තමන්ගේ මට්ටම්


 පුද්ගලික පාසලක ගුරුවරියක වූ අසේමා අගෝස්තු නිවාඩුවෙන් පසු එළඹුන සඳුදා උදෙන් ම  පාසලට ගියාය.

"හා කොහොමද නිවාඩුව අසේමා..." කාර්‍යාලය ඉදිරියේ දී හමු වූ මැදිවියේ ගුරුවරියක් හිනා වී ඇසුවාය.

"හොඳයි මිස්".

"අද උදේ ම මෙහාටත් දේදුන්නක් පායලා."ඇය සමග සිටි අනෙක් ගුරුවරිය කීවාය.

අසේමා එවර නම් උන් තැන ද අමතක ව අහස දෙස බැලුවාය.

"අහසෙ නෙවේ ස්ටාෆ් රූම් එකේ" 

 ඒ නම් කාට හෝ මඩ ගැසීමක් බව තේරුම් ගත් අසේමා සිනා සී ඉවත බලා ගත්තේ බැල්මකින්වත් ඒ ආරංචියට රුකුල් නොදෙන්නට හිතා ගෙන ය.

එහෙත් ඇය

"ඔයාල වගේ තරුණ කෙල්ලක්වත් නම් කමක් නෑ. හතලිහත් පැනලා තාම අත් ඇරල නෑ විගඩම්. ඕව උලාගෙන මෙතන එන්නෙ මේ ඉලන්දාරි කොල්ලො අවුස්සන්න....."කියාගෙන ගියාය.

"මම අත්සන් කරල එන්නම් මිස්"අසේමා වහා ඉවතට ගියාය. 

අනේ මන්දා. තමන් කන්නෙ අඳින්නෙ ත් නෑ වෙන කෙනෙක් කරද්දී ඉවසන් ඉන්න ත් බෑ තමන්ට ම කියා ගනිමින් ඇය කුතුහලය නිසා ම ස්ටාෆ් රූම් එක පැත්තට ආවේ

 දේදුන්න කුමක්දැයි දැන ගන්නටය. කොරිඩෝවේදී ම දේදුන්න මුණ ගැසිණ.

"මංගලී මිස් වාව් නියමයි ඔයාගෙ කොන්ඩේ!!!" අසේමා ඇසිපිය නොහෙලා කොන්ඩය ගැලපෙන වර්ණ කීපයකින් වර්ණ ගන්වාගෙන ඇති මැදි වයසට කිට්ටු ගුරුවරියක දෙස බලා සිටියාය. ඒ කොන්ඩය ඉතා අලංකාර බවට විවාදයක් නැත.

මංගලී සිනා සී ඇය දෙස බැලුවාය.

"තැන්ක් යූ.කොණ්ඩෙ ඉදීගෙන එනවා.කලු පාට කරන්න බෑ හිතුනා දැන් ම"

"අය්යෝ මේ විදිය හොඳට ම හොඳයි. අවුරුදු දහයකින් තරුණ වෙලා වගේ. කීයක් ගියාද මොකක්ද සැලුන් එක?"

එයට උත්තරයක් දීමට පෙර ඔවුහු ස්ටාෆ් රූම් එකේ දොරකඩ ට පැමිණ සිටියහ.

"දැක්ක ද මංගලී ගෙ කොන්ඩෙ? පිජාමා රෙදි මෝස්තරයක් වගේ" ඇතුලෙන් හඬක් ඇසුණේය.

"හම්බ කරන සල්ලි නිකං අපරාදෙ"

"ළමයිනුත් කැමති ඔය වගේ අරුමෝසම්කාරියන්ට තමා"

 මංගලී දොර ඇරගෙන ඇතුල් වූවාය.

"මගෙ කොන්ඩෙ පාට කරන්න මම ඔයාල කාගෙන් හරි සල්ලි ඉල්ලුවද මිස්?"ඇය ඉතා සුහද ලෙස ඇසුවාය.

"ඒ මොකටද?"

එකවරම ඇය ව දැකීමෙන් තුෂ්නිම්භූත ව ගියත් එහි සිටි ගුරුවරියක් උත්තර දුන්නාය.

"එහෙනම් මම කොන්ඩෙ පාට කළායින් මිස්ලාට මුකුත් කරදරයක් වුණා ද?"

"අනේ අපට කමක් නෑ "

"එහෙනම් මගෙ සල්ලි වලින් මට ඕන දේවල්  කරන එක ගැන වද නොවී දැන් වත් ගන්න පඩියට වැඩක් කරනවද අනුන්ගෙ ඕපදූප හොයන්නෙ නැතුව.තමන් කරන දේ විතරක් හරි වෙලා අනිත් මිනිස්සු කරන හැමදේම වැරදියි කියල හිතන්නෙ පිස්සෝ" මංගලී ගේ කටහඬ ළඟ පාත පන්ති වලටත් ඇසෙන්නට ඇති.

Comments