සහකාරිය


"මොකද බං අද ගෙදර යන්නෙ නැද්ද "

පරිගණකය නිවා දමා නිවසට යන්නට නැගී සිටි ජනක එහා පැත්තේ සිටි යසිත් ගෙන් ඇසුවේය.

"මම මේක ඉවරයක් කරල ම එන්නම් මචන්...." තම පරිගණකය දෙස ම දෑස් අලවා ගෙන සිටින ඔහු අනෙක් අයට දුන් පිළිතුර ම දුන්නේය.

"හරි එහෙනම් මං ගියා"

ඔහු අත වනාගෙන පිට ව ගියේය.

කාර්‍යාලයේ සියළු දෙනා ම පිට ව යනතුරු ඉතා කාර්‍යබහුල බවක් පෙන්වූ යසිත් කිසිවෙක් නැති බව දුටු පසු පරිගණකය නිවා දමා දෑස් පියාගෙන පුටුවේ පිටුපසට ඇල වුණේය.ඔහුට තනි වන්නට වුවමනා විය.කාර්‍යාලය එපා වී ඇත.නිවසට යන්නට ද හිතක් නැත.මිනිසුන් හොඳ සිහිය නැති වනතුරු බීමත් වී නිවෙස් වලට නොයා පාරවල්වල වැටී නින්දා අපහාස විඳින්නේ ඇයි දැයි ඔහුට දැන් තේරෙයි.

ඔහු ට උදේ කැන්ටිමේ වූ කතා බහ මතක් විය.

" මම ටික දවසක් බලාගෙන. කවදාවත් නැතුව උඹ දැන් දිගට ම කැන්ටිමෙන් නේද කන්නෙ ?මොකද වයිෆ් එක්ක දා ගත්තා ද වලියක්?"

යහළුවෙක් අහද්දී ඔහු සිනාසුනේය.

"නෑ බං එයා මේ දවස් වල විභාගෙකට ලෑස්ති වෙනවා.මහ රෑ වෙනකල් පාඩම් කරනවා.උදෙන් ඇහැරෙන්න අමාරුයි."

"ඈ ඒ මොන කෝළමක් ද?උදේ ඇහැරිලා බතක් උයල දෙන්න බැරි නම් ගෑණියෙක් ද බං?මේ බලපංකො මූට වෙලා තියෙන අපරාදයක්" යසිත් වළක්වන්නට පෙර ඒ යහළුවා මහ හඬ නැගුවේ අනෙක් අයට ද ඇසෙන සේය.

"බැන්දට පස්සෙ මොන විභාග ද බං ගෑණුන්ට. රස්සාව කරන් ගේ දොර බලා හදාගෙන ඉන්නවා මිසක්"

" පාඩම් කරන කාලෙ ඔහොම නම් උඹට සලකන්නේ  ඕව පාස් වුනොත් උඹව දාසකමට ගනී"

යසිත් ට සුසුමක් හෙලුනේය.

ඔහුට නිවස මතක් විය.

"අනේ අනේ රෙදි ටිකත් හෝද ගන්න වුණා නේද. කොහෙද ඔයාටත් උගත් රූමත් කෙල්ලෙක් ඕන වුණානෙ. අපේ මහත්තයා ගෙ නැන්දාගෙ දුවට කැමති වුණා නම් ගෙදර වැඩ ටික කිසි අඩුවක් නැතුව කරනව අම්මටත් ඇඟිල්ලක් හොළවන්න ඕන නැති වෙන්න."

ඊයේ රෙදි සෝදන මැශිමට දාන්නට රෙදි  තෝරන අයුරු දැක දරුවා ලැබ නිවසට පැමිණ සිටින අක්කා දුක් වූවාය.

"අනේ ඉතින් මගෙ ඇස් දෙක පියවෙන්න කළින් මෙච්චරයි මට මුණුපුරෙක් ට බලන්න ඉන්නෙ. මදැයි තාත්තගෙ නම ගෙනියන මුණුපුරු මූණක් දකින්න ආසාවට ලේලියෙක් ගෙනාවා. එයා තාම ඉස්කෝලෙ ළමයෙක් වගේ පාඩම් කර කර විභාග ලියනවා.ඒ මදිවට ගෙදරවත් නෑ." අක්කාගේ දරුවා නළවන ගමන් අම්මා කීවේ ද අසල සිටි ඔහුට ඇසෙන්නට ය.

යසිත් ට අහේතුක තරහක් ද ඇති වුණේය. එය නිර්මා පිටින් යවන්නට සිතා දුරකථනය අතට ගත්තේය.

"හා ඉළන්දාරියා තාම ගෙදර ගියේ නැද්ද ?"

යසිත් ගන්නට ගිය ඇමතුම නවතා හිස එසෙව්වේය.ඔහුගේ අංශ ප්‍රධානියා මිස්ට ලලිත් ළඟට ම එනතුරු දැක්කේ නැත.

"නෑ සර් මම මේ.....යන්න තමයි හැදුවේ"ඔහු බාගෙට පුටුවෙන් නැගිට්ටේය.

"යසිත් ට හදිසි නැත්නම් මම පොඩි කාරණයක් අහන්න හිටියේ"

"ඔව් සර්"

"මම මේ ඔයාගෙ පුද්ගලික දේවල් වලට අත දානවා කියල හිතන්න එපා.....මේ දවස් වල මොකක් හරි ප්‍රශ්නයක් ද?"

යසිත්ගේ තරහ ඇවිස්සුණි.මේ යකාට ත් ඕන නැති මගුලක් නෑ.... එහෙත් වැඩිහිටියෙක් වූ ඔහු සමග හෝ මේවා කියා පිළිතුරක් ලැබිය හැකි නම් සහනයකි.

"ප්‍රශ්නයක් නෙවේ සර්.....අපේ අක්කට බබා හම්බ වෙලා දැන් අපේ ගෙදර ඉන්නෙ. ඒ බබා හැමදාම රෑ එලි වෙනකල් ඇහැරිලා අඬනවා. වයිෆ් මේ දවස් වල එක්සෑම් එකකට පාඩම් කරනවා. ගෙදර පාඩම් කරන්න අමාරුයි කියල එයාලගෙ ගෙදර ගියා...."

ලලිත් කට කොණින් හිනා වුනේය.

"හ්ම් යසිත් ට පාඩු ද පාළු ද?"

"කෑම තමා සර් ප්‍රශ්නෙ.මට පිටින් කෑව ම බඩ අප්සෙට්.අම්මත් දවස ම බබාගෙයි අක්කගෙයි වැඩ කරන නිසා මට උදේ ඇහැරවල උයවගන්න හිතෙන්නෙ නෑ"

"වයිෆ් දන්නෙ නැද්ද ඒක ගැන?"

"මම මොනව හරි කර ගන්නම් කියල තමා එයාව ගිහින් බැස්සුවේ...ගිය අවුරුද්දෙත් ඕක කර ගන්න බැරි වුණා අපේ තාත්තා ලෙඩ වෙලා හිටියායින්"

"හ්ම්...මෙහෙම හිතමුකෝ යසිත්. ඔය විභාගෙ පාස් වුණා ම වයිෆ් ගෙ පඩි වැඩි වෙනව නේද?"

"ඒක නම් එහෙම තමා සර්"

"ඒ සල්ලි වයිෆ් තමන්ගෙ ගෙදරට වියදම් කරයි ද නැත්නම් වෙන කාට හරි දෙයි ද?"

"අපෝ නෑ සර් එයා කාලෙක ඉඳන් ම කියන්නෙ ණයක් අරන්  පොඩියට හරි ටවුම කිට්ටුවෙන් ඉඩම් කෑල්ලක් අරන් ගෙයක් හදන්න පටන් ගමු කියල. පඩිය වැඩි වුණා ම වැඩි ගාණක් ගන්නත්  පුළුවන්"

"යසිත් දන්නවා ද ගෑණු කෙනෙක් බැන්දට පස්සෙ හැම රුපියලක් ම හැම තත්පරයක් ම වැය කරන්නෙ තමන්ගෙ පවුලේ යහපත වෙනුවෙන්.එහෙම නැති අයත් ඇති. මම කියන්නෙ බහුතරය.... පුතාල දෙන්න ඉස්කෝලෙ යන්න ගත්තට පස්සෙ මගෙ වයිෆ් පටන් ගත්තා පමුණුවෙ ගිහින් කෑලි රෙදි ගෙනත් බෙඩ් ශීට්, කොට්ට උර, පාපිසි මහල කඩවලට දාන බිස්නස් එකක්. නෑයො, අහළ පහළ අය එක එක කතා කිව්වා.යාළුවො මගෙ මූණටයි නැති තැනයි හිනා වුණා.මටත් පෙනුනෙ ඒකෙන් මගෙ තත්වෙ බාල්දු වෙනවා වගේ.එයාට සමහර කාල වලදි ලොකු ඕඩර් ලැබුණ ම දවසෙ ම වැඩ.මට පෙනුනෙ ඒකෙන් පරක්කු වෙන ගෙදර වැඩ.රෙදි කෑලි, නූල් වලින් හැඩි වෙලා තියෙන ගේ දොර.ඒ තරහට වාහනේ තියාගෙන ත් මම කවදාවත් එයා එක්ක රෙදි ගේන්නවත් ගියේ නෑ.වයිෆ් ගෙවල් ළඟ ගෑණු ළමයෙක් එක්ක ලොකු මලු බස් එකේ ගෙනාවෙ. මහපුවා අරන් පාරවල් ගානෙ පයින් ගියේ.

ඒ කරපු දේවල අගය මට තේරුණේ නොකළ වරදකට මාව වැරදිකාරයෙක් වෙලා මාස ගාණකට රස්සාව නැති වුණා ම. එයාගෙ බිස්නස් එක නැත්නම් ඒ කාලෙ අපි බඩගින්නෙ.දරුවො ඉස්කෝලේ යවන්න වෙන්නෙත් නෑ.විනය පරීක්ෂණ වලින් මම නිවැරදි  බව ඔප්පු  වෙලා ජොබ් එක හම්බ වෙලා කලින් සැලරිත් ඔක්කොම ලැබුණ ම ඒකෙන් වැඩි කොටසක් මම දුන්නා වයිෆ් ගෙ බිස්නස් එක දියුණු කර ගන්න.අද එයා හොඳ ව්‍යාපාරිකාවක්.පවුලට ලොකු හයියක්....ඒ නිසා යසිත් කවුරු කොහොම මොනව කිව්වත් වයිෆ් කරන්නෙ පවුලට හිතවත් දෙයක් බව ඔයා දන්නව නම් ඒ වෙනුවෙන් අපිත් පොඩි කට්ටක් කෑවට කමක් නෑ." 

යසිත් ට මෙතෙක් නොවූ සහනයක් දැණුනේය. ඔහු සැනසීමෙන් කාර්‍යාලයෙන් පිට වුණේය.

"නිර්මාව බලන්න යන්න ඕන. ගිහින් බැස්සුවාට පස්සෙ ගියේ ම  නෑ." ඔහු ඇය ආසා කරන මෙනූ එක සහිත හෝටලයට වාහනය හරවමින් තමන් ට ම කියා ගත්තේය.


Comments