කොරෝනාවෙන් පස්සේ කාලෙක


"ඩිවෝස්,ඩිවෝස්,ඩිවෝස්"

කාර්‍යාලයේ සිට ගෙදර ආ නාලක ඇඳුම් මාරු කර සාලයට ආවේ එසේ කියාගෙන ය.

"කවුද පුතා..?"

අම්මා ටීවී තිරයෙන් දෑස් ඉවතට ගනිමින් ඇසුවාය.

"කවුරුත් නෙවේ අම්මෙ,ඩිවෝස් කේස් වැඩි වෙලා....එපා වෙනවා ...."නාලක නැවතත් කීවේය.

"ඈ මෙන්න ලෝයර් කෙනෙක් ට නඩු එපා වෙලා ලු"නංගී තාරිකා හඬ නගා හිනැහුණාය.

"නෑ හලෝ වෙනද වගේ නෙවේ.... හොඳට ජොබ් කරගෙන ගෙවල් දොරවල් හදාගෙන සමාදානෙන් අවුරුදු අට දහය පවා  හිටිය පවුල් තමා දැන් ඩිවෝස් වෙන්න එන්නෙ"

"ඒ මොකද පුතා ?"

"කොරෝනා තමා"

"ඈ ඒ කොහොමද?"

"ඇයි අම්මෙ ඉස්සර සතියෙ දවස් වලට උදේ ම නැගිටිනවා. උයනවා. ඔතා ගන්නවා.ඇඳ ගන්නවා,ජොබ් එකට දුවනවා .....හවස ආවමත් රෙදි හෝදනවා, උයනවා, එක්කො පිටින් ගෙනත් කනවා... ටීවී බලනවා, පහුවදාට උයන පිහින අඳින පළඳින දේවල් ලෑස්ති කරනවා,නිදා ගන්නවා......නිවාඩු දවසට ගෙවල් දොරවල්,වතු පිටි සුද්ද කරනවා, කොහෙ හරි යනවා.... කවුරු හරි කට්ටියක් එනවා...."

"ඉතින් කොරෝනා නිසා මොකද වුණේ?"

"සති ගණන් දෙන්නා ගෙදර... සමහරු සතියට දවස් කීපයක් වැඩට ගියා.නැත්නම්  වර්ක් ෆ්‍රොම් හෝම්....අන්න එතකොට තමා දෙන්නාට දෙන්නා හරියට මුණ ගැහුනේ,කතා බහ කළේ.ඔන්න පේන්න පටන් ගත්තා නොගැලපීම් ....පොඩි රංඩු දිගට දිගට ගියා.ඉතින් ඩිවෝස් ඩිවෝස් ඩිවෝස්....."

"හප්පා හරි ම දරුණු තත්ත්වයක් නේ"

"එහෙනම් ඒක ම තමා අපේ ඔෆිස් එකේ වෙලා තියෙන්නෙ ත්"

සාවධාන ව අසා සිටි තාරිකා කීවාය.

"ඇයි ඔයාලගෙ කට්ටියත් ඩිවෝස් වෙන්න යනව ද?"

"ඉස්සර ට්‍රාන්සර් එකක් ආවොත් අම්මෝ එන අභියාචනා....අම්මට තාත්තට දරුවන්ට තියෙන අසාධ්‍ය ලෙඩ ඒවගෙ මෙඩිකල් රිපෝට්ස් මිටි ගණන්,ගෙවල් වල ප්‍රශ්න, පවුල් ප්‍රශ්න....මේ නිලධාරියා මාරු කළොත් පවුල් සංස්ථාව ම අනාථයි.....එක්කො මාරුවක් ඉල්ලනවා නම් ගෙයි ගෙම්බා කොච්චර විසි කළත් ගේ පැත්තට ම වැටෙනවා වගේ ඒ සෙක්ශන් එකෙන් මේ සෙක්ශන් එකට".

"දැන් මක් වෙලා ද?"

"දැන් ඉල්ල ඉල්ල දුර පැති වලට යන්න හදන්නෙ. ඩිවෝස් වෙන්න බැරි කමට දෙන්නා දෙපැත්තට වෙලා ඉන්න හදන්නෙ"

"හ්ම්...ට්‍රාන්සර් නම් මම දන්නෙ නෑ...ඒ වුණාට ඔහොම ඩිවෝස් වෙන එක නම් හොඳ වැඩක් නෙවේ...සල්ලි සල්ලි කියල හිතන්නෙ නැතුව බැරි ද පුතා ඒ අය ව මනෝ උපදේශකයෙක් වගේ කෙනෙක් ගාවට යොමු කරන්න?"

සියල්ල අසා සිටි අම්මා ඇසුවාය.

"වැඩක් නෑ අම්මෙ"

දෑත් දෙපා දිගු කර හිරි අරිමින් නාලක කීවේය.

"ටීවී චැනල් වලට ඇවිල්ලා සාර්ථක පවුල් ජීවිත ගැන දෙසන දෙන්නෙක් ගෙ ම ඩිවෝස් නඩු ඇහුවා මේ සතියෙ"


Comments