තිරෙන් පිටුපස


පාසල් කාලයේ සිට ම ඉතා තදින් "නිළි උණ" සෑදී සිටි රවීශා ට කොටස් වශයෙන් විකාශය වන ටෙලි නාට්‍යයක චරිතයකට තෝරා ගැනීම දැනුනේ ලොතරැයියක මුල් දිනුම ඇදුන පරිදිය.

ඇගේ මේ ආශාවට පවුලේ අය පමණක් නොව පෙම්වතා වූ සනීර පවා පොඩ්ඩක්වත් කැමති නැත.
"ඕවට ගියා ම පුද්ගලික ජීවිතයක් නෑ හැම දෙයක් ම පත්‍තර ටීවී ඉන්ටනෙට් වල යනවා.බොරු මඩ වදිනවා අපිටවත් රටට මූණ දෙන්න බැරි වෙන්න"
"පේන්නෙ නැද්ද නිළියන්ගෙ ජීවිත. අද එක කසාදෙක.ලබන මාසෙ තව එකක්.ආයෙ බලද්දි ඒකත් නෑ"
"ජනප්‍රිය වෙද්දි හොඳට ඇඳල පැළඳල ඉන්න ඕන රට ට පේන්න. ඒවට සල්ලි හොයන්න සල්ලිකාරයො එක්ක යනවා අතින් අතට මාරු වෙවී. අන්තිමට ගන්න දෙයක් නෑ"
හැම දෙනා ම කිවූ මේ කිසිවක් ඇහුණේ ඇයට නොවේ.
"මං වැරදි කරන්නෙ නෑ....මගෙ සීමාව මම දන්නවා. තමන් නරක නම් නිලියක් නෙවේ ගෙදරට ම වෙලා ඉන්න ගෑනු අයත් වැරදි කරනවා"
රවීශා ඒ හැමට ම එකම උත්තර දුන්නාය.
කෙසේ වුවත් ඇය හැමදාම ශූටින් වලට ගියේ අම්මා හෝ සනීර සමග පමණි.
"මරු නිළියක් එක්ක නෙ රඟපාන්න අහු වෙලා තියෙන්නෙ" දවසක සනීර කීවේය.
"කවුද?"
"අර මහ නිළිය රිද්මිකා මධුමිණි"
"ඇයි එයා හරි හොඳයි.මට වරදින තැන් හොඳට කියල දෙනවා"රවීශා විරෝධය පළ කළාය.
"අපොයි ඔව් හොඳට කියල දෙයි ඔහොම යනකොට...මේ.....හොඳටම ෂුවර් නේද ඕක මෙගා එකක් නෙවේ කියල?"
"ඔව් ඔව් අනේ මට රඟපාන්න තියෙන්නෙ තව කොටස් දෙකයි" රවීශා නොරිස්සුමින් උත්තර දුන්නාය.
ඊලඟ රූ ගත කිරීම පැවැත්වෙන්නේ තරමක් දුර බැහැරය. සනීර ට එදා අත්‍යවශ්‍ය රැස්වීමකි.අම්මාගේ ද දණහිස් අමාරුව වැඩි වී ඇත. රවීශා ට යන්නට වූයේ නාට්‍යයේ පිරිස සමගය.
"බය වෙන්න එපා ඇන්ටි අපි හොඳට නංගි ව බලා ගන්නම්.....රෑ වෙද්දි එනවා නෙ" ගෙදරින් ඇයට යන්නට දුන්නේ ඔවුන් දුන් දහසක් පොරොන්දු වලට වඩා රවීශා ගැන තබන විශ්වාසය ගැන ඇයට තදින් මතක් කරවමිනි.
දවසකට වැඩි තරම් වන කොටස් ප්‍රමාණයක් එදාට රූගත කරන්නට තිබුන නිසාත් රෑ වුවොත් නවතින්න ට හරි හමන් තැනක් ළඟ පාත නොතිබූ නිසාත් ඔවුන්ට කාලය සමග මහා සටනක් කරන්නට සිදු විය.දවසම හෙම්බත් ව සිටි රවීශාට හුස්මක් ගන්නට ලැබුණේ හවස් වී ය.ඇය දුරකථනය අතට ගත්තාය. මිස්කෝල් පහලොවකි.ගෙදරින් හා යෙහෙළියකගෙන් ලැබී තිබුණු ඇමතුම් හතරක් ඇර අනෙක් සියල්ල සනීරගෙනි.විනාඩි දෙක තුනෙන් අම්මාට විස්තර කියා අවසන් ව ඇය වෙව්ලන අතින් සනීරට ඇමතුමක් ගත්තාය.
දෙවරක් රින් වෙද්දී එහා පැත්තෙන් උත්තර දුන් අතර ඇය සිතූ පරිදිම බැණුම් වැස්සකින් කන් දෙක පිරී ගියේය. වෙන වේලාවක නම් එය දරා ගත හැකි වුවත් හොඳට ම මහන්සි වී සිටින මේ වෙලාවේ ඇයට සනීරගේ බැණුම් නිසා හැඬුම් ආවේය.
කඳුළු පිසගෙන එතනින් එද්දී ඇය මුහුණ දුන්නේ රිද්මිකා ට ය. අපහසුවෙන් මෙන් සිනාසෙන්නට උත්සාහ කර රවීශා මග හැර ගියාය.රිද්මිකාට තමන්ගේ වෙනස තේරුණ බව රවීශාට හොඳට ම විශ්වාස වුවත් ඇය ඒ ගැන නොඇසීම මහත් සැනසිල්ලක් විය.
රවීශා ඈතට වී අනෙක් රූගත කිරීම් නැරඹුවාය.එහෙත් ඇයට ඒ කිසිවක් හිතට වැදුනේ නැත.සනීර කිවූ වචන හෙළි තුඩු මෙන් නැවත නැවත රිදුම් දෙයි.
රිද්මිකා සිසිල් බීම වීදුරු දෙකක් ගෙනවිත් එකක් ඇය අතට දුන්නාය.
"රඟපාන එක කෙල්ලෙක්ට මහ ලොකු වරදක් ද අක්කෙ?"ඇයට නොදැනුවත්ව ම ඇසුණේය. රිද්මිකා කුතුහලයෙන් ඇය දෙස බැලුවාය.ඈ අසලින් වාඩි වූවාය. දුරින් ඉන්නා නිසා අනෙක් අයට ඔවුන් කියන්නක් නොඇසේ.
"ඔයා මං ගැන මොනවද හිතන්නෙ නංගි?"
"ඔයා ගැන.....ඔයා හරි දක්ෂ ජනප්‍රිය නිළියක්.මගෙ වීරවරියක් වෙලා හිටියා ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්.දැන් වුණත් මං වගේ අලුත් කෙනෙක් ට හුඟක් උදව් කරනවා.....තව....."
"කසාද තුනක් බැඳලා ඒ ඔක්කොම කඩාගෙන.එක මිනිහෙක් එක්ක ජීවත් වෙන්න බෑ චරිතෙ හොඳ නෑ. රට පුරා වෙන මිනිස්සු එක්ක යනවා.අනිත් අය කියන දේවල් ඔයා කියන්නෙ නැද්ද?"
රවීශා තත්පර ගානකට නිහඬ වූවාය.
"ඒක තමන්ගෙ පුද්ගලික දෙයක් නෙ.ඒවා රඟපෑමට අදාල නෑ නේද?"
"විවාහ අසාර්ථක වුණ අය සමාජයේ ඕන තරම් ඉන්නවා නංගි.ඒත් ජනප්‍රිය චරිතයක් විශේෂයෙන් ගෑණු කෙනෙක් වුණා ම මඩ වදිනවා වැඩී වරද තමන්ගෙ වුනත් නැතත්"
"මං අනවශ්‍ය දෙයක් අහනව නම් සමා වෙන්න අක්කෙ.ඇත්තට ම ජනප්‍රිය අයට බැරි ද සාර්ථක විවාහ ජීවිත ගත කරන්න?"
රිද්මිකා දිගු සුසුමක් හෙළුවාය.
"අනෙක් අය ගැන මම දන්නෙ නෑ ඒත් මං ගැන කියන්නම්.ජනප්‍රිය කුලකයේ ඉඳන් කතන්දර අහන ගොඩක් අයට තියෙන්නෙත් මීට ටිකක් හරි සමාන කතා තමයි..... මම බැන්දෙ මගෙ පාසල් ප්‍රේමය... එතකොට මං නවක නිළියක්.එක නාට්‍යයක ප්‍රධාන චරිතෙ දෙන්න අධ්‍යක්ෂවරයා මගෙන් වැරදි දෙයක් බලාපොරොත්තු වුණා.මං ඒකට කොහෙත්ම කැමති වුණේ නෑ.මෑන් ඊට පස්සෙ එයාගෙ කිසි ම වැඩකට මාව ගත්තෙ නෑ විතරක් නෙවේ අනිත් අයටත් මං ගැන වැරදි හද හද කියල මට ලැබිල තිබුන වැඩත් නැති කළා.
ඒ කතා මගෙ හස්බන්ඩ්ගෙ කනටත් ගියා. එයාට අවුරුදු ගානක් දැනගෙන හිටිය මට වඩා ඒවා විශ්වාස වුනා.අපි අතරෙ රණ්ඩු ඇති වුනා. දෙන්නා දෙපැත්තට වුණා...... දෙවෙනියට බඳිද්දි මං හිටියෙ හොඳටම ජනප්‍රිය තලයෙ. මාත් එක්ක රඟපාපු අලුත් නළුවෙක්. මිනිහා මට ඇත්තට ම ආදරේ වගෙ පෙන්නුවට එයාට ඕන වෙලා තිබුණෙ මගෙ ජනප්‍රියකමෙන් එයාගෙ නම හදා ගන්න.මං නිසා එයාට වැඩ ආවා හුඟක්.අන්තිමට එයා ජනප්‍රියකමේ ඉහළටම ඇවිත් අලුත් නිළියො එක්ක සම්බන්ධකම් හදා ගත්තා එළිපිට ම.මාව ගෙදර සර්වන්ට් ගානට වත් ගණං ගත්තෙ නෑ.මට ලැජ්ජාව තියෙන නිසා එයාගෙන් අයින් වුණේ.......
ඒ කසාද දෙක නිසා මට පිරිමි තිත්ත වුණා.මං වටේ ඉන්න සමහර අය හිතුවෙ මාව ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් අම්බලමක් කියල.ඒවට මං ඉඩ නොදුන්න ම ලස්සන කතා හැදුවා. මිනිස්සුත් ඒව රහ කර කර රස වින්දා...... ආයෙ නම් බඳින්නෙ ම නෑ කියල ඉන්නකොට ලංකාවෙ ප්‍රධාන බිස්නස්මන් කෙනෙක් ගෙන් ප්‍රපෝසල් එකක් ඇවිත් තිබුනා. කලින් දෙපාර ම මගෙ හිතුමතේට වැඩ කරලයි වැරදුනේ කියල ගෙදර අයගෙ හිතේ තිබුන නිසා එයාල උඩින්ම කැමති වුන මේ ප්‍රපෝසල් එකට මාත් එකඟ වුනා....හ්ම් එයා මට කැමති වෙලා තියෙන්නෙ එයාට ගොඩ දා ගන්න බැරි බිස්නස් වලදි මාව බිල්ලට දෙන්න. මම ඒක කරන්න බෑ කිව්ව ම මට හැදිල තිබුන පරණ කතා ඇදගෙන හැම තිස්සෙ ම අපහාස කළා.ඒකෙනුත් මං අයින් වුණා.......අද ඒවට සම්බන්ධ වුණ හැම පිරිමියෙක් ම සුදන ගුණයෙන් යුක්තව සමාජයේ ගරු බුහුමන් මැද හොඳින් ඉන්නවා.කිසි වරදක් නොකළ මටයි ඔක්කොම කුණු ටික....."
----------Shanika Tennakoon-------
"ඉතින් ඇයි ඔයා ඒවට විරුද්ධව කතා නොකරන්නෙ?නඩු නොයන්නෙ?"රවීශා ආවේගයෙන් ඇසුවාය.
රිද්මිකා සිනාසුනාය.
"තනි අතකින් මහ ගංවතුරක් නවත්තන්න පුළුවන් ද?මං ඇත්ත කිව්වොත් ඒවට සම්බන්ධ පිරිමි තමන්ගෙ නම රැක ගන්න එයාලගෙ බල පුළුවන්කාරකම් පාවිච්චි කරල මට ඕන ම දෙයක් කරයි.සොබාදහම දඬුවම් දෙනකල් පල ඇති රුකට නෙ ගල් ගහන්නෙ කියල මං ඉවසීමෙන් බලා ඉන්නවා."
රවීශා බියෙන් මෙන් ඇය දෙස බැලුවාය.
"ජනප්‍රිය හැම කෙනෙක් ට ම මෙහෙම වෙන්නෙ නෑ නංගි.හොඳ ලස්සනට අවබෝධයෙන් ජීවත් වෙන කපල් ඕන තරම් ඉන්නවා......ඔයාගෙ බෝයි හම්බ වුණේ රඟපාන්න කලින් ද?"
"අපෝ ඔව්..එයා කැමතිත් නෑ මං රඟපානවට"
"එහෙනම් එයාට ඔයාගෙ නිලිකමෙන් ප්‍රයෝජන ගන්න අදහසක් නැතුව ඇති.එයාට ගෙදරින් කැමති ද?
"ගෙදරින් දන්නව අක්කෙ.ඒ හැමෝම කියන්නෙ බඳින්න කියලමයි.මමයි පරක්කු කරන්නෙ. දැන් නම් මට තවත් බයයි."
රිද්මිකා සිනාසුනාය."බය වෙන්න එපා.දෙන්නට දෙන්නා තේරුම් අරන් විශ්වාසයෙන් ඉන්නවා නම් යුග ජීවිතය අමාරු වෙන්නෙ නෑ"
රවීශා මහා සුසුමක් හෙළා ෆෝන් එක අතට ගත්තාය.
"අපි මේක කතා කරමු හෙට ගෙදර එන්න"
ඇය සනීර ට මැසේජ් එකක් යවා ෆෝන් එක ඕෆ් කර දැමුවාය.
--Shanika Tennakoon-------------

Comments