ආකාස කුමාරි

 සංදීපා...අපේ අම්මගෙ මිතුරියක් වුණ නීතා ඇන්ටිගෙ එක ම දුව. වෙන ඉස්කෝලෙක ඉගෙන ගත්ත නිසාත් මට වඩා බාල නිසාත් වැඩිය දැන අඳුනගෙන නොහිටියට හැම වාරෙම පන්තියෙ පළවෙනියා දෙවෙනියා වුණ, විෂයන් ඔක්කොටම වගේ උපරිම ලකුණු ගත්ත ඒ නිසා ම හුඟක් ගුරුවරුන් ගෙ දෙමාපියන් ගෙ රෝල් මොඩල් එකක් වුණ කෙනෙක් විදියට මම එයාව දැනගෙන හිටියෙ.

මගෙ ජූනියර් බැච් එකකට තේරිලා අම්මත් එක්ක අපේ ගෙදර විස්තර අහන්න ආවා ම නීතා ඇන්ටි කෑම බීම,රැග් එක, නවාතැන් ගැන අහද්දී සංදීපා ට දැන ගන්න ඕන වුණේ විභාග තියෙන හැටි, ෆස්ට් ක්ලාස් එකක් ගන්න මොනවද කරන්න ඕන, මොන සයිඩ් එකද ස්පෙෂලයිස් කරන්න හොඳ වගේ දේවල්.
මමත් ඉන්න නිසා සංදීපා ව අපේ බෝඩිමේ ම නවත්තන්නයි නීතා  ඇන්ටි ට ඕන වුණේ. කැම්පස් එක ළඟම තිබුණ නිසා අපේ බෝඩිමේ ගාණ ටිකක් සැරයි.කාමරේට ගාණක් නියම කරල තිබුණෙ.රූම් එකේ ඉන්න කට්ටිය ඒ ගාන බෙදා ගත්තා.ඒත් සංදීපා ට තනි රූම් එකක් ඕන වුණා.ස්‍ටඩීස් වලට ඩිස්ටර්බ් ලු. මෙච්චර විස්තර නොකියා ඇයි මම නොකියන්නෙ සංදීපා මගෙ හොඳ යාලුවෙක් කියල. මම වත් කැම්පස් එකේ වෙන කිසි කෙනෙක්වත් සංදීපාගෙ යාලුවෙක් වෙලා හිටියෙ නෑ. නියම අලගෙඩියක් වුන සංදීපා හිටියෙ පොත් එක්ක විතරමයි.
එයා ගැන විස්තරයක් හොයන්න මට වැඩි කාලයක් තිබුනෙ නෑ. ඊළඟ අවුරුද්දෙ අවුට් වෙලා දුරක ගිහින් කසාදෙකුත් බැඳලා හනිමූන් බබායි රස්සාවයි පවුලෙ වගකීම් එක්ක හොඳට ම බිසි වුණ මට එයා ආයෙ මතක් වුණේ මුණුපුරු පොඩ්ඩ බලන්න එන ගමනකට අම්මා නීතා ඇන්ටියි සංදීපායි එක්ක ආවාම.
 තුන් දෙනා ම සුදු ඇඳන් කොහෙ යන්නද හිත හිත ඉන්නකොට
"රුප්පාවෙ ආරණ්‍යෙ තියෙන්නෙ මේ කිට්ටුව නේද පොඩි දුව?" අම්මා ඇහුවා.
"ආ....මෙහෙට ටිකක් කිට්ටුයි තමා. ඇයි අම්මෙ?"
"අපේ වැඩිහිටි සමිතියෙන් එහෙට දානයක් දෙන්න ඉන්නෙ අවුරුද්දකට සැරයක්.අපි මේ දිනයක් ගන්න ආවෙ."
ඇයි අප්පා මෙච්චර දුරක් එන්න ඕන ද දානෙ දෙන්න පන්සලක් හොයන්න කියල අහන්න හිතුණත් අම්මාගෙ නටන ඇස් වල රහසක් ඇති හිතිලා මම කර බා ගත්තා.
රහස එළි වුණේ එදා රෑ අම්මා ගමනෙ විස්තර කියද්දි.
"එහෙ තියෙනවා හරි හාස්කම් තියෙන බෝධියක්.නීතා නැන්දගෙ දුවට බාරයක් වෙන්න ගියේ.ඕක කිව්වා නම් ඒ ළමයා යන්න එන්නෙ නෑ."
"ඇයි එයාට මක් වෙලා ද?" සංදීපාගෙ වෙනසක් දැක්කෙ නැති මම ඇහුවා.
"ඒ ළමයා ජොබ් එකට යනවා එනවා විතරලු. ගෙදර අය එක්කවත්  කතා කරන්නෙ නෑලු. යාළුවෙක්ටවත් කෝල් එකක් දෙන්නෙ නෑලු. නිවාඩු දවසටත් කාමරේටම වෙලා ඉන්නවලු. නිකමටවත් එළියට බහින්නෙ නැතිලු."
"කසාදයක් බන්දලා දුන්න නම් හරි යයි"
"ආපෝ ඕක ගැන අහන්න ගිහින් සතියක් ම කාමරේ දොර වහගෙන හිටිය ලු.නීතා ම තමා ඔතන හොයාගෙන මට කරදර කළේ යමු කියල"
"අනේ අම්මෙ ඕවට තමා මනෝ උපදේශක,මනෝ වෛද්‍යවරු  ඉන්නෙ."
"හොඳට තියෙයි. නීතාට කිව්වොත් දුවට පිස්සු කියල මගෙත් එක්ක යාළුකම ත් නැති වෙයි."
මම කටපියා ගත්තෙ ඕව කියල තේරුම් කරවන්න බැරි නිසා.
"ඔයා දොස් කිව්ව ට අර බාරෙ වුණ එකේ ප්‍රතිඵල තියෙනවා. කෙල්ලට හොඳට ම හොඳයි ලු. ළඟදීම අපි ආයෙත් එනවා බාරෙ ඔප්පු කරන්න." දවස් දෙක තුනක් යද්දි  කිව්ව අම්මා ඊළඟ සතියෙ ම ඒ දෙන්නා ත් එක්ක අපේ ගෙදර ආවෙ බාරයට ඕන අඩුම කුඩුමත් පොදි ගහගෙන.
සංදීපා පන්සල් යන්න කැමති වුණේ ම නෑ. අම්මලා දෙන්නට යන්න දීලා එයා මගෙත් එක්ක නැවතුණා. එයාලට කෑම උයන්න මම ලෑස්ති වෙද්දි සංදීපා මගෙ දඟ මල්ල බලා ගන්න ඉදිරිපත් වුන එක මට කියල නිම කරන්න බැරි උදව්වක්.ඒ දෙන්නා තොරතෝංචියක් නැතුව කතා කරනවා ඇහෙද්දි නම් ඇත්තට ම බෝධියේ අනුහස් තියෙනවා ද ත් හිතුනා මට.
දෙන්නට ම පළතුරු ජූස් දෙකකුත් අරන් මම සාලෙට ගියා.
"දරුවන්ට හොඳ නරක කියා දීල එයාල යන්න කැමති පැත්තට උදව් කරනවා මිසක් අපේ ඉලක්ක එයාලගෙ කර පිට පටවන්න හොඳ නෑ අක්කෙ." සංදීපා බොහොම බරපතල විදියට කිව්වා.
"අපේ අම්මලා කවදාවත් මම ආස මොනවටද ඇහුවෙ නෑ.පන්තියෙ පළවෙනියා වෙන්න,හැම විෂයටම ලකුණු වැඩියෙන් ම ගන්න කිය කිය පුශ් කළා.කාලයක් යද්දී මට ම ඒක හරි හිතුණා.හිත් පිත් නැති මැශින් එකක් වගේ මම  ටාගට් පස්සෙ ගියා.පිරිමි ලමයි කීප දෙනෙක් මං ගැන උනන්දු වෙන බව තේරුණත් මම ඒ කාටවත් අනුබල දුන්නෙ නෑ ඉගෙනීමට  පාඩු වෙයි කියල......... අක්කගෙ අම්මට පින් මාව පන්සල් එක්ක ගියාට.ඒ වෙනකල් මම හිතාගෙන හිටියෙ මම මිනීමරුවෙක් කියල......"
මම ගැස්සිලා සංදීපා දිහා බැලුවා.
"......අන්තිම අවුරුද්දෙ ට්‍රේනින් ගියා ම එතන ජූනියර් මැනේජර් චමත් මගෙ ගැන උනන්දු වෙන බව මට තේරුණා. ඉක්මනින් ලොකු තැනකට එන කෙනෙක් විදියට හැමෝම එයා ගැන අනාවැකි කිව්වා. එයා දුර ගමකින් ආවෙ. තාත්තා විතරයි හිටියෙ. මගෙ ටාගට් වලට යන්න හොඳ උදව්වක් බව තේරුණ නිසා මමත් කැමති වුණා. එයා මට හරියට උදව් කළා. මාව හොඳට බලා ගත්තා. කම්පැනි එතික්ස් වලට හොඳ නැති නිසා අපි ඒ සම්බන්දෙ එලියට පෙන්නුවෙ නෑ.මට ට්‍රේනින් ඉවර වෙන්න කිට්ටුව කම්පනි එකෙන් ට්‍රිප් එකක් ගියා. චමත්ලගෙ ගම පැත්තෙන්. එයාගෙ ගෙවල් දැක්ක ම මට ඔලුව කැරකෙන්න ගත්තා. ගරා වැටුන පොඩි ගෙයක්. තාත්තත් හරි ම අබල දුබල මුළු ජීවිතේ ම දුක් වින්ද කෙනෙක්.එහා පැත්තෙ  අළුත් බවුන්ඩේසමක් දාන්න අරන්. ඒ චමත් හදාගෙන යන ගේ.අපේ අනිත් අය නම් ඇළේ දොළේ පැනල නාලා සන්තෝස වුණා ට මම ආවෙ ලොකු බරක් ඔළුවෙ පුරවගෙන. එදා ඉඳන් මම චමත්ව මග ඇරියා. එයාගෙ කෝල්,මැසේජ් වලට ආන්සර් කළෙත් නෑ. ට්‍රේනින් එක ඉක්මනට ඉවර වුණ නිසා මම චමත්ගෙන් ගැලවිලා ආවා.
 ඉක්මනින් හොඳ කම්පනි එකක හොඳ ජොබ් එකක් ලේසියෙන් ම මට හම්බ වුණා. එතන ලොකු පොසිශන් එකක හිටිය නජිත් එක්ක මගෙ එෆෙයාර් එකක් පටන් ගත්තා. එයාට හයි ක්ලාස් ෆැමිලි බැක්ග්‍රව්න්ඩ් එකක්, හොඳ වාහනයක්,පොශ් ලයිෆ් ස්ටයිල් එකක් වගේ මගෙ හීන අහස අල්ලන්න ඕන දේවල් ඔක්කොම තිබුණා. එයා කෙල්ලො ආශ්‍රය කරන්නෙ විනෝදෙට විතරක් බවත් එයාගෙ නෝනායි දරුවොයි රට ඉන්න බවත් දැන ගනිද්දි ගොඩක් කල් ගිහින්. එයාගෙ හැටි ගැන කට්ටිය දැනගෙන හිටියත්  මට නොකිව්වෙ කවුරු එක්කවත් මගෙ වැඩි හිතවත්කමක් තිබුනෙ නෑ. ටාගට් පස්සෙ දුවද්දි මගෙන් එයාලටත් හිත් රිදීම් වෙලා තිබුණා.
මගෙ ලෝකය ම කඩා වැටුණා. චමත් ගෙ අගය තේරුණා. ආපහු එයා හොයාගෙන යන්න තරම් හයියක් නොතිබ්බත් එයාගෙන් අඩු ගානෙ සමාව ගන්නවත් ඕන හිතුණා.මම ට්‍රේනිං හිටි තැනට කෝල් කළා ඔෆිස් වැඩකට වගේ චමත් ව අහමින්.එහෙන් කිව්වා එයා අයින් වුණා ලු.දැන් ඉන්න තැනක් දන්නෙත් නෑලු.
ට්‍රිප් එක ගිය මතකෙන් මම ඒ ගමට ගියා. පරණ ගේ නෑ.අළුත් බවුන්ඩේසම උඩ කඩයක්.මම කුතුහලයෙන් කඩේ ට ගොඩ වුණා.එතන ඉන්නෙ අලුත් කෙනෙක්.කඩේට ආව අය කිව්වෙ චමත් ගෙ තාත්තා ලෙඩ වෙලා එක්තැන් වුණාලු. චමත් ළඟ ඉඳන් සාත්තු කළා ලු. ඒත් තාත්තා නැති වෙලා. ඉඩම දැන් ඉන්න අයට විකුණලා චමත් යන්න ගිහින්.ඒ සල්ලිත් ලොකු ඔපරේෂන් එකක් කරන්න සල්ලි මදි වෙලා හිටිය කෙනෙක්ට දීල කියල පස්සෙ ආරංචි වුණාලු...."
එක දිගට කියාගෙන ගිහින් සංදීපා හුස්මක් ගන්න නැවතුණා.
එතකොට මේ නිහඬතාව ට හේතුව කොල්ලෙක් ට තිබ්බ බූට් එකද?අයියෝ.....
"....චමත් ගැන වෙන තොරතුරක් කොහොමවත් හොයා ගන්න බැරි වුණා. බලාපොරොත්තු සුන් වෙලා ආපහු යද්දි වාහනේ මග හිටියා. හොඳ වෙලාවට ටිකක් ඈතින් පොඩි ගරාජ් එකක් තිබුණා.
චමත් ගැන හොයන්න වැඩ කළ කම්පනියෙන් යන විදියට ගිය නිසා මම ළඟ තිබුණ කම්පනි ටී ශර්ට් එකක් ඇඳගෙන ගියෙ.මගේ වාහනේ හදපු කෙනා හොඳට මගෙ දිහා බලලා කතා කළා.ඒ ටී ශර්ට් එක ගැන විස්තර ඇහුවා.ඒ ජාතියෙ එකක් අඳින තරුණ කෙනෙක් පහුගිය කාලෙ එයාල එක්ක වැඩ කළාලු.ඒ පැත්තට ඒ ටී ශර්ට් එක යන්න පුළුවන් එක ම විදියයි...."
"ඉතිං ඉතිං " චිත්‍රපටියක් වගේ අහන් හිටිය මම හූ මිටි තිබ්බා.
"....එයා.... එයා...එතන වැඩ කළ දෙන්නෙක් ගෙ රණ්ඩුවක් බේරන්න ගිහින් පිහි පාරක් කාලා නැති වෙලා.නඩුව යනවලු තාම"
"ආහ්....." මට හිටි තැනින් නැගිට්ටුනා.
"අනේ අක්කේ එදා මම ගෙදර ආවෙ කොහොමද දන්නෙ නෑ. එයාට මේ ලෝකෙ කවුරුත් නෑ හිතෙන්න ඇති.....ඒ මිනීමැරුම කළේ මම කියල මයි මගෙ හිත හැමදාම දොස් කිව්වෙ. ආකාසෙ අල්ලන්න අනිත් හැමදේම කැප කරල ගිය මම ඒක අල්ල ගත්තා. ඒත් ඒක හිස්තැනක්......"
"පන්සලේ බාර වුනායින් මොකද වුණේ?"අමාරුවෙන් වචන හොයන් මම ඇහුවා.
"අම්මලා බොරු කියල මාව එක්ක ගියත් මම ඔහේ හිටියෙ ඕවට මාව සුවපත් කරන්න බැරි බව දන්න නිසා.....ඒත්...ඒ බෝ මළුව මාව සුවපත් කළා .දවල් දානෙට බිම බලාගෙන වැඩම කෙරුව භාවනායෝගී හාමුදුරුවන් වහන්සේලා යන්තමින් බෝ මළුව ට පෙනුනා.එතන හිටියා අක්කෙ චමත්!!!!"

Comments