රට ගිය ඇත්තෝ

 කාලයක් පාඩු ලබමින් තිබූ ආයතනය හදිසියේ වසා දැමීමෙන් අපහසුවට පත් සේවකයන් අතරින් ඉදිරියෙන්ම සිටියේ කුලවංශ හා රන්සිරි ය. දෙදෙනා ම දෙදරු පියවරුය. බිරින්දෑවෝ ගෘහනියෝය. මාසයක් පමණ සුදුසු රැකියාවක් සෙව්වත් සිදු වූයේ අත ඇති මුදල වේගයෙන් අවසන් වීම පමණි.අවසානයේ රන්සිරි ගේ ඈතින් නෑ වෙන කෙනෙක් ගේ ආධාරයෙන් දෙදෙනා රට රැකියාවකට ගියහ.

මාස තුනක් පමණ ගත විය. කුලවංශ නිවසින් රට ගිය ඇත්තෙක් ඉන්නා බවට ලක්ෂණ පෙන්නුම් කෙරුනේය.වෙනදා නැති කෑම සුවඳවල්,විලවුන් සුවඳවල් දැනුනේය.අලුත් අලුත් ඇඳුම් මෝස්තර එලි බැස්සේය.නා නා ප්‍රකාර විදුලි උපකරණ එක දෙක ගෙදරට එකතු වුනේය.දරු දෙදෙනා වූ තසුන් හා ටෙහානි අරුමෝසම් පෑන්, පැන්සල්, මකන, බෑග්,තොප්පි ආදී නොයෙක් දේවල් වලින් සන්නද්ධ වූයේය.

"අම්මෙ මට අලුත් බෑග් එකක් ඕන ඉස්කෝලෙ ගෙනියන්න"රන්සිරිගේ ලොකු දුව පියුමි අම්මා දීපා ට කීවාය.

"ඇයි ඔයා ගෙනියන එක තාම අලුත් පාටයිනෙ. මාස කීයද අරන්?"

දීපා ප්‍රශ්නාර්ථයකින් ඇසුවාය. පියුමි ගේ ඇසේ කඳුළු පිරුණේය.

"ටෙහානි හැමදාම අලුත් බෑග්, වතුර බෝතල්,පැන්සල් පෙට්ටි ගේනවා.තාත්තා එව්වලු රට ඉඳන්. නැත්නම් එයාල කොළඹින් ගෙන්න ගන්නවලු.මට හිනා වෙනවා අපේ තාත්තා මුකුත් ගේන්නෙ නෑ ලු"

දීපා දියණියන් දෙදෙනාව ම ළඟට ගත්තාය.

"ඔයාල දන්නවද තාත්තා හරි කරදර විඳිනවා එහෙ...."

"ඇයි අම්මෙ ඒ?"හැමදාමත් තාත්තා ගේ දුව වූ පාරමී ඇසුවාය.

"හිතන්නකෝ.... අපි කවුරුත් ළඟ නෑ.ආස කෑමක් කන්න නෑ.ලෙඩක් දුකක් වුනාට බලන්න නෑයෙක් නෑ. අව්ව, වැස්ස, රෑ,දවල්, හිම වැටිල, සුලි සුළං කියල වැඩට නොයා ඉන්න බෑ."

"තාත්තා හරි පව් නේද අම්මෙ "

එවර පියුමිට ද තාත්තා ගැන දුක සිතුනේය.

"තාත්තා එහෙම අමාරුවෙන් හම්බ කරන සල්ලි අපි  ඕන කරන දේවල් ගත්තට කමක් නෑ නාස්ති කරන එක පව් නේද ?"දීපා දරු දෙදෙනා ගේ මුහුණු බලමින් ඇසුවාය.

මේ ප්‍රශ්නය අහන්නේ වැඩි තේරුමක් නැති දරුවන් දෙදෙනා පමණක් නොවේ.

"දීපා, මහත්තයා සල්ලි එවන්නෙ නැද්ද?" 

ඇය පුංචි මිදුල් කෑල්ලේ වවා ගත් මිරිස් පැලයකට සාත්තු කරමින් සිටියදී වැටෙන් එබුන අල්ලපු ගෙදර සිරිමලී ඇසුවාය.

"ඇයි එහෙම ඇහුවෙ?" හිතේ නැග ආ නොරිස්සුම සඟවා දීපා සිනාසුනාය.

"ඔයා වත්තෙ එළවළු වවාගෙන, ලමයි ව බස් එකෙන් ඉස්කෝලේ යවලා හරි දුකක් විඳිනවා නෙ. බලන්නකො කුලවංශ ගෙ නෝනායි ලමයි දෙන්නයි. කොච්චර කළඑළියට ඉන්නවද. ත්‍රීවීල් එකක් නැතුව අහල පහල කඩේකට වත් යන්නෙ නෑ."

"මං සල්ලි ගෙන්න ගන්නෙ පවුලේ වියදමට විතරයි.ඉතුරු ටික මහත්තයා පොතක දාල එකතු කරනව."

අනවශ්‍ය සොර සතුරු කරදර ඇති කර ගන්නේ මොකටදැයි සිතූ දීපා කීවාය. ගමට ම ආරංචි බෙදන සිරිමලී ඉදිරියේ කතා කරද්දී ඇය කොහොමත් පරිස්සම් ය.

"ආපෝ පිරිමින්ගෙ ඉතුරු කෙරිලි නම්...ඔයා සල්ලි ඔක්කොම ගෙන්න ගන්න.අඩු ගානෙ කෑවා බිව්වා ඇඳුමක් ගත්තා කියලවත් හිත හදා ගන්න පුළුවන්......ආ... නන්දෙගෙ ඉඩම ගන්න ආව කෙනෙක් වෙන්න ඕන අර යන්නෙ"

 වැදගත් ආරංචියක් එකතු කරගත හැකි මගක් පේන්නට වූයෙන් සිරිමලී පාර දෙසට අඩිය ඉක්මන් කළාය.

දීපාට ද සිරිමලී ගේ ආරංචියේ වැදගත් බවක් පෙනුනෙන් ඇය ද ඔලුව හරවා බැලුවාය.පාරට කිට්ටුව,පදිංචි නිවසට ආසන්නව, විදුලි,ජල පහසුකම් ඇති ඉඩමක් ගැන ඇය ද සිටියේ සෙවිල්ලෙනි.

"අම්මෙ ටෙහානිලගෙ තාත්තා නම් මේ අවුරුද්ද අන්තිමට එනවලු. අපේ තාත්තාත් එනවද?"

පියුමි උදේ සිට ම හිර කරගෙන සිටි ප්‍රශ්නය නිවසට ආ සැනින් ඇසුවාය.

"හ්ම්...ඔව්...එන්න ඉන්නෙ"දීපා මෙතෙක් රහසක් ව තිබූ ආරංචිය පිළිගත්තාය.

"යේ...එහෙනම් අපිත් හදමු බඩු ලිස්ට් එකක්. මට ඕන ටැබ් එකකුයි,එලි පත්තු වෙන ඔරලෝසුවකුයි, ඕගන් එකකුයි, පන්තියෙ ඔක්කොටම දෙන්න චොක්ලටුයි, මිස්ලා ඔක්කොටම....."

"මොකටද අක්කෙ බඩු ලිස්ට් එකක් හදන්නෙ?" පාරමී කුතුහලයෙන් ඇසුවාය.

"ටෙහානිලත් හදනවා දිග.....ලිස්ට් එකක්.එයාලගෙ තාත්තා එද්දි ගේන්න.අපිත් හදලා යවමු අක්කෙ තාත්තා ට.අම්මට මොනවද ඕන"

පියුමි පෑනක්,කොළයක් අතට ගනිමින් ඇසුවාය.

දීපා සන්සුන් ව දූන් දෙදෙනාව ඇමතුවාය.

"ඔයාල කැමති තාත්තා හැමදාම පිටරට ඉන්නවට ද?නැත්නම් අපි එක්ක ගෙදර ඉන්නවට ද?!

"ගෙදර ඉන්නවට "දෙදෙනා ම එක හඬින් කීහ.

"අපි තාත්තාට බඩු ගොඩාක් ලියල යැව්වොත් ඔක්කොම ගෙනෙයි. හැබැයි හම්බ කර ගත්ත සල්ලි ඔක්කොම ඉවර වෙයි ඒවා ගන්න. එතකොට තාත්තා ට ආයෙ රට යන්න වෙනවා සල්ලි හොයන්න. එහෙම හොඳයි ද?"

"අපෝ නෑ"

"තාත්තා මෙහෙ ඉන්න හොඳ ආදායමක් හදා ගත්ත ට පස්සෙ ඔක්කොම ජාති අපි ගමුකෝ"

කුලවංශ ත් රන්සිරි ත් එක ම කාලයේ මෙරටට ගොඩ බටහ. එතැන් පටන් ගෙවල් දෙක ම ඉතා කාර්‍යබහුල විය.කුලවංශ කෙළවරක් නැති සාද, විනෝද චාරිකා සමග කාර්‍යබහුල වෙද්දී රන්සිරි දීපා ඔහු ගේ ද කැමැත්තෙන් මිලට ගෙන තිබූ ඉඩමේ ගොඩනැගිල්ල තනවන කටයුතු හා කාර්‍යබහුල වූයේය.

කුලවංශ ගේ නිවසින් තෑගි බෝග, සැලකුම්, ආගන්තුක සත්කාර අත හිත පිරෙන්නට ලැබූවෝ ඔහුගේ ගුණ ගායනා  කරමින් රන්සිරි ගේ ලෝබකමට දොස් කීහ.

දෙදෙනා ම එන්නට පෙර නැවට දමා තිබූ බඩු පෙට්ටි ගමට සැපත් වීම වියැකෙමින් තිබූ පිටරට උණුසුම නැවත ඉහළ දැමුවේය. කුලවංශගේ නිවස නවීන, අරුමෝසම් උපකරණ වලින් උතුරා ගියේය. රන්සිරි ගෙනවුත් තිබුනේ කාර්මික උපකරණ,යන්‍ත්‍ර සූත්‍ර  තොගයකි.

මාස කීපයක් ගත වුණේය. තාත්තා ආරම්භ කළ සුපිරි වෙළඳසල විවෘත කරන දවසේ පියුමිත් පාරමීත් පාසල් ගියේ නැත. පහුවදා පියුමි ගෙදර දුව ආවේ අලුත් ආරංචියකින් කුල්මත් වෙමිනි.

"අම්මේ ටෙහානි ගෙ තාත්තා ආයෙ රට යනවලු. ඒකට සල්ලි මදි වෙලා එයාලගෙ ගෙදර අලුත් බඩු ගොඩක් විකුණනවලු. නදිනි කිව්වා  ඒව ගන්නෙ අපේ තාත්තාලු.ඇත්ත ද අම්මෙ ඒ?!!".

Shanika Tennakoon



Comments