වටිනාකමට වටිනාකමක්

 රැකියාවක් සොයා කොළඹට ආ සංජීව අවසානයට ම නතර වුණේ සිල්වා මහතාගේ ගරාජයේය.ඒ එහි ඇති අමුතු හොඳකට නොවේ. සිල්වා මහතා දුර සිට එන සේවකයන් ට ගරාජයේ ම නවාතැන් දුන් නිසාය. ඔහු එයින් බලාපොරොත්තු වූයේ සේවකයන් පරක්කු වී වැඩට පැමිණීම වළක්වා පැය 24ම ගරාජය වැඩ කරන තත්ත්වයේ පවත්වා ගැනීමත් ගරාජයට ආරක්ෂව සැපයීමත්ය.ඒ වෙනුවෙන් ඔහුට සැලකියයුතු වියදමක් දරන්නට සිදු නොවුනත් සේවකයන් ට එය මහත් ඉතිරියක් විය.

සංජීව එද්දී එහි තවත් දෙදෙනක් නැවතී සිටියහ. මැදි වයසේ සමරපාල අය්යා විවාහකයෙක් වුවත් දරුවන් බිරිඳ ගැන කතාකළේ ඉතාම කලාතුරකිනි. ඔහු මත් වූ විට හොඳ ගායකයෙකි. සංජීවට සම වයස් පමණ වූ කසුන් කොළඹට ආසන්නයේ හැදී වැඩුනෙකි.පිට රටකට පැන ගෙන මිනිහෙක් වීම ඔහුගේ ඒකායන බලාපොරොත්තුව විය.

 හවස වැඩ අවසන් වූ තැන් සිට රෑ මැදියම වන තුරු දුරකථයෙන් නොයෙක් දෙනා හා මුකුළු කිරීම කසුන්ගේ එක ම කාර්යය විය.

"නොදන්න කෙල්ලො එක්ක ඔහොම කියවිල්ල නම් හොඳ දෙයක් නෙවේ කොල්ලො.මම දන්න කොල්ලෙක් ඔහොම කරල ඒකි උගෙ සන්තකේම අත ගාගෙන ගියා"

සමරපාල බොහෝ විට කියයි.

"එහෙම කොහෙද සමරෙ අය්යා උන් මාව අන්දන්නෙ.මම මේ ගෙන්දගම් පොළවෙ හොඳට පදම් වෙලා ඉන්නෙ"කසුන් උත්තර දෙන්නේ ගර්වයෙනි.

තවමත් ගමේකම නොසේදුණ සංජීව මේ දෙදෙනා දෙස විමසිල්ලෙන් බලා සිටියේය.

"උඹ දන්නව ද මචං මේ කෙල්ල ආණ්ඩුවෙ ඔෆිස් එකක.මේ අනිත් කෙල්ල ට ගෙදර ම පොඩි ගාමන්ට් එකක් තියෙනවා.අනිත් එකී රට ඉන්නෙ.කතාවට සෙට් වුනා ම තුන් දෙනා ම මට පණ වගේ."කසුන් විටෙක හපන්කම් කියවයි.

"ඒ කෙල්ලො දන්නවා ද උඹගෙ රස්සාව ගැන?"සංජීව අසන්නේ පුදුමයෙනි.

"පිස්සු ද බං...මං උන්ට කියල තියෙන්නෙ මම ඉන්ජිනියර් කෙනෙක් කියල.ඇයි බං උපාධි පාස් නොකළට අපි කරන්නෙත් ඒ වැඩේ ම තමා.අවුල අපිට හම්බ වෙන්නෙ සොච්චමයි."

කලක් යද්දී කසුන් ගාමන්ට් එකක් පවත්වාගෙන යන ගෑණු ලමයා ගැන වැඩියෙන් කියන්නට වුණේය.

"දෙව්ලි මාර උත්සාහවන්ත කෙල්ලක් බං. මහන මැශින් පහක් අලුතෙන් ගෙනල්ලා.ඒ තරමට ඕඩර්ස්."

"එහෙනං හොඳට සල්ලිත් ඇති"

"නැත්නම් නැත්නම්....හෙට අනිද්දා වාහනේකුත් ගන්න ඉන්නෙ.මම ඉන්ජිනියර් නිසා මගෙන් තමා වාහන ගැන ඔක්කොම උපදෙස් ගන්නෙ"

"කොහෙද ඒ ළමයාගෙ ගෙවල්?"

"පානදුර පැත්තෙ....ළඟක වුනා නම් මං සුං"

සිල්වා මහතා ගේ හොඳම හිතවතෙක් ගේ ලොරියක්,මෝටර් සයිකලයක් ඇතුළු වාහන කීපයක අලුත්වැඩියාවට කාර්මිකයන් කීප දෙනෙක් නිවසට එවන මෙන් ඉල්ලීමක් ලැබුණේ මේ අතරය. හිතවතා පදිංචි පානදුරේය. යැවුනේ අත්දැකීම් බහුල අමරදාසත්  කසුන් හා සංජීවත් ය. දවස් ගානක් මහන්සි වී ඔවුහු අලුත්වැඩියාව අවසන් කළහ.

"මචං අපි පොඩ්ඩක් දෙව්ලි ල ගෙ දිහාට ඔළුව දාලා බලමුද?"ආපසු එන්නට පිටත් වන දවසේ කසුන් සංජීව ගෙන් ඇසුවේය.

"උඹ කිව්ව ද එනව කියල?"

"නෑ නෑ. නොකිය ගියා ම තමා වැඩි විස්තරයක් දැන ගන්න පුළුවන්. මේ මෝටර් සයිකලේ ම අරන් යං. ට්‍රයල් බලන්න යනව වගේ."

කියා තිබූ වංහුං අනුව ගාමන්ට් එක පිහිටි පැත්ත ආසන්නයට ආ කසුන් පාර අයිනේ මෝටර් සයිකලය නතර කළේය.

"ගෙවල් වලින් ගිහින් ඇහුවොත් අපි ගැන සැක හිතනවා. ඉස්සරහ කඩෙන් උඹ අහපන් දෙව්ලි ෆැශන් කියල. ඇබෑර්තුවක් තිබුණා ඒ ගැන බලන්න ආවෙ කියපන් කෝ"

ආව නිසා කරන්නට දෙයක් නැති කමට  කසුන් එළවළු කඩයක් ඉදිරියේ මෝටර් සයිකලය නතර කළ විට සංජීව ඉන් බැස ගොස් කඩයට ඇතුල් වුණේය.

"මාමෙ මේ පැත්තෙ දෙව්ලි ෆැශන් කියල  ගාමන්ට් එකක් තියෙනවා ද?"

 අහිංසක පෙනුමැති තරුණයා දෙස මුදලාලි හිසේ සිට පාදාන්තය දක්වා බැලුවේය.

"මොකටද ඔය ළමයා ඒක හොයන්නෙ?"

"එතන ඩ්‍රයිවර් කෙනෙක්ට  ඇබෑර්තුවක් තියෙනව කියල අඳුනන මහත්තයෙක් කිව්වා.මේ හන්දියේ  ඕන කෙනෙක්ගෙන් ඇහුව ම දන්නවා කිව්වා."

සංජීව තව තවත් අහිංසක පාට මවා ගනිමින් කීවේය.

"දෙව්ලි ෆැශන්......."මුදලාලි කඩයේ සිටි කිහිප දෙනෙක් දෙස ද බලමින් කිව්වේය.

"එහෙම නමක් නම්.... මතකයක් නෑ.....දැන් මෙතනින් එනවා ගාමන්ට් බස් එක.ඒකෙන් බහින ලමයෙක්ගෙන් ඇහුවා නම් කියයි"

කඩේ කෙනෙක් කියද්දී ම බසයක් පිඹගෙන විත් නතර වූයේය. ඉන් බැසගත් ගැහැණු ලමුන් කීප දෙනෙක් විවිධ පැති වලට බෙදී යද්දී දෙදෙනෙක් කඩයට ද ගොඩ වූහ.

"මේ ළමයිනේ ඔය ළමයි කවුරු හරි දන්නව ද දෙව්ලි ෆැශන් කියල ගාමන්ට් එකක්?"

කඩයට ගොඩ වූ එක් ගැහැණු ළමයෙක් මුදලාලි දෙසත් ඉදිරියේ සිටින නන්නාඳුනන තරුණයා දෙසත්  ඇස් ලොකු කර බැලුවාය.ඒ සමගින් සංජීවට ද නොදැනී ඔහු පිටුපසින් පැමිණ සිටි කසුන් ඔහුව අතින් අල්ලා ඇද්දේය.කසුන් පණ ගන්වා ගත් මෝටර් සයිකලයට තමන් නැග ගත්තේ කෙසේදවත් සංජීව ට මතක නැත.ඉතා වේගයෙන් පැද ගෙන ආ කසුන් සැනෙකින් එය පාර මැද ම නවතා ගත්තේය.ඔහු ගැසූ බ්‍රේක් පාරට සංජීව නොවැටී බේරුනේ ද අසීරුවෙනි.

ඒ සැනින් කසුන් ගෙන් නික්මුනේ මෙතෙක් සංජීව වත් අසා නැති තරම් අසභ්‍ය වචන මාලාවකි.

... හිතුවා මදි මාව රවට්ටන්න. උපන් දා ඉඳන් ගෙන්දගම් පොළවෙ හැප්පුණ මටත් බොරු කිව්වා එහෙනම්.හා...මං බලා ගන්නං"

"මොකක්ද බං වුණේ ?"

අගක් මුලක් වටහා ගන්නට බැරි වූ සංජීව ඇසුවේය.

"ඒකි තමා දෙව්ලි!!!ගාමන්ට් එකක් තියෙනවා කියල මට බොරු කිය කිය ලොකු ටෝක් දුන්නට කොහෙද යන ගාමන්ට් කෑල්ලක්....හා...මේ මැසේජ් කරන්නෙ....අනේ අය්යේ මට සමා වෙන්න. ඔයා ව රවට්ටන්න හිතුවෙ නෑ කවදාවත්. දෙව්ලි ෆැශන් කියන්නෙ මගෙ හීනය. ඔයා වගෙ ඉන්ජිනියර් කෙනෙක්ට...." කසුන් මැසේජ් එකේ බාගයක් කියවා දුරකථනය නැවත සාක්කුවට ඔබා ගෙන අසා ඉන්නට නොහැකි තරමේ අසභ්‍ය වචන ගොන්නකින් ළඟ නැති දෙව්ලි ට සංග්‍රහ කළේය. මෝටර් සයිකලය පණ ගන්වා සංජීව දෙස බැලුවේය.

"උඹ මට පොරොන්දුවක් වෙන්න ඕන.මේ වෙච්ච දේ අපි දෙන්නාගෙන් පිට ට යන්න බෑ හරි?" කසුන් එය ඇසුවේ ද තර්ජනයක් පරිදිය.

" මම කියන්නෙ නෑ"

ඒ ගෑණු ලමයා බොරු කියා ඇත්නම් උඹ කීවේ ඇත්ත දැයි අසන්නට කට පොපියෑවත් සංජීව පොරොන්දු වුනේය.

"හරි..මං ඕකිට උගන්නන්නං මං කවුද කියල.උඹ වැරදි මිනිහා එක්ක සෙල්ලම් කළේ..."තවත් වචන ගණනාවක් ම දත් මිටි කමින් කියා දැමූ කසුන් නැවත බයිසිකලය පණ ගැන්වුවේය.

නැවත ආ පසුත් කසුන් ගේ පුරුද්ද වෙනස් වූයේ නැත.ඔහු වෙනදාටත් වඩා දුරකථනය සමග තොඳොල් වූයේය.

"උඹ මේ ටිකට තව කෙල්ලක් අල්ල ගත්තා ද බං?"

සමරපාල නොසිටි වේලාවක් බලා සංජීව රහසේ ඇසුවේය.

"පිස්සුද බං...අරකි ම තමා"කසුන් හිනැහී කීවේය.

"ඈ උඹ හිත හදා ගත්තා ද?ඒකත් හොඳයි බං"

සංජීව ගේ හිතේ සැනසිල්ලක් ඇති වුණේය.

"පිස්සුද...ඕකි මට කරපු දේට ඕකිව නැත්තට ම නැති කරල මම පස්ස බලන්නෙ.ඕකිට බෝලෙ බස්සලා හොඳ ගානක් කඩා ගන්න හිටියෙ මං.මං දන්න ඒජන්සියක මහත්තයෙක් ඉන්නවා.සල්ලි හරි නම් අද ම රට යන්න තිබුනා. හහ්....මම පෙන්නන්නං මගෙ හැටි ඕකිට...."

කසුන් කපටි හිනාවකින් කියාගෙන යද්දී සංජීව ගේ හිතේ ඔහු ගැන ඇති වුණේ කියා නිම කළ නොහැකි තරම් අපුළකි.නමුත් ඔහු නිහඬ ව සිටියේය.

දින කිහිපයකින් කසුන් කලබලයෙන් සංජීව ට කඩා පැන්නේය.

"උඹ එදා වෙච්ච දේ කවුරු එක්ක ද කිව්වෙ?"

"මං?...උඹට පිස්සු ද?කියනව නම් සමරපාල අය්යටනෙ.උඹ නැති කිසි වෙලාවක මම එයා එක්ක ඉඳල තියෙනවද?ඇයි මොකක්ද වෙලා තියෙන්නෙ ?"

"අරකි මාව බ්ලොක් කරල බං... ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ. කවුරු හරි ඕකිට ඇත්ත කිව්වා ද දන්නෙ නෑ.....ශෙහ්...එදා අපි ගියේ ඒ පැත්තේ ම බයික් එකකින් නෙ. ඒකෙ නම්බර් එක හොයන් ගිහින් 

අපේ විස්තර හොයා ගත්තා ද දන්නෙ නෑ. අපරාදෙ තව සති දෙක තුනෙන් මම ඕකිව රූම් අදින්නත් හිතාගෙන හිටියෙ"කසුන් මහා කල්පනාවකින් කීවේය.

සංජීව කිසිවක් නොකීවාට හැකි ඉක්මනින් මේ අසත්පුරුෂයා පෙනෙන මානයෙනුත් ඈතට යන්නට අධිෂ්ඨාන කර ගත්තේය.

සංජීවගේ තාත්තා ට අසනීප යයි නිවසින් පණිවිඩයක් ලැබුනේ මේ අතරය.

"සංජීවට ආයෙ වැඩට එන්න වෙන්නෙ නැහැයි කියන්නෙ. තාත්තා එක්තැන් වෙලා සිංහල බේත් කරනව ලු. සංජීව ලු සාත්තුවට ඉන්නෙ."සිල්වා මහත්තයා දින කීපයකින් කීවේය.

"ඌත් ගියා එහෙනං.ඒක හොඳයි. නැත්තං මේ කොළඹ විගඩම් හින්දා ඌත් විනාස වෙයි"

සමරපාල කීවේ එපමණකි.

ගරාජයට ආවෝ ගියෝ බොහොමයක් වූහ.ෆෝන් ඇබ්බැහිය සීමාව ඉක්මවා ගිය කසුන් ද එයින් දොට්ට දැමුණේය.

යන එන මගක් නොතිබූ ඔහු සුපුරුදු පරිදි නොයෙක් රැකියා අත් හදා බලමින් යයි.තවමත් ඔහුගේ ඉලක්කය රට යාමය.

අතේ ඇති ගණනට කොත්තුවක්, චිකන් කරියක් හා බ්‍රිස්ටල් දෙකක් ගත් කසුන් ඇඳිරි වැටීගෙන එද්දි ගාටමින් නවාතැනට ඇදුනේය.බස් එකක යන දුරක වුණත් ඒ ගානවත් අතේ නැත.මේ යන හැටියට නම් ලොකු මුදලක් එකතු කර ගන්නා හැටියක් නොපෙනේ. අලුතෙන් ගහන්නට ගේමක් ද  නැත. සිතුවිල්ලේ ආ කසුන් තමා ළඟම බ්‍රේක් ගැසූ වෑන් රථයක් නිසා ඉවතට පැන්නේය.

"කසුන්!"

පුරුදු කටහඬකි.

"අඩේ සංජීවයා.උඹ කොහෙද මෙහෙ?"

නැගපන්කෝ කොහෙද යන්නෙ?"

".උඹ දැන් ඩ්‍රයිවින් ද?කවද ද කොළඹ ආවෙ?කොහොමද තාත්තාට?"තමන් ගැන කියන්නට තරම් දියුණුවක් නැති නිසා ඔහු ප්‍රශ්න පිට ප්‍රශ්න ඇසුවේය.

"මම උඹව හොයන්න කලින් තැනටත් ගියා"

"   මම දැන් එතන නෑ...එතන වැඩ කරල කිසි ගෝ එකක් නෑ. ලංකාවෙ මොකක් කළත් කිසි දියුණුවක් නෑ නෙ බං.උඹට නම් සරුයි වගේ"

"මට උඹට කියන්න දෙයක් තිබුණා....."සංජීව ලොකු කල්පනාවක සිට කීවේය.

".....තාත්තාට බේත් කරන්න හොඳ වෙද මහත්තයෙක් ඉන්නවා කියන ආරංචියකට මම පානදුරේ ගියා. මට අර ගෑණු ළමයා දෙව්ලි මුණ ගැහුණා....

කසුන් තිගැස්සුණත් එය නොපෙන්වා සිටියේය.

...එයා ම මාව අඳුරලා කතාකළේ .....එයා කවුද කියල දැනගෙනත් ඔයා වෙනසක් නොපෙන්වා ආයෙත් කතා කරපු එක ගැන එයාගෙ යාළු අක්කා කෙනෙක් අනතුරු ඇඟෙව්වලු. ඒ නිසා කලින් ට වඩා බොහොම කල්පනාවෙන් ලු උඹට මැසේජ් කළේ.ටික ටික උඹ රෝන් සයිඩ් යන බව තේරුණා ම අර අක්කටත් පෙන්නුව ලු චැට් එක. ඊට පස්සෙ තමා උඹව බ්ලොක් කරල තියෙන්නෙ..... .ඒ ළමයා නැවතිලා හිටිය හරියෙ මයි වෙද මහත්තයා හිටියෙ. මාසෙකට සැරයක් වගේ තාත්තා එක්ක මම එහෙ ගියා.මං උඹේ යාළුවා නිසා බොහොම නරක විදියට තමා මටත් කතා කළේ.... මමත් වැඩි කතා බහට ගියෙ නෑ.......ටික කාලෙකින් දෙව්ලි එක්ක මගෙ සම්බන්ධයක් ඇති වුනා.ඒ වෙද්දි මම ගමේ ට්‍රැක්ටරයක් කුලියට අරන් බඩු අදිනවා.අපි බැන්දා.එයා එයාගෙ හීනෙට ගියා දෙන්නගෙ ම මහන්සියෙන්......පානදුර පැත්තෙ ආවොත් වරෙන්.දෙව්ලි ෆැශන් ඒ පැත්තේ හැමෝම දන්නවා දැන්...... 

"මාව...මාව....ඔතන ඉස්සරහින් දාපං"කසුන් වහා කීවේය.වාහනය නවත්වන්නටත් පෙර බැස ගත්තේය.

"දියුණු වෙන්න ලංකාවෙන් යන්න ම ඕන නෑ බං.කරන දේට අවංක වෙලා මහන්සියෙන් වැඩ කරනවා නම් එච්චරයි....."

සංජීව ජනේලයෙන් ඔලුව එලියට දමා කිව් වචන ඔලුව ඇතුලේ ම රැව් දෙද්දී තමන් පසු කර යන වාහනයේ සටහන් වූ "දෙව්ලි ෆැශන්" නම අඳුර අතරින් ඔහුට පෙනුනේය.


Shanika Tennakoon

Comments