සකුණි දෙවන වතාවට මවක් වන්නට යයි. සැමට ම
වඩා ඒ ගැන සතුටින් සිටින්නේ පුතා චන්දූප ය. දැන ගත් දා සිට මට නංගියෙක් නංගියෙක්
කියමින් උඩ පනින ඔහු දන්නා හඳුනන හැමටත් අම්මා තමන්ට නංගියෙක් ගෙනත් දෙන බව කියයි.
ඒ තරම් සන්තෝසයෙන් සිටි ඔහු දිනක් වැඩ ඇරී ආ
සකුණි හමුවට ආවේ දෑසේ කඳුළු පුරවාගෙනය.
"අම්මලා නංගි ගෙනාව ම මාව වෙන කාටහරි දෙනව ද?"
සකුණි මහත් පුදුමයෙන් පුතා දෙස බැලුවාය.
"කවුද මගෙ මැණිකට ඔය බොරු කිව්වෙ?"
"පහළ ගෙදර ආච්චි....අද පේර ගොඩාක් අරන් ආවා
මෙහෙ. නංගි ආව ම එයාල පේර, අඹ,නාරං ඔක්කොම ගෙනත්
දෙන්නෙ නංගිට ලු. මගෙන් වැඩක් නෑලු. අම්මයි තාත්තායි ආදරේ වෙන්නෙත් නංගිට ලු.මාව
වෙන ගෙදරකට දෙනව ලු."
සකුණි ට නොරිස්සුමක් ඇති වූයේය.
"ඒ ඔයා ව තරහ ගස්සන්න පුතේ. කවුරුවත් එහෙම
කරන්නෙ නෑ මගෙ පුතාට.පුතා හොඳ බබෙක් නිසා නෙ අම්මා මේ ඔයාට නංගියෙක් ගෙනත් දෙන්න
යන්නෙත්.ඉතින් ඔයාව වෙන කාටවත් දෙන්නෙ මොනවටද?"
පුතා ගේ හිත හදන්නට එසේ කිව්වත් ඇය මේ ගැන
සැමියා සුපුන් සමග කතා කළාය.
"ඔය වගේ එක හැකර කටක් තිබ්බොත් ඇති ළමයි
දෙන්නා ව ජන්ම හතුරො කරන්න.අපේ ඔෆිස් එකේ මිස් කෙනෙක් ට දෙවෙනි බබා ලැබෙන්න
ඉන්නකොට ලොකු පුතා දවසක් දෙකක් ඔෆිස් එකට එක්ක ආවා.එතන උන් ටිකත් ඔය වගේ ම කතන්දර
කියල ඒ ළමයගෙ හිතේ වෛරයක් ඇති කළා නූපන් ළමයා ගැන.දැන් අයියා මලෝ දෙන්නා ගෙදර දාල
හදිස්සියකට වත් කොහෙවත් යන්න බෑ මරා ගන්නවලු ඉස්පිරිතාලෙ ගෙනියන්න තරම්"
චන්දූප ගේ හිතේ අලුත් සාමාජිකයා ගැන යහපත් හැඟීම්
පමණක් මතු වන්නට කළ හැකි දේ ගැන දෙමහල්ලෝ කතා බස් කළහ.අලුත් දරුවාට යමක් ගෙන එද්දී
ඒ සමග පුතාටත් යමක් ගෙන ආහ.එක්කෝ ඔහුත් එක්කගෙන ගොස් නංගිට හොඳ ඒවා ඔයාම තෝරන්නකෝ
කියමින් ඔහුට බාර දුන්නේය.මෙය එක වැඩේ දෙක තුනක් කරන වියදම වැඩි කරවන්නක් සේ
පෙනුනත් චන්දූප ට මිල ගණන් ගැන තේරුමක් නැති නිසා ඔහු ආස ම වැඩි ගණනක් නැති
සෙල්ලම් බඩුවක් අරන් දී දෙපැත්ත සමබර කර ගත හැකි විය.
නියමිත
දිනයේ සකුණි දුවක ලැබුවාය.
අළුත් සාමාජිකයා බලන්නට මුලින් ම ආවේ කෑගල්ලේ
ආච්චි හා සීයා ය.
සීයා ආවේ ම "කෝ මේ අලුත් ලොකු
අයියා" කියාගෙන ය.
" මං පුතාට පැණි වළලු අරන් ආවා. ගිය සැරේ ඇති
වෙන්න කන්නත් බැරි වුනා නේද"ආච්චි අම්මාට ද පෙනුනේ අයියා ව ය. අම්මාගේ තුරුළ
අයිති කරගත් නංගියා ගැන පොඩි පහේ ඔරොප්පුවකින් සිටි චන්දූප ගේ මුහුණ එළිය වැටුණේය.
ඊළඟට ආ කොළඹ ආච්චීත් නැන්දා ත් නංගී දෙස
බැලුවේවත් නැත.
"කොහොමද සුදු පුතාගෙ මොන්ටිසෝරිය
දැන්.කොන්සට් එක කවදද?අපිත් එනව
හොඳේ බලන්න. මාමාට අද එන්න නිවාඩු නැති නිසා මෙන්න ඔයාට පොත් ගොඩාක් දුන්නා පාට
කරන්න"
"ඔයාල දැක්ක ද මගෙ නංගි බබා..." හැමෝගේම
අවධානය තමන් වෙත යොමු වීමෙන් සතුටට පත් චන්දූප ඇසුවේය.
"ආ....කෝ...අපි අඳුනන්නෙ නෑ නෙ එයා.ඔයානෙ
දන්නෙ.අපිට අඳුන්වලා දෙනවද?"
තවත් වර්ණනා අනවශ්‍යය.චන්දූප සියලු නෑයන්ට
අලුත් අමුත්තා පෙන්නුවේය.
"එයා ඔයා වගේමයි නේද"
"ඔයා හොඳ බබෙක් නිසා ඔන්න අම්මා තෑගි
ගෙනත්.ඔයාට පුළුවන් නේද නංගිටත් හොඳ බබෙක් වෙන්න කියා දෙන්න?"
"මේ දවස් ටිකේ එයා ගාවට ම වෙලා ඉන්න වෙයි
අම්මාට.තාම පොඩියි නෙ කතා කරන්නත් බෑනෙ.ඊට පස්සෙ ඔයාගෙ තමා එයා"
මේ කතා සියල්ලෙන් චන්දූප සතුටින් ඔකඳ ව
ඇත.අලුත් ලොකු අයියා නංගී ගැන සෙනෙහසින් හා වගකීමෙන් පිරී ගොස් ය.
තමන්ගේ මහන්සිය ගැන සකුණි හා සුපුන් සැනසුම්
සුසුම් හෙලූහ.
Comments
Post a Comment