අනුන්ගේ සපත්තු

 


සැමියා ගේ කාර්‍යාලයේ සුහද හමුවට ගිය නන්දිතා නිවසට ආවේ කේන්‍තියෙන් දැවෙමිනි.

"ඔයාලගෙ අලුත් සේල්ස් මැනේජර් ට බීල වැඩි වෙලා ද?නැත්නම් පිස්සුද?....හරි ම කැත විදියට ගෑණු අයව පහළට දාල කතා කරන්නෙ. ඔයා මාව නතර නොකළ නම් මම කියල දෙනව උන්දැට හොඳවයින්.... ඇත්තමයි කෝ ඔයාලගෙ අර කටකාර නෝනලා මහත්තුරු.... මිනිහගෙ පෝස්ට් එක නිසා ද කට පියන් ඉන්නෙ"ඇය වේගයෙන් කියවාගෙන ගියාය.

"මිස්ට සරත් හිතන්නෙ ඔහොම තමා. ගෑණු රස්සා කරන්න ඕන නෑ, වැඩි දුරට ඉගෙන ගන්න හොඳ නෑ..... මිනිහා ඔෆිස් එකට ආව දවස් වල ඕවා කිව්ව ම අපිත් ගියා එල්ලීගෙන තර්ක කරගෙන. මෑන්  කොහොම හරි තර්ක කරලා දිනනවා.ඒවට හරි යන උදාහරණත් මෑන් ළඟ තියෙනවා.....ඒ විතරක් නෙවේ එහෙම කියාගෙන එන කෙනාව නෝන්ඩි කරල පාගලා ම දානවා. ලේඩි කෙනෙක් නම් මෙයා බඳින පිරිමියා පුදුම පව්කාරයෙක්. ඌ ලව්වා කකුල් දෙක ත් හෝදවා ගනී.පේනවා නේද රස්සාවක් හින්දා ගෑණු උඩ යන තරම්.... නැත්නං අරය ගෙ මහත්තයා නම් දාලා යනව හෙට අනිද්ද ම.ඌට ටොකු ඇන ඇන ගෙදර වැඩ ගන්නවා ඇති. ඌත් ගොන් බඳින කණුවක් වෙන්න ඇති වහලෙක් වගේ කට පියන් ඉන්නෙ.ඔන්න පේනව ද ගෑණු ජොබ් කළා ම වෙන දේ.....පිරිමියෙක් නම් අය්යෝ මල්ලි ඔයත් වයිෆ් ගෙ ඕඩර්ස් වලට යට වෙලා නේද ඉන්නෙ.අනේ ඉතින් ගෙදර ගිහින් නෝනාගෙ යට ඇඳුනුත් හෝදනව ද අහනවා. පස්සෙ අපිත් ගණන් නොගෙන හිටියා...නිකන් ඇඟේ ලේ පුච්ච ගන්නෙ මොකටද......" සාගර කී දේවල් නන්දිතා අසා සිටියේ දෑස් විසල් කරගෙන ය.

"අපෝ මහ විෂබීජයක් නෙ අලුතෙන් ඇවිත් තියෙන්නෙ.ශුවර්.. කලින් තැන් වලත් ඔහොම කතා කියල පන්නලා වෙන්න ඇති......ඔය මනුස්සයා බැඳපු කෙනෙක් ද?"

"ම්ම්...ඒ විස්තර මුකුත් අපි නම් දන්නෙ නෑ....සමහර විට ඔෆිස් ඇවිත් ලොකු ලයින් දුන්නට මෑන් ගෙදර ගියා ම සුවච කීකරු යටහත් සේවකයෙක් ද දන්නෙ නෑ යක්ශ වයිෆ් කෙනෙක් ගෙ"

දෙදෙනා ම පීඩාකාරී පරිසර තත්ත්වය සමනය කරමින් සිනාසුණහ.

කාලය ගෙවී ගියේ කාර්‍යාලයේ සැමට ම සරත් මහා හිසරදයක් වෙමිනි. කාන්තාවන් ගැන ඔහුට තිබුණේ පුදුමාකාර අපහාසාත්මක දර්ශනයකි. රාජකාරියට ඇති විශිෂ්ඨ දක්ෂතාවය නොවන්නට ඔහුව ආයතනයෙන් එළවා දමන තැනට ම කරුණු යෙදී තිබුණේය.අවස්ථාවක් ලැබුණ සැනින් ඔහුට පාඩමක් උගන්වන්නට බල බලා සිටියෝ බොහොමයක් වූහ.

    නන්දිතා ගේ පවුලේ අය දෙන දානයකට සහභාගි වන්නට ඔවුහු නන්දිතා ගේ ලොකු අම්මලාගේ නිවෙසට කිට්ටුව පිහිටි පන්සලකට ගියහ. කාන්තාවන් දාන භාජන අස් කරද්දී සාගර ලොකු තාත්තා ඇතුලු වැඩිහිටියන් කීප දෙනෙක් සමග පන්සලේ හා අවට සුන්දරත්වය නරඹමින් විහාරය පැත්තේ ඇවිද්දේය.

"මේ මිනිස්සු දන් දෙන්නෙ ඔක්කොම අත් ඇරලා කිව්වට බලන්න පුතා මේ චිත්‍ර, පිළිම ඔක්කොගෙම යටින් ආධාර කරපු අයගෙ නම්,ගම් ලියල....දැක්ක ද අර දානෙ පිළිගන්වපු භාජන. මෝස්තරයක් වගේ මුළු එඩ්‍රස් එක ම ලියල....ආ මේ අපේ අසල්වැසියෙක් ගෙ නමකුත් තියෙන්නෙ."නන්දිතා ගේ ලොකු තාත්තා විහාර ගෙයි ඇවිදිමින් කීවේය.

ඔහුට එකඟ වෙමින් ඒ චිත්‍රය දෙස බැලූ සාගර ට ඒ නමේ හුරුවක් දැනුනේය.

"නෙරළුපිටිය.....නෙරළුපිටිය..."ඔහු තමාට ම තොල මතුරමින් ආවේය.

"ඔයා දන්නවද ලොකු අම්මලගෙ ගෙවල් පැත්තෙ නෙරළුපිටිය කියල පවුලක්?" නැවත ගෙදර ආ පසු ඔහු බිරිඳගෙන් ඇසුවේය.

නන්දිතා විමසිල්ලෙන් ඔහු දෙස බැලුවාය.

"අපේ සරත් සර් ගෙ සර්නේම් එකත් නෙරළුපිටිය. මිනිහ ගෙ මහ ගෙවල් මේ පැත්තෙ  වගේ මට මතක..."

නන්දිතා වහා ක්‍රියාත්මක වූවාය.

"ලොක්කම්මේ අර නෙරළුපිටිය ගෙදර කවුද දැන් ඉන්නෙ?"

"ආ.....වයසක කට්ටිය නැති වුනාට පස්සෙ කවුරුත් නෑ.ගේ අයිති ලොකු පුතාටද කොහෙද.මිනිහා රට නෙ ඉන්නෙ."

"අපිට පොඩ්ඩක් වැඩිමල් පිරිමි ලමයෙක් හිටියා නේද.....සරත්, සුනිල් වගේ නමක් තියෙන....කෝ දැන්."

නන්දිතා අහන්නේ ඇත්තටම මතකයෙන් ද උපකල්පනයෙන් දැයි සාගර සිතුවේය.

"ආ...ඔයාට මතක ද ඒ ලමයා....කොහේ ඉන්නව ද දන්නෙ නෑ.හොඳක් වුණා නම් හොඳයි.... අසරණයා..."

"ඇයි ලොක්කම්මේ එහෙම කියන්නෙ?ඇත්ත ට ඒ කාගෙ කවුද?"

"ඔය පවුල හරි ඉහලින් නෙ හිටියෙ.පුත්තු දෙන්නයි.ලොක්කා නම් කොහොම හරි පිට රටකට පැන ගත්තා.පොඩි එකා ගමේ ඉඳන් රස්තියාදු ගහනව කියල කොළඹ නෑයෙක් ගාවට  යැව්වා. එහෙදි කෙල්ලක් එක්ක හුටපටයක් හදන්. ඔෆිස් එකක වැඩ කරන ඉගෙන ගත්ත කෙල්ලක් ලු.ඒත් ඒ පවුල මදි ලු මේ මහන්තත්තකම් වලට. ගෙදරින් අකමැති වෙච්ච නිසා කසාද බැඳල කොළඹ දිහා මයි හිටියෙ. දවසක් එක පාර ම හවසක අවුරුදු හතර පහක පොඩි දරුවෙකුත් එක්ක කොල්ලා විතරක් ගමට ආවා. මුගෙ අසමජ්ජාති ගති ඉවසගන්න බැරුව ඒ කෙල්ල දරුවත් දාල යන්න ගිහින්. මූට තනියෙන් ළමයා හදා ගන්න බැරි නිසා මහ ගෙදර ගෙනාවා.ළමයා ගෙනත් දාලා ඌ ආයෙ කොහේ ගියා ද දන්නෙ නෑ. දරුවා ඉතින් ඔහේ හැදුනා.හිටි ගමන් ගමේ ලමයි එක්කත් සෙල්ලමට එනවා...ලමයි අම්ම කෝ තාත්තා කෝ කිය කිය විහිළු කරනවා.මේ ලමයා ත් පරදින්නෙ නෑ... හෙන කටකාරයා.."

"මොනවද පද්මා මේ හොඳ වැඩකට ගිහින් එද්දිත් කියවන ඕපදූප."ලොකු අම්මාට තවත් කියවන්නට නොදී ලොකු තාත්තා සැර කළේය.

ඒ සැරයෙන් ලොකු අම්මා පමණක් නොව නන්දිතා ද නිහඬ වූවාය.

"පව් නේද?" සෑහෙන වේලාවකට පසු නන්දිතා කීවාය.

"කවුද?" අගක් මුලක් තේරුම් නොගිය සාගර ගැස්සී ඇසුවේය.

"ඒ කිව්වෙ ඔයාලගෙ ලොක්කා ගැන නම්......"

"ඇයි?"සාගරට තවමත් කල්පනාවක් නැත.

 "මිනිහා අනුකම්පා කළයුතු චරිතයක් නේද? අනාථයෙක් වගේ හැදෙද්දි ඒකෙ වරද අම්මාගෙ කියල හිතෙන්න ඇති.අම්මා ඉගෙන ගෙන ජොබ් එකක් කළ නිසා එයාට මෙහෙම වුනේ කියල හිතන්න ඇති.ඒ නිසයි එයා බොහොම තදින් ම විශ්වාස කරනවා ඇති ගෑණු ඉගෙන ගන්න හොඳ නෑ...රස්සා කරන්න හොඳ නෑ....."

" එක පාර ම මිනිස්සුන්ට චරිත සහතික දෙන්න එපා කියන්නෙ ඕකයි....එයා එහෙම වුණේ ඇයි කියන්න දන්නෙ එයා ම විතරයි."

සාගර කීවේ කාටත් පොදු ඇත්තකි.

Comments