රස ඇති කෑමක්

 


අමයුරු රෙස්ටුරන්ට් හි උප අරක්කැමි  සම්මුඛ පරීක්ෂණයට ගොස් ගෙදර ආ මොහොතේ පටන් මානවී ට කියන්නට කතන්දර රැසකි.

"අම්මෝ ලොකු ලොකු කෝස් කෙරුව අය,තරු හෝටල් වල ට්‍රේනින් හිටිය අය තමා ඔක්කොම හිටියෙ.ඒ වුනාට මට තමා ප්‍රැක්ටිකල් එකෙන් ලකුණු වැඩි ම."

"ඔන්න දැන් වත් තේරෙනව ද පොඩි කාලෙ ඉඳන් මම කුස්සියේ වැඩ කියල දුන්න එකේ අගේ" ඇගේ නැන්දා විමලා උදම් අනන්නට වූවාය.

"මගෙ අත හරි ඉක්මන් ලු කලින් ගත්ත අයට ත් වඩා.ඉක්මනට ම වැඩ අල්ල ගනී කිව්වා අපේ හෙඩ් ඉන්න නිරංජලී මිස්"

"එහෙ සිකුරිටි ඉන්නෙ මගෙ යාලුවෙක් ගෙ නැන්ද.මාලනී ඇන්ටි.මගෙත් එක්ක හොටෙල් එකේ ගොඩක් විස්තර කිව්වා"

"අපේ බොස් සරනි මැඩම් පොඩි කෙල්ලක් නෙ.මට වඩා පොඩ්ඩක් වැඩිමල් ඇති.මේකප් පුරවගෙන බවන වගේ වාහනේක එන්නෙ. කවදාවත් ළූනු ගෙඩියක් වත් සුද්ද කරලා නැතුව ඇති"

හැමදාමත් තොරතෝංචියක් නැතිව විස්තර කතා කළ මානවී දිනක් නිවසට ආ වෙලාවේ සිට සිටියේ මහා කල්පනාවකය.

"මුකුත් ප්‍රශ්නයක් ද?අසනීපයක් ද?" ඇය ගැන ඇයට වඩා හොඳින් දන්නා නැන්දා ඇසුවාය.

"මට අද අපේ මෙනූ කාර්ඩ් එකක් හම්බ වුනා.අම්මෝ කෑම වල ගණන්"

නැන්දාට හිනා ගියේය.

"කෑම හොඳ නිසා ගානත් වැඩි ඇති.ඕක අමුතු දෙයක් යැ"

"ඒ වුනාට අපි රෑ දවල් නැතුව ගිනි කකා වැඩ කරන හින්දා නෙ ඔහොම හම්බ කරන්නෙ.අපිට කීයද දෙන්නෙ?"

"තමන් වැඩ කරන තැනට ඔහොම කියන්න එපා ලමයො.ඕකෙ වැඩ කරන්න ලැබුණ එක ම ලොකු දෙයක් නේද වෙන තැනකට යද්දි වුණත්"

එදායින් පසු මානවී රැකියාවට යන්නට තිබූ උනන්දුව අඩු ව ඇති බව පැහැදිලි ව පෙනුනේය. සමහර දින වල පරක්කු වී ගියාය.නිවාඩු දමා ගෙදර සිටියාය.

"කෙල්ලේ ඔය නම් ලොකු අමාරුවක වැටෙන පොටක් තමා "නැන්දා අනතුරු ඇඟෙව්වත් කනකට ගත්තේ ඇය නොවේ.

දිනක් උදේ ඇය නැගිට්ටේ ම නැත.එදා ලොකු ඕඩරයක් බාර දෙන්නට ඇති බව මානවී කියූ බව මතක් වූ නැන්දා ඇඳ ගාවට ගියාය.

"අද යන්නෙ නැද්ද ?"

"නෑ....මට කම්මැලී"

"ඒ මොන කෝලමක් ද?අද උදේ ම යන්න ඕන දවසක් නේද?"නැන්දා ඇගේ කකුලෙන් අල්ලා සෙලවූවාය.

"හැමදාම සද්ද නැතුව ඉන්නකොට නයා වුනත් දර මිටි බඳින්න ගන්නවා.ඉඳහිට පෙණේ පුප්පන්න ඕන.අපේ අගෙත් දැනෙන්න."

මානවී හිසේ සිට පොරවාගෙන අනෙක් පස හැරුණාය.

තවත් කියා පලක් නැතැයි සිතූ නැන්දා ආපසු ගියාය.

චණ්ඩි කතා කීව ද දවල් වෙද්දී මානවී ට පොඩි බයක් ද මෝදු වුනේය.නෙරංජලා ඇයට ඇමතූ කෝල් ඇලර්ට් එක වැටී තිබුණේ පාන්දර පමණි.ටිකෙන් ටික බය වැඩි වෙද්දී ඇය මාලනී ඇන්ටි ට කෝල් කරන්නට පවා සිතුවාය.ඊට පෙර වැඩ මුරය අවසන් ව ආපසු යන මාලනී ඇය සොයා ආවාය.

"මොකද ළමයො අද වැඩට ආවෙ නැත්තෙ?"

"අනේ ඇන්ටි මට ඔලුව උස්සගන්න බැරි තරමේ ඔලුවෙ කැක්කුමක් හැදුනා නෙ.පැය ගානක් ගිහින් තමා ඇඳෙන් බිමට බැහැ ගන්නවත් පුලුවන් වුනේ"තමන් දෙස බලා සිටින නැන්දා දෙසත් හොර ඇහෙන් බලමින් මානවී උත්තර දුන්නාය.

"ඉතිං බේත් ගත්තා ද?"

"මොනවද තෙල් අල්ලක් අම්මා ගෑවා.ඒකෙන් අඩු වුනා.අපරාදෙ නේද දෙන්න තිබුන ලොකු ඕඩර් එක"මානවී බොහෝ දුකින් මෙන් කීවාය.

"ඒක වෙලාවට දුන්නා ලමයො. ලබන සතියටත් ඕන කිව්වා."

මානවී පුදුම වූවාය.

"ඇත්ත ද....වෙලාව ඇති වුනාද?"

"අද ලසිත ත් මෝටර් සයිකලේ ට්‍රයල් පෙන්නන්න යනව කියල කලින් ම නිවාඩු අරන්.ඔයත් නැති නිසා නිරංජලී මිස් බය වෙලා හිටියෙ.සරනි මැඩම් ට කෝල් කලා.එයා කියල පැය බාගෙන් එන්නම් මෙහෙ වැඩ ලෑස්ති කර ගන්න...."

"ඉතිං"

"හරියට ම පැය බාගයක් ගියෙත් නෑ  මැඩම් ආවා. කෙලින් ම කුස්සියට ගියා ඒප්‍රන් එකක් දා ගත්තා.අම්මෝ එහෙම කඩිසරකමක්. පට පට ගාල සුද්ද කරල හෝදල  කපල දුරු මිරිස් දාල ලිපේ තියලා ත් ඉවරයි.හිටපු කාටවත් එයා එක්ක හැරෙන්නවත් බෑ"

මානවී ගේ දෙනෙත් මහත් විය.

"ස..සරනි මැඩම් ඉව්වද?"

"ඒකනෙ කියන්නෙ.ඉන්න විදියට හිතෙන්නෙ තමන් ගෙ ගෙදර කුස්සියට වත් ගිහින් නැතුව ඇති කියල නේද.මගෙ උපන් තේකට දැකල නෑ එච්චර කඩිසරේට පිලිවෙලට උයන පිහන කෙනෙක්. වෙලාවට කෑම ටික යවා ගත්තා. වෙනදටත් වඩා රසයි කියල ඕඩර් එක හැමදාම අපිට ම දෙනව කිව්ව ලු"

මානවී වචන අමතක ව බලා සිටියාය.ඊළඟට මාලනී කිව්වේ ඇය සීතල කරවන පණිවිඩයකි.

"ඕං හෙට මැඩම් හම්බ වෙන්න එන්න කිව්වා."

කෙතරම් නිර්භීත වැඩ කරන්නට ගියත් බියෙන් ඇකිලී ගිය මානවී දුකට සැපට හැමදා පිහිට වූ  නැන්දා ට නොවඳිනා වැඳුම් වැඳ ඇයත් පෙරටු කරගෙන සරනි මැඩම් මුණ ගැසෙන්නට ගියේ නැන්දාගෙනුත් කන පිරෙන්නට බැනුම් අසන අතරය.

"මානවීගෙ බලාපොරොත්තුව ඉශ්ට වුනේ නෑ නේද?" දහසක් හේතු කියන්නට සූදානමින් ගියත් සරනි ඇසුයේ එයයි.

"මො...මොකක්ද මැඩම්?"

"හිතුන ගමන් ඇබ්සන්ට් වෙලා වැඩ කඩා කප්පල් කරල  කස්‍ටමර්ස්ලා ට අපිව බොරු කාරයෝ කරල බිස්නස් ලෝකෙ අපේ තැන නැති කරල අපේ තරඟකාරයන්ට දිනුම දෙන එක"

මානවී ට දිග හුස්මක් ගැනුනේය.මේ ඒ තරම් ප්‍රශ්නයක් බව ඇය හිතුවේ වත් නැත.

"මේ මගෙ ආච්චි අම්මා පටන් ගත්ත බිස්නස් එක......ඒක ගොඩ නගන්නත් දියුණු කරන්නත් අපි හැමෝම රැයක් දවාලක් නැතුව මහන්සි වෙනවා.කිසිම ආත්මාර්ථකාමියෙක් ට ඒක විනාශ කරන්න දෙන්නෙ නෑ.ඔයා ට මීට වඩා හොඳ තැනක් හොයා ගෙන යන්න පුලුවන්" සරනි චෙක් පොත අතට ගත්තාය.මානවී සීතල වී ගියේය.

"අනේ....මැඩම්.මම හිතලා වරදක් කලේ නෑ.මට මට......"

ඇය වහා තම ගැලවුම්කාරිය ලෙස කැටුව ආ නැන්දා දෙස බැලුවාය.

එහෙත් නැන්දා වෙන කල්පනාවකය.ඇය ඇස් නොපියා බලා ඉන්නේ සරනි මැඩම් ගේ පිටුපස බිත්තියටය.මානවී නැන්දා ගේ අතින් ඇද්දාය.

"මැණිකෙ අක්කා නැති වුනාද ?" නැන්දා එක්වරම ශෝකයෙන් ඇසුවාය.

අනෙක් දෙදෙනා ම බිය වී මෙන් ඇය දෙස බැලූහ.

තමන් කීවේ තැනට ගැලපෙන වචන නොවන බව තේරුන නැන්දා කලබල වී බිම බලා ගත්තාය.

"අපේ ආච්චි අම්මා ව දන්නවද?"

නැන්දා ලැජ්ජාවෙන් මෙන් හිස වැනුවාය.

"මට ඉවුම් පිහුම් ඔක්කොම කියා දුන්නෙ මැණිකෙ අක්කා තමා"එවර ඇය ස්තුති පූර්වක ව කීවාය.

සරනි මොහොතක් ඇස් පුංචි කර බලා සිටියාය.

"ආච්චි අම්මා වත්තේ බංගලාවෙ වැඩ කරන කාලෙ අත් උදව්වට හිටිය තමන්ගෙ දුවගෙ වයසෙ විමලා කෙල්ල ද මේ?"

නැන්දා පුදුමයෙන් ද සතුටින් ද හිස වැනුවාය.

"මැණිකෙ අක්කා මගෙ ගැන කියල තියෙනව ද මැඩම් ?"

සරනි යමක් තේරුනාක් මෙන් හිස වැනුවාය.

"ඔයා ද එහෙනම් මානවී ගෙ ගුරුතුමා.කිචන් ස්ටාෆ් ගන්න  ඉන්ටවීව් එකේ හදල තිබුන කෑමකින් ආච්චි අම්මා ගෙ කෑම වල රස දැනුනට මම ඒක ගැන වැඩිය හිතුවෙ නෑ. ආච්චි අම්මා කියනවා හදිසියේ ම බංගලාවට මහ සෙනගක් කඩා වැදුන දවස් වලට කියන්නත් කලින් විමලා හරි හරියට මහන්සි වෙලා වැඩ කරන හැටි.ඒකට තෑග්ගක් විදියට තමා ගුරු මුශ්‍ටියක් නැතුව සාස්තරේ ඔක්කෝම ඔයාට දීලා තියෙන්නේ "

 "මැඩම් මේ දුවට මමත් ඒ ඔක්කොම කියල දීල තියෙන්නෙ. මටත් වඩා හොඳට උයනවා.මේ සැරේට විතරක්  සමාවක් දීලා......විමලා ට තමන් ආ දූත මෙහෙවර අවසානයේ මතක් වූයේය.

"හැමදේම කියා දුන්න නම් කෝ ඒ පක්ශපාතීකම.කැපවීම.විශ්වාසදායක බව........"

විමලා ද මානවී ගේ වරදින් කොටසක් බාර ගත්තාක් සේ බිම බලා ගත්තාය.

"ආච්චි අම්මා ට කරන ගරුසරුවක් විදියට මම ජොබ් එක දෙන්නම්...."මානවී සතුටින් දෑස් ඔසවා බැලුවාය.

....දුවට නෙවේ නැන්දාට!!....දැනුම හුරුව එක්ක ම ආකල්ප ත් වෙනස් වෙච්ච දවසක මානවී ට ත් මෙතන දොර ඇරෙයි."සරනි අවසන් තීරණය දී නැගිට්ටාය.

----------Shanika Tennakoon----------

Comments