පාර


 සාමාන්‍ය පෙළ අවසන් කළ සිසුන් වෙනුවෙන්  උසස් පෙළ පන්ති ඇරඹීමට නගරයේ ප්‍රමුඛතම  ටියුෂන් ආයතනයක මුල් ම සම්මන්ත්‍රණය  පැවැත්වෙද්දී ඊට එක් රැස් වූ සිසු සිසුවියන් මහා රාශියකි.අනාගත අරමුණු ඇතුවත් නැතුවත් ඔවුහු වේදිකාවට නගින නම් දැරූ ටියුෂන් ගුරුවරු තම තමන් වෙතට සිසුන් රැස් කර ගැනී මේ අරමුණින් හොඳම ආලවට්ටම් දමමින් කියන කියන දේට මහ හඬින් හිනැහෙති. අනාගතය ගැන  ඉතා අලංකාර සුබ සිහින මවති.   

 අවසානයට ම වේදිකාවට ගොඩ වූයේ  ඉතා ප්‍රසිද්ධ දේශකයෙක් වූ කවුරුත් ලොකු සර් ලෙස නමින් හැඳින්වූ ආයතනයේ හිමිකරු ය.

සිසුවෝ බොහෝ උනන්දුවෙන් උදේම ආයතනයෙන් නොමිලයේ ලබා දුන් අලංකාර පොතේ අලුත් ම පිටුවක් පෙරළා ඔහුට සාවදානව සවන් දෙන්නට සැදී පැහැදුණහ.

"උදේ ඉඳන් ම ඔයාලා හුඟක් දේවල් ගැන දැනුවත් වුණා නෙ.මම අහන්න යන්නෙ ඔයාල දන්න දෙයක්...."ඔහු සිසුන්ගේ කුතුහලය අවුස්සමින් කීවේය.

"මට කියන්න බලන්න කොළඹ යන්නෙ කොහොමද ?"

අනපේක්ෂිත ප්‍රශ්නයෙන් වික්ෂිප්ත වූ සිසුන් එකිනෙකා දෙස බලන්නට වූහ .

"හරි මම මෙහෙම කියන්නම් ..... මට මෝටර් සයිකලයක්  තියෙන නිසා මම යනවා ඒකෙ.තව කොහොමද පුලුවන් ?"

එවර ප්‍රශ්නය තේරුම් ගත් සිසුන් උත්තර දෙන්නට වූහ.

"ඔව්..හරියට හරි .බස් එකේ කෝච්චියේ, කාර්, ජීප් ....ඔය ඕන විදියක් පුලුවන් ....."ඒ අතරට "පයින්"යයි කියවුණු හිතුවක්කාර කටක් ද වූයේය.

"ඔව් ඉස්සර මිනිස්සු පයින් විතරක් නෙවේ බර කරත්ත වලිනුත් කොළඹ ගිහින් තියෙනව....ඔහු ඒ සරදම ගණන් නොගෙන තවදුරටත් කතා කළේය.

"හරි එහෙනම් කියන්න බලන්න මොන පාරෙන් ද කොළඹට යන්න පුළුවන්?"

 මෙතෙක් විෂයයන් ගේ විස්තර සමග අතරමං ව සිටි සිසුන් වින්දනයක් ලබමින් එකවර සියළු දෙනාම කතා කරන්නට වූහ.

" ඔයාල වැඩි දෙනෙක් කියන්නෙ මෙතනින් කෙලින්ම බස්ටෑන්ඩ් එකට ගිහින්  කොළඹ බස් එකක නගින්න.ඒ ඇරුණ ම ඕන නම් කෙනෙක් ට බදුල්ල ට ගිහින් එතනින් කොළඹ බස් එකක යන්න පුලුවන්.නැත්නම් මාතර ට ගිහින් කොළඹ බස් එකක යන්න පුළුවන්. කැමති නම් යාපනේට, අනුරාධපුරට,මඩකලපුවට වුනත් ගිහින් කොළඹ යන්න පුළුවන්.....

පහළින් මහ හිනා නැගුනේය.

"ඒ වගේ ට්‍රිප් එකක් යන විදියට තමන්ගෙ හිතවතුන් බලා කියාගෙන කොළඹට යන්න පුළුවන් ........හැබැයි ........ඔහු කටහඬ බර කර නැවතුම් ගනිමින් අවධානය ලබා ගත්තේ ය.

.....ඔයාල කැමති ම සිහින ජොබ් එකට තෝර ගන්න අන්තිම ඉන්ටවීව් එකට හරියට ම හෙට උදේ 9 ට කොළඹ එන්න කියල දැන් කෝල් එකක් ආවොත් ඔයාල යන්නෙ මොන පාරෙන් ද ?මොන වාහනෙන් ද ? නැත්නම් පයින් ද?"

ශාලාව එක ම ගුමුගුමුවක් විය.

"හරි ඔයාල කියන්නෙ මෙහෙ ඉඳන් කෙලින්ම කොළඹට යන පාරක.... කෝච්චියේ ද? බස් එකේ ද?....ඔව් පුලුවන් නම් තමන්ගෙ ම වාහනේක නැත්නම් වාහනයක් කුලියට අරන්....ඇයි හේතුව?... මේ වගේ දේකට වෙලාවට යන්න  පොදු ප්‍රවාහනය විශ්වාස නෑ අපේ රටේ.ඊළඟට රට වටේ රවුම් ගහල හරි යන්නෙ නෑ.තියෙන කෙටි ම පරිස්සම් ම පාරෙ තමා යන්න ඕන.....හරි දැන් වාහනේකුත් හොයාගෙන හරියට වෙලාවට කොළඹ යනවා....හරි ද එතකොට ??"

සිසුවෝ විපිලිසර ය.

"කොළඹ කොහාටද?මොනවද ගේන්න ඕන මුකුත් නොදැන කළුවා මාරපං ගියා වගේ ද යන්නෙ ලමයි?හහ් හම්බ වෙයි ජොබ් එක....හොඳයි කාගෙන්ද අපි අහන්න ඕන ඒ විස්තර ?පවුලෙ අයගෙන් ද?අල්ලපු ගෙදර කැම්පස් ගිය අක්කා අයියා ගෙන් ද? ඉස්කෝල ගුරුවරියක් වුන නැන්දාගෙන් ද?හොඳ ම යාළුවාගෙන් ද?....."

සිසුවෝ විවිධ උත්තර දෙති.

"අපිට ඒ කෝල් කරපු කෙනාගෙන් මයි අහන්න ඕන කොළඹ කොහාටද එන්නෙ? මොනවද ගේන්න ඕන සහතික? අඳින්න ඕන ඇඳුම් විශේෂයක් තියෙනවද? ඔක්කොම විස්තර"

"හ්ම්.....හ්ම්...මම දන්නවා දැන් ඔයාල හිතන දේ.ඕලෙවල් කරල ඒ ලෙවල් වලට පන්ති හොයන්න ආව අපිට කොළඹ යන හැටියක් කියා දෙන්නෙ මට පිස්සුද?.....ඔව් දරුවනේ මේක හරියට අල්ල ගත්තේ නැත්නම් පිස්සු හැදිලා නවතින්නෙ නෑ"

ඔහු මොහොතක් වටපිට බැලුවේය.සිසුවෝ උනන්දුවෙන් බලා සිටිති.

"කොළඹ තියෙන සිහින ජොබ් එක කියන දේ හිතා ගන්න ඔයාල ආස කරන ජොබ් ෆීල්ඩ් එකේ ඔයාලට ඕන තනතුර කියල. එහෙම නම් ඒකට යන කෙටි ම ආරක්ෂිත ම පාර මොකක්ද.අපි යන්නෙ මොන වාහනේද නැත්නම් මොන විදියට ද?ඒ ෆීල්ඩ් එකේ ඒ ජොබ් එක ලබන්න මොනවද ඕන සුදුසුකම් ......උදාහරණයක් විදියට ඔයාලට ලොකු කම්පනි එකක මැනේජර් කෙනෙක් වෙන්න ඕන ... මොකක්ද කෙටි ම පාර? අතු ගාන තැනින් පටන් අරන් ටික ටික අවුරුදු ගාණක් දුක් විඳගෙන යන එක ද?එක පාර ම ඒ පෝස්ට් එකට යන එකද?"

"එක පාර ම"

පහලින් උත්තර ආවේය.

" එතනට යන්න ඉක්මන් ම ආරක්ෂිත ම විදිය මේ ඉගෙන ගත්ත තරමේ ඉඳන් උත්සාහ කිරීම ද උසස්පෙළට පෙනී ඉඳලා උත්සාහ කිරීම ද එහෙමත් නැත්නම් ඒකත් හොඳ රිසල්ට් එකකින් පාස් වෙලා උත්සාහ කිරීම ද?"

"ඒකත් පාස් වෙලා"

"හරිය ට ම හරි.ඊළඟට හොයා බලන්න මොනවද ඒ තනතුර ට ඕන සුදුසුකම්... ඒව තමා ගෙනියන්න ඕන සහතික.අඳින්න ඕන ඇඳුම්.එතනදි ඔයාලට දැන ගන්න ලැබෙනවා උපාධියක් නැත්නම් උසස් ඩිප්ලෝමා සහතිකයක් ඕන බව.දැන් හරි ද?නෑ.මොන අංශෙ උපාධියක් ද?ඩිප්ලෝමාවක් ද?මොනවද ඒ යටතෙ කරල තියෙන්න ඕන විෂයයන්.ඒ ඇතිද?නෑ.එහෙම විශේෂ උපාධියක්,ඩිප්ලෝමා එකක් ඕන නම් මොන ආයතනයේ ද ඒක කරන්න පුළුවන්.ඒක කරන්න නම් මොනවද ඒ ලෙවල් වලට කරල තියෙන්න ඕන විෂයයන්.ඕ ලෙවල් වලත් පාස් වෙන්න ඕන,සම්මාන ගන්න ඕන විශේෂ විෂයයන් තියෙනවා ද හරියටම හොයා බලන්න ඕන..... එහෙම නැතුව යාලුවො කරන නිසා, ගෙදරින් බල කරන නිසා, ඉස්කෝලෙන් කියන නිසා, ලේසියෙන් පාස් වෙන්න පුලුවන් නිසා විෂයයන් තෝර ගත්තොත් දුවේ පුතේ සමහර විට ඒ තුනක් ගත්තත් ඔයාලට අනාගතයක් නැති වෙයි.....කැම්පස් ගිහිල්ල ත් සමහරු න්ට ජොබ් හොයා ගන්න බැරි ඔන්න ඔහොම ඉදිරි අරමුණක් පැහැදිලිව  නැතුව කරන්නන් වාලේ විෂයයන් තෝර ගත්තම"ඔහු කතාව නවතා සිසුන් දෙස බැලුවේය.ඒ මුහුණු වල මෙතෙක් නොවූ බැරෑරුම්කමක් රැඳී ඇත.

"මොකද...... මේ මොන බයිලා ද අපේ අහවලා ඉස්කෝලෙ හතරෙ පන්තියට  ගිහින් අද කෝටිපතියෙක්, ටීවී එකේ පෙන්නුව අහවලා ඒ තරම් දියුණු වෙලා ඉන්නෙ ඕ ලෙවලුත් ඩවුන් වෙලා....... හිතෙනව ද?..... එයාල ඒ තැන් වලට එන්නෙ අවුරුදු ගානක් දුක් විඳලා. දවස් ගණන් නිදි මරන්න, වේල් ගණන් නොකා නොබී ඉන්න, සිය දහස් වතාවක් අසාර්ථක වෙන්න ඇති.මුළු සමාජෙම හිනාවට උපහාසයට ලක් වෙන්න ඇති.ඒ දුක් දරාගෙන කට්ට කාගෙන ඉදිරියට ආව හතර පස් දෙනෙක් ඉන්න අතරෙ ඒවා දරා ගන්න බැරි වුණ කී දෙනෙක් අතරමග හැලෙන්න ඇතිද?........ වැඩියෙන් ලේසි අවුරුදු පහ හයක් මහන්සි වෙලා හරි පාරෙ ගිහින්  හරි විදියට පාඩම් කරල තමන්ගෙ ටාගට් එකට යන එක ද මෙතනින් ම සියල්ල හැරදා ඉරණම එක්ක සටන් කරන එක ද?"

සිසුන් ගෙන් එක ම උත්තරයක ඝෝෂාව ඇසුණේය.

" එහෙම නම් අද ගිහින් ඔයාලගෙ අනාගත සිහිනය පැහැදිලි කර ගන්න.ඊට පස්සෙ නිවැරදි තීරණ අරන් ඔය දුන්න කොළ වල තියෙන පන්ති වලින් ඔයාට ඕන කරන පන්තියට එන්න."

ලොකු සර් තම කතාව අවසන් කර වේදිකාවෙන් බැස ගියේය.

වැඩසටහන අවසන් වූ බව වත් සිතා ගත නොහැකි වූ සිසුවෝ ටික වේලාවක් තම තමන් ගේ කල්පනා වල ම වෙළී සිටියහ.

"මල්ලිලා පන්ති ඉවරයි"ශාලාව බාර ව සිටි ලසන්ත පිටුපස සිට තරමක හඬින් කීවේය.

සිහි එළවා ගත් සිසුවෝ දණි පණියේ ශාලාවෙන් පිට වූහ.

ශාලාව පිට පැත්තේ කාඩ් මාක් කරන්නට සිටි සමීර ලොකු කල්පනාවක ගිලී සිටියි.

"මොකද බං සිහින ලොවේ අතරමං වෙලා ද?"ලසන්ත පිට මැදට පහරක් ගහන තුරු ම ඔහු නොදත්තේය.

"ඊළඟට හෝල් එක ගන්නෙ බණ්ඩාර සර්.මේස බංකු ඇදට තිබ්බත්  මිනිහා යකා වෙනවා.මුන් මේවා පෙරළගෙන ගිහින් තියෙන්නෙ.මට සප් එකක් දියන් පේන ටිකවත් හදන්න."

සමීර ලසන්ත ට උදව් වී හෙමින් ම කාර්‍යාලය දෙසට ගියේය.

ලොකු සර් තනි ව තම මේසය ඉදිරියේ යමක් ලියමින් සිටියි.පා හඬ නිසා ඔහු හිස ඔසවා බැලුවේය.

"ම්..ම්..මේ අලුතෙන් ආව ළමයා නේද?මොකද කාරණේ?"

"සර්...මම මේ.....සමීර සම්පූර්ණ දහිරිය එකතු කර ගත්තේය.

...සර් මගෙ පඩියෙන් කපා ගෙන මටත් මෙහෙ රිවිශන් ක්ලාස් එන්න පුළුවන් ද?"

ලොකු සර් අවධානයෙන් බැලුවේය.

"මම එක සැරයයි ඒ ලෙවල් කළේ. එස් එකයි.....ආයෙ කරන්න ම බෑ හිතුණා.කීයක් හරි හම්බ කරන් මගේ බිස්නස් එකක් පටන් ගන්න තමා ප්ලෑන් කළේ.....ඒත් මට දැන් හිතෙනවා ඊට වඩා ලේසියි විභාගෙ හරියට පාස් වෙලා අනාගතයක් ගොඩ නගා ගන්න එක."

ලොකු සර් හිනා වුණේය.

"හරි පාරෙන් ඉක්මනින් කොළඹ යන්න?"

"ඔව් සර්"

"හොඳයි.අරමුණ පැහැදිලි කරන් පංති තෝරගෙන අපි යමු"


Comments

  1. ඔබේ බ්ලොග් එක මිනිස්සුන්ට ජීවිතේ ගැන, ජීවන කුසලතා ගැන රසවත්ව කියා දෙන ඒ වගේම තමන් ගැන හිතා බලන්න යොමු කරන එකක්. මේ ටික පොතක් කරන්නත් හොඳයි. මම මේව මගෙ ෆේස් බුක් එකේ ෂෙයා කරනව. බොහොම පිං!

    ReplyDelete

Post a Comment