ගානක් මිනිස්සු එක්ක ගැටි ගැටී රස්සාව කරපු මනුස්සයෙක්නෙ.ඉඳහිට හරි යාළුවො එක්ක කතා බහ කරන්න හම්බ වෙන්නෙ ඔහොම දේකදි.අනික අපිට හදිසියක්වත් වුනොත් නෑයන්ට කලින් ඔය කට්ටිය දුවගෙන එන්නෙ"

"ඒ නිසා ඇන්ටි ඉවසගෙන ඉන්නවද?"

"කසාදෙකදි ඉවසීම බොහොම වැදගත් තමා... ඒ වුණාට ප්‍රශ්නයක් වුණාම මිනිස්සු කියන්නෙ පිරිමි එහෙම තමයි....ගෑණු කෙනා දැන ගන්න එපැයි ඉවසන්න....මොකද අපි අමුතු ජීවී කොටසක් ද එහෙම ඉවසන් ඉන්න?"

තරංගිට ඇගේ කතාවට සිනා ගියේය.

"අපේ පවුලෙ සමාදානෙ රැක ගන්න එක විදියක් තමා මේ පිටි ගුලිය"

"ඒ කිව්වෙ ඇන්ටි?"

"දුව දන්නවද බේකරි කෑම වල සොෆ්ට් ගතිය වැඩි වෙන්න එක හේතුවක් තමා හොඳට අනන එක.එයාල එහෙ පාටි දාද්දි මගෙ හිතේ තරහ, පීඩනය ඔක්කොම පිට කරන්නෙ මේකෙන්.පවුලෙ සාමයත් රැකිල.මගෙ හිතත් හරි යනවා.හවසට තේ බොන්න කෑමකුත් හැදිල."

සාලයෙන් එක වර ම උස් හඬින් කොක් හඬලා සිනාසෙනු ඇසුනේය.

ඇය අනමින් සිටි පිටි මෝලිය තදින් කරකවා දෙකට ම කඩා නැවත එක මත තබා තද කළාය.

තරංගි එදා ගෙදර ගියේ මාළු බනිස් හදන රෙසිපියත් ඉල්ලා ගෙනය.

*****

අසල්වැසි නිවසට නවීන පන්නයේ වාහනයක් ඇතුල් වෙන හැටි සිල්වා මහත්මිය දැක්කේ මිදුල අතු ගාද්දීය.ඉන් මඳ වේලාවක පසු සිට ඒ පැත්තෙන් උස් හඬින් කරන කතා බහ, හිනා හඬ නොකඩවා ඇසෙන්නට වූයේය. අවට සිනා, කතා ගැන වැඩි විපරමක් නැති සිල්වා මහතා පවා "නාමල්ලට නෑයො ඇවිත් වගේ" කීවේය.

හොඳට ම හවස් වී වාහනය ආපහු පිටත් ව ගියේය.ටික වේලාවකින් සිල්වා නිවසේ වසා තිබූ ගේට්ටුවට තට්ටු කරන හඬ ඇසුනේය.

සිල්වා මහත්මිය ඉදිරියට ගියාය.

වැසූ දීසියක් රැගෙන එහි සිටියේ තරංගිය.

"නාමල් ගෙ මල්ලි ආවනෙ රට ඉඳන්.....මමත් මාළු බනිස් හැදුවා ඇන්ටි"ඇය කට කොණකින් සිනා සී කීවාය.


Comments