මී හිත


 "කැපවීමෙන් විශ්වාසවන්ත ව වැඩ කළොත් මේ කම්පැණියෙ ඉහළට ම යන්න පුළුවන් බවට හොඳම උදාහරණය මිස්ට ජයසිරි"

ආයතනය ට බැඳුණ නවකයන්ට ආයතනය හා එහි කාර්‍ය මණ්ඩලය හඳුන්වා දෙමින් යන අතරේ කපිල කීවේය.

"ඒ ඇයි මිස්ට කපිල"

දැන්ම ම ඒ ඉලක්කය තබා ගන්න ට සූදානමින් කෙනෙක් ඇසුවේය.

"මිස්ට ජයසිරි දැන් ඇසිස්ටන්ට් ජෙනරල් මැනේජර්. ළඟදීම ජෙනරල් මැනේජර් වෙනවා. හැබැයි මෙතනට ඇවිත් තියෙන්නෙ අනියම් කම්කරුවෙක් විදියට. තමන්ගෙ ප්‍රධානියාගෙ හිත දිනාගෙන අවංක ව හරියට රාජකාරිය කරපු නිසා තමයි පියවරෙන් පියවර උඩට ඇවිත් අද මෙතන ඉන්නෙ."කපිල ඔහු ගැන තව දුරටත් විස්තර කළේ අසා සිටින්නන් තුළ ගෞරවයක් ඇති වන පරිද්දෙනි.

ජයසිරි මහතා ගේ තවත් වටිනා ලක්ෂණයක් නවකයෝ කල් යාමේ දී සොයා ගත් හ.ඔහු ආයතනයේ ඉතිහාස පොත ය.ආරම්භක සේවකයෙක් වූ නිසා එදා සිට අද දක්වා සිදු වූ සියලු සිදුවීම්, සේවය කළ අයගේ විස්තර,ඔවුන් කළ කී දේ ඔහුට ඉතා හොඳින් මතකය.

"ඕක කරන්න ගියා දැන් අවුරුදු පහකට කලින්.එතකොට ඔතන වැඩ කළේ .......මහත්තයා.ඒ වෙලාවෙ ඕක හරි ගියෙ නැත්තෙ මෙන්න මේ හේතුව නිසා, ඔතන ලෑන්ඩ්ස්කේප් කරන්න සැලසුමක් හැදුවා ඉස්සර.සල්ලි නැති නිසා නැවැත්තුවෙ.ඒක ඇති ගබඩාවෙ. හොයා ගත්තා නම් පොඩි වෙනස්කම් ටිකක් කරන්න ඕන ඇත්තෙ, බෑ මිස් මේ ඩියුටියට ටිකක් ටෆ් කෙනෙක් දාන්න ඕන.කලින් අවුරුදු වලදිත් කස්ටමර්ස්ලා ප්‍රශ්න දැම්මා... මෙවන් උපදෙස් නිසා ඕනෑම වැඩක දී විය හැකි වැරදි අවම කරගෙන එය සාර්ථක ව කර ගන්නට ද ඔහුගෙන් සෑහෙන උපකාර ලැබුණේය.

"මම දවස් කීපයක් ම නෝට් කළා. ඇයි මිස්ට ජයසිරි වෙහිකල් පාක්  එකට නොයා අර  පිටිපස්ස පැත්තෙ අයිනට වෙන්න කාර් එක පාක් කරල පයින් එන්නෙ.එතනින් ආයෙ ගන්නත් කරදරයි හවසට. කෙළින් ම ඩ්‍රයිවර් ලවා දොරකඩින් බස්සවා ගන්න පුලුවන් නෙ." නවකයෙක් වූ භානුක තමන්ට පෙර එහි සේවයට ආ තිසර ගෙන් ඇසුවේය.

තිසර ඔහු දෙස බලා කට කොණකින් සිනාසුණේය.

"මටත් ඉස්සර ඕක හිතුනා ..... භානුක අහල තියෙනවා ද තාපසාරාමයෙ හිටිය මී පැටියාගේ කතාව?"

ඔහු එය නොදන්නා බව පෙන්වන බැල්මක් හෙළුවේය.

"කැලෑවක් ළඟ තාපසාරාමයක හිටියලු මී පැටියෙක්.බොහොම නිදහසේ හැමතැන ම දුව පැන ඇවිද්ද සතා දවසක් දුවගෙන ඇවිත් වෙව්ල වෙව්ලා තාපසයාගෙ කකුල් අතරෙ හැංගුණාලු.හොයල බලද්දි කොහේදෝ යන බළලෙක් ඇවිල්ලා ලු තාපසාරාමෙට.මීයා ගැන දුක හිතපු තාපසයා තමන්ගෙ මැජික් බලෙන් මීයා ව කොටියෙක් කළාලු.කලින් තාපසාරාමයෙ විතරක් දුව පැන්න මීයා ළඟ තිබුණ කැළයටත් ගිහින් එහෙ ඉන්න සත්තු ඔක්කොම බය කළා.නපුරු කොටියෙක් ඉන්න බව ආරංචි වුණ මිනිස්සු වත් ඒ කැළේට ගියේ නැහැ .ඒත් දවසක් මේ කොටියා දුවගෙන ඇවිත් වෙව්ලමින් තාපසයාගෙ කකුල් අතරෙ හැංගෙන්න හැදුවා. තාපසයාට පුදුම හිතුනා මේ තරම් දරුණු සතෙක් වත් බය කරපු සතා මොකාද කියල...... දන්නවා ද ඒ තමයි බළලා.පිටින් කොටියෙක් වුණාට උගෙ ඇඟ ඇතුලෙ ඉන්නෙ මී පැටියෙක්." තිසර භානුක දෙස බැරෑරුම් ලෙස බැලුවේය.

"ඒක කොහොමද මිස්ට ජයසිරි ට අදාල වෙන්නෙ?"

"මිස්ට ජයසිරි මෙහෙට ආවෙ අනියම් කම්කරුවෙක් විදියට. එදා එයාගෙ ෆුට් බයිසිකලේ නැවැත්‍තුව තැන තමා තාමත් වාහනේ නවත්තන්නෙ. ඒක බයිසිකලෙන් බී එම් ඩබ්ලිව් එකකට මාරු වුනත් වෙනසක් නෑ. ජෙනරල් මැනේජර් නෙවේ මෑන් රටේ ජනාධිපති වුණත් මෙහෙ ආවොත් ඔතන ම වාහනේ නවත්තන්න කියල බැහැල ඇවිදගෙන ඇතුළට එයි"

" හ්ම් .........සිංහ චරිතයක් ඇතුලේ ඉන්න මී මනසක්  "භානුක ද හිස වනා කීවේය .


Comments